දිමුත් හා ශ්‍රී ලංකා කොල්ලෝ අයි.සී.සී. ටෙස්ට් ශූරතාවේ පෙරමුණට | Page 3 | සිළුමිණ

දිමුත් හා ශ්‍රී ලංකා කොල්ලෝ අයි.සී.සී. ටෙස්ට් ශූරතාවේ පෙරමුණට

 

'මේ ආරම්භය ය. යායුතු දුර බොහෝ ය. එය වෙහෙසකර හා අභියෝගාත්මක ගමනකි. වත්තට ගෙන්වා ගෙන ප්‍රතිවාදියා මට්ටු කළාට වඩා ප්‍රතිවාදියාගේ වත්තට ගොස් ක්‍රීඩා කිරීම අසීරු ය. කෙසේ නමුත් අයි.සී.සී. ටෙස්ට් ශූරතාව ශ්‍රී ලංකාව අරඹා ඇත්තේ තරගාවලි ජයග්‍රහණයකිනි. මේ ඒ සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයකි.'

2021-23 ජගත් ටෙස්ට් ශුරතාව වෙනුවෙන් තමන් මුහුණ දුන් පළමු තරගාවලියෙන් කොදෙව් පිල පරදවා 2-0 ලෙස හොඳ ආරම්භයක් ලබා ගැනීමට පසුගියදා ශ්‍රී ලංකාව සමත් විය. එම ජයග්‍රහණය ප්‍රසාද ලකුණු 24 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ දක්වා පැමිණීමට අවස්ථාව හිමිවිණි.

මෙවර ජගත් ටෙස්ට් ශුරතාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමඟ තරග නොවදින අතර ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, නවසීලන්තය හා බංග්ලාදේශය යන කණ්ඩායම් සමග තරග වැදීමට නියමිත ය.

සුපුරුදු ලෙස කොදෙව් පිල සමග තරගාවලිය පැවති ගාල්ල ක්‍රීඩා පිටිය දඟ පන්දු යවන්නන් හට වාසි ගෙන දුන්නේ ය. මුල් තරගයේ දී දෙපිලේ වේග පන්දු යවන්නන් අතර බෙදී ගියේ කඩුලු තුනක් පමණි. දෙවැනි තරගයේ දී කොදෙව් පිලේ ජේසන් හෝල්ඩර් දවාගත් කඩුල්ල හැරුණු විට වේග පන්දු යවන්නන්ට එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විණි.

දේශීය දඟ පන්දු යවන්නන් අතරින් අඩියක් නොව අඩි කිහිපයක් ඉදිරියට තැබීමට සමත් වූ පන්දුයවන්නා වනුයේ රමේෂ් මෙන්ඩිස් ය. ඔහු තරගාවලියේ විරයා බවට පත් වුණේ පළමු තරගයේ කඩුලු 11 ක් ද දෙවැනි තරගයේ කඩුලු 07 ක් ද ලෙස සම්පුර්ණ කඩුලු 18 ක් දවාලමිනි.

ඔහුට අමතරව අනෙකුත් දඟ පන්දු යවන්නන් දෙදෙනාවූ ලසිත් ඇඹුල්දෙණිය 13, ප්‍රවීන් ජයවික්‍රම 07 ලෙස තරගාවලිය තුළ කඩුලු දවාලමින් පෙන්නුම් කළේ ගාමිණි ගුණසේන, ඩී.එස්.ද සිල්වා, ලලිත් කළුපෙරුම, අජිත් ද සිල්වා, දයා සහබන්දු, මුත්තයියා මුරලිදරන්, ජයනන්ද වර්ණවීර, කුමාර් ධර්මසේන, අජන්ත මෙන්ඩිස් රංගන හේරත් වැනි මෙරට අතීත දඟ පන්දු යවන්නන් ගේ පරපුර තවත් ඉදිරියට ගමන් කර ඇති බවය.

කෙසේ වුව ද මෙම දඟ පන්දු යවන්නන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදේශයන්හි දී ද කඩුලු අතරට පැමිණීමේ හැකියාව වර්ධනය කරගැනීම යි. ලසිත් ඇඹුල්දෙණිය එලෙස ඕනෑම රටකදී තමන්ට කඩුලු අතරට පැමිණිය හැකි බව මෙයට පෙර දකුණු අප්‍රිකාවේ දී ප්‍රදර්ශනය කර තිබූ අතර අනෙක් දෙදෙනාද හැකි ඉක්මනින් එකී දක්ෂතාවයන් වර්ධනය කරගත යුතුව තිබේ.

