අපි යම් දෙයක් කරලා තියෙනවා කියන එක තමා ලොකු ම සම්මානය | Page 2 | සිළුමිණ

අපි යම් දෙයක් කරලා තියෙනවා කියන එක තමා ලොකු ම සම්මානය

මෙවර යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය ප්‍රාර්ථනා සමාධි

 

 

යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නළුවා සහ හොඳම නිළියට හිමි සම්මාන දිනා ගන්නට සමත් වුණේ තරිඳු මධුශංක සහ ප්‍රාර්ථනා සමාධි ය. ඒ The agreement කෙටි නාට්‍ය වෙනුවෙන්. මෙලෙස සම්මානිත වූ දෙපළ සමඟයි මෙවර රසඳුන මේ කතාබහ.

නම - මොරටුවේ ලියන පතිරණගේ

ප්‍රාර්ථනා සමාධි

ගම - කිරිල්ලවල

පාසැල - සාමාන්‍ය පෙළ දක්වා ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයට. උසස් පෙළ කළේ ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලය.

පවුලේ විස්තර - අම්මා තාත්තා අයියා සහ මම. අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. නමුත් අම්මගේ තාත්තගේ ලොකු විශ්වාසයක් තිබ්බා මා ගැන. ඒ අයගේ කැපකිරීම් එක්ක තමයි මට මේ ගමන එන්න පුළුවන් වුණේ.

කොහොමද සමාධි කලාවට සම්බන්ධ වෙන්නේ

2011දී පාසල් වේදිකාවේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ "හයදෙනෙක් තරහින්" කියලා නාට්‍යක් කළා. එතැනදී පාසල් මට්ටමින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණා. දැන් ගම්පහ කලාපයේ උපදේශිකාවක් වන චින්තා ප්‍රියදර්ශනී ගුරුතුමිය තමයි එවකට නාට්‍ය හා රංග කලාව භාරව හිටියේ. ඒ වගේම තරිඳු රණේපුර කියන අයියාවත් මතක් කරන්න ඕනේ. මේ අය නිසා තමයි මට මෙතනට එන්න ඔළුව හැදෙන්නේ.

 

එතකොට ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ

කොහොමද

ලූෂන් බුලත්සිංහල සර්ගේ තාරාවෝ ඉගිළෙති සහ රතු හැට්ටකාරී නාට්‍ය දෙකෙන්. කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රියංකර රත්නායක සර්ගේ විසේකාරී වගේ නාට්‍ය වලට සම්බන්ධ වෙලා තියෙනවා. දිගු නාට්‍ය විදියට විජිත් නුවන් අධ්‍යක්ෂණය කළ "සිල්ගත් බිල්ලෝ" වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ කෙටි නාට්‍යය තමා. අවුරුදු ගාණක ඉඳන් නාට්‍යය උළෙලවල් වලට කෙටි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා.

 

සම්මානිත වන පළමු අවස්ථාවද?

මේ වසරේම ජපුර විශ්වවිද්‍යාලයෙන් කරන "වේදිකාවෙන් මහපොළවට" කියන සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය ලැබෙනවා. ඒ ලැබෙන්නත් The agreement කෙටි නාට්‍ය වෙනුවෙන්. මෙවර යෞවන සම්මාන උළෙලෙත් ඒ නාට්‍ය වෙනුවෙන්ම තමයි හොඳම නිළිය සම්මානය ලැබෙන්නේ.

 

සම්මාන ලැබීම ගැන මොකද හිතෙන්නේ

ගොඩක් සතුටුයි. සම්මානයට වඩා ඒ වෙලාවේ දැනුණේ ආපු ගමන් මඟට ලැබුණු පොඩි උත්තේජනයක් විදියට. සම්මානය කියන්නේ භෞතික දෙයක්. හැබැයි ඒ සම්මානය එක්ක අපි එක්ක පිරිසක් හිටියා. එතන දැනුණු ප්‍රතිචාර එක්ක සහ සමාජ මාධ්‍යයෙන් දැනුණා අපි යම් දෙයක් කරලා තියෙනවා කියන හැඟීම. ඒක තමා ලොකුම සම්මානය.

 

දැන් සමාධිගේ ඉලක්කය වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්නද?

නැහැ. මේක මම කරන්නේ මගේ රසවින්දනය සඳහා. මම ටවර් හෝල් නාට්‍ය පාසලේ උසස් ඩිප්ලෝමාව අවසන් කරලා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධියක් හදාරන ගමන් මම ඉන්නේ. එතකොට ඒ මාර්ගයෙන් හොඳ ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 අනුෂා රණසිංහ

Comments