
යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නළුවා තරිඳු මධුශංක
යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නළුවා සහ හොඳම නිළියට හිමි සම්මාන දිනා ගන්නට සමත් වුණේ තරිඳු මධුශංක සහ ප්‍රාර්ථනා සමාධි ය. ඒ The agreement කෙටි නාට්‍ය වෙනුවෙන්. මෙලෙස සම්මානිත වූ දෙපළ සමඟයි මෙවර රසඳුන මේ කතාබහ.
නම - දේවතන්ත්‍රි ආරච්චිගේ තරිඳු මධුශංක
ගම - දෙහිවල
පාසල - එස් ද එස් ජයසිංහ මධ්‍ය මහා විදුහල
පවුලේ විස්තර - අම්මා තාත්තා සහ අක්කල දෙන්නෙක්. තාත්තා නම් රජයේ සේවය කරලා දැන් විශ්‍රාම සුවෙන් ඉන්නේ. අම්මා ගෘහණියක්. පවුලේ අය කලාවට සම්බන්ධ නැහැ.
කලාවට සම්බන්ධ වෙන්නේ පාසල් වේදිකාවෙන්ද
පාසලේදී මම නාට්‍ය හා රංග කලාව විෂය කරනකොට 2011 දී මට අභිරුපණය කරන්න අවස්ථාවක් හම්බෙනවා. ඒ අවස්ථාව මට ලැබෙන්නේ පාසලේ අසංක එදිරිසිංහ සර් සහ සුජානි විජේකෝන් මිස් හරහා. ඒ දෙන්නා තමයි නාට්‍ය හා රංග කලාව විෂය උගන්වපු ගුරුවරු දෙන්නා. ඊට පස්සේ සමස්ත ලංකා යන්න අවස්ථාවක් ලැබෙනවා අභිරූපණ අංශයෙන්. එතනින් පස්සේ තමා දීර්ඝ ලෙස මේ විෂය එක්ක කටයුතු කරන්න ගන්නවා. පසුව උසස් පෙළ සඳහාත් මේ නාට්‍ය හා රංග කලාව විෂය තෝරා ගන්නවා. ඒ හරහා මට චාමික හත්ලාවත්ත ගුරු පියාණන් හම්බෙනවා. සර් එක්ක එයාගේ දිගු නාට්‍යවල වේදිකා පරිපාලකයෙක් වශයෙන් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ඔස්සේ අවස්ථා ගණනාවක් ලැබෙනවා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන්න.
අපි යෞවන සම්මාන ලැබූ නිර්මාණය ගැන කතා කළොත්
මේ සම්මානය ලැබෙන්නේ The agreement කෙටි නාට්‍ය වෙනුවෙන්. අපි ටවර් හෝල් හි වැඩිදුර අධ්‍යාපනය හදාරන කාලේ අපි අවසන් නිෂ්පාදනය විදියට තමයි මේ නිර්මාණය කළේ. මෙය රචනා කරන්නේ කෝකිල අබේදීර, අධ්‍යක්ෂණය කරන්නේ හර්ෂි. ඊට පස්සේ යෝජනා කිහිපයක් ආවා මේක යෞවන සම්මාන උළෙලට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව තමා සම්මාන ලැබුවේ.
වේදිකාවේ ලැබුණු අත්දැකීම් එක්ක වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න
අදහසක් නැද්ද?
වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න කැමතියි. නමුත් මම මේ මොහොතේ කැමති නළුවෙක් විදියට මාව පෝෂණය කර ගන්න කාලය වෙන් කරන්න. මොකද අධ්‍යක්ෂ කාර්යයට වඩා නළු කාර්යයට මම ගොඩක් කැමතියි.
අනුෂා රණසිංහ