 

දිමුත් හා දුවද්දී දැවීයාම

මුල් තරගයේ දී 147, 83 හා දෙවැනි තරගයේ මුල් ඉනිමේ ලකුණු 42 ක් ලෙස ලකුණු ලබමින් නායක දිමුත් කරුණාරත්න තම සුපුරුදු දස්කම් අතරට පිවිසිණි. එහෙත් අවසන් තරගයේ දෙවැනි ඉනිමේ ඔහුගේ දුවද්දී දැවී යාම නම් කිසිසේත් අනුමත කළ නොහැක්කකි.

තම සේවය අනිවාර්යයෙන්ම කණ්ඩායමට අවශ්‍ය වූ මොහොතේ ලකුණු හයක් ලබා සිටිය දී ඔහු මෙසේ දුවද්දී දැවීයාම කණ්ඩායම තව තවත් පිඩනයට ඇද දැමීමක් විය.

තරගාවලියේ ලකුණු අතරට එන්නට අවස්ථාව සොයමින් සිටි ඔෂධ ප්‍රනාන්දු ද එම ඉනිමේ දැවී ගියේ දුවන්නට යාමේ දී ය.

 

පැතුම් ගේ විශ්වාසය

ළහිරු තිරිමාන්න කණ්ඩායමේ නොමැති අවස්ථාවේ ආරම්භක පිතිකරුගේ වගකීම තම කර පටවාගත් පැතුම් නිශ්ශංක ඉතාමත් ඉක්මනින් එම ස්ථානයට අනුගත වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ දැකිය හැකි හොඳම සිදුවීම විය. ආරම්භක පිතිකරුවෙකු වශයෙන් පැතුම් තමා සුදු පැහැති පන්දුවට පමණක් නොව රතු පන්දුවට ද ඉක්මනින් හුරුපුරුදුව ඇති බව පෙන්නුම් කළේ ය. මුල් තරගයේ මුල් ඉනිමේ ලකුණු 56 ක් හා දෙවැනි තරගයේ දී 73 හා 66 ලෙස දඟ කැවෙන තණ තීරුවක ඔහු ලකුණු රැස් කළේ වඩාත් පරිණත අන්දමිනි. එමෙන්ම පළමු තරගයේ මුල් ඉනිමේ ලකුණු 61 ක් ලැබූ ධනංජය ද සිල්වා දෙවැනි තරගයේ දෙවැනි ඉනිමේ නොදැවී ලැබූ ලකුණු 155 තරගාවලියේ ජය සඳහා වඩාත් තීරණාත්මක ඉනිම ලෙස සැලකිය හැකි ය.

කඩුල්ලේ ස්වභාවය මෙන්ම ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ පීඩනය මධ්‍යයේ ධනංජය ක්‍රීඩා කළ ඉනිම තමා දුටු හොඳම ඉනිමක් ලෙස හඳුන්වන්නට ශ්‍රීලංකා පුහුණුකරු මිකී ආතර් ද පසුබට නොවීය.

පළපුරුදු පිතිකරුවන් අතරින් දිනේෂ් චන්දිමාල් පළමු තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු 45 ක් ලබාගත් නමුත් ඔහුගෙන් මීට වැඩි දායකත්වයක් කණ්ඩායමට ලැබිය යුතුය. ඇන්ජලෝ මැතිව්ස් මුල් තරගයේ දෙවන ඉනිමේ නොදැවී ලකුණු 63 ක් ලබමින් තව දුරටත් තමා ලකුණු අතර සිටින බව පෙන්නුම් කළ ද වරින් වර මතුවන ඔහුගේ පාදයේ ආබාධය දෙවන තරගය අතරතුර මතුවිණි.

කොදෙව් කණ්ඩායම ද මෙහිදී ශ්‍රී ලංකාව අනුගමනය කරමින් ඔවුන්ගේ වේග පන්දු යවන්නන්ට වඩා දඟ පන්දු යවන්නන්ගේ සේවය සලසා ගනිමින් සාර්ථක වීමද කැපී පෙනිණි. ඒ අනුව රෝස්ටන් චේස් 08, ජෝමෙල් වරිකන් 09, වීරසාමි පරුමාල් 08 ලෙස කඩුලු දවාලීමේ දී පෙරමුණ ගත් හ.

 

අනිල් වීරසිංහ

Comments