ඖෂධ වෙළෙන්දෝ වියරු වැටෙති | සිළුමිණ

ඖෂධ වෙළෙන්දෝ වියරු වැටෙති

ඖෂධ සංස්ථාවේ පිංකමකදී ඉදිරියෙන්ම සිටින්නේ සේනක බිබිලේය.

ර්තමානයේ රැව් පිළිරැව් දෙන කතාවක් බවට පත්ව ඇති ඔෟෂධ මාෆියාව පිළිබඳ ලෝකයට පළමු වරට අවධාරණය කළේ වෙල්ලස්සේ උපන් මහාචාර්ය සේනක බිබිලේය. ඔහුගේ අභිරහස් ඝාතනය පිළිබඳ සිළුමිණහි පළ වන කොටස් නවයකින් යුත් කතාමාලාවේ පස්්වැන්නයි මේ. 

ඉංග්‍රීසි බේත් මෙරටට ගෙන්වන්නේ ආහාර පාලකගෙන් අවසර ලබාගෙනයි. ඒවායේ තත්ත්වය පරීක්ෂා කරන්නේ ආහාර පාලකය. දැන් බේත් හිඟ, සංස්ථාව බේත් ගෙන්වන නිසායි.” එක් ඉංග්‍රීසි පුවත්පතක් පළ කෙළේ ය. සේනක ඔවුන්ට පිළිතුරු දුන්නේ ය.

සංස්ථාවේ කාර්යාලය සඳහා ග්‍රෙගරි මාවතේ තැනක් තෝරා ගත්තේ උපසේන ජයරත්න ය. එතැන ගොඩනැඟිල්ලක් තැනීමේදී ජම්බු ගසක් සහ අඹ ගසක් කපා දැමිය යුතු විය.

“ඒ ගස් මැදිවන විදියට ගොඩනැඟිල්ල හදන්න”

සේනකගෙන් ඊට ඉඩ නොලැබිණි. 

රතු විදුලි බුබුළු බඳු පොකුරු පොකුරු ගෙඩිවලින් බර වූ ජම්බු ගස දෙස ද පල බර අඹ ගස දෙස පසු කලෙක ඔහු බලා සිටියේ මහත් සතුටිනි.

ගොඩනැඟිලි සකසා කාර්යාලයක් වශයෙන් විවෘත කරන දා ඇමැතිවරයා ගෙන්වීමට කෙනෙක් යෝජනා කළහ.

“ඇමැතිවරුන්ට වැඩ තිබෙනවා. විශාල ප්‍රචාරයක් සහිතව උත්සවාකාරයෙන් වැඩ පටන් ගන්න ඕන නැහැ. වැඩ කරන විට ප්‍රචාරය ලැබේවි. අපේ කාර්යාලය අපිම විවෘත කරමු.” සේනක කීය.

සභාපති සඳහා වීදුරු කූඩුවක් තැනීමට උපසේන ජයරත්න යෝජනා කෙළේ ය. සේනක සිනාසෙමින් ජයරත්නගේ පිටට තට්ටු කෙළේ ය.

“ඇයි මා මගේ සහෝදරයන්ගෙන් වෙන් කරන්නේ. අපි කවුරුත් එකට ඉඳිමු. මිනිසුන්ගෙන් වෙන්වෙලා කූඩුවෙලා ඉන්නේ ඇයි? මා අන් අයට වඩා ඉහළය කියන මානසික තත්ත්වයයි එයින් ඇති වන්නේ. ඔය යෝජනාව ක්‍රියාත්මක කරන්න එපා.”

සභාපති වෙන් නොවිණ. ලිපිකරුවන්, යතුරු ලියන්නන්, කාර්යාල සහායකයන් සමඟ එකට ඔහු වැඩ කෙළේ ය. මේසය මත වූ සීනුව ඔහු ප්‍රතික්ෂේප කෙළේ ය.

“ලොක්කා සීනුව හඬවනවා. සේවකයා දුවගෙන එනවා. මේක හොඳ තත්ත්වයක් නොවෙයි. ලොකු පොඩි පන්ති පරතරයක් එතැන තිබෙනවා. මෙතැන උස් මිටි කම්. මට යමක් අවශ්‍ය වූ විට මා නැඟිට එය ගන්නවා.”

සංස්ථාවේ සේවක වැටුප් ලේඛනය පිළියෙළ කිරීම භාරවූයේ උපසේන ජයරත්නට ය. අනෙක් සංස්ථාවල සේවක වැටුප අනුව නව සංස්ථාවේ සේවක වැටුප සකස් කළ ජයරත්නට සභාපතිගේ වැටුප කොපමණ විය යුතු දැයි නිගමනය කිරීම අපහසු විය. ඔහු සභාපතිවරයා හමු විය.

“අනෙක් සංස්ථාවල වැටුප් අනුව අපේ සේවක වැටුප සකස් කළා. අනෙක් සංස්ථා සභාපතිවරුන්ගේ වැටුප අනුව ඔබතුමාගේ වැටුප පිළියෙළ කරන්නට මට පිළිවන්. ඊට පෙර...” ඔහුට කියන්නට ලැබුණේ එපමණි.

“සභාපතිට කියා වෙන වැටුපක් මට අවශ්‍ය නැහැ. වෛද්‍ය විද්‍යාලයෙන් මට ලැබෙන වැටුප ජීවත්වීමට හොඳටම ඇති. මේ සංස්ථාවට මා සේවය කරන්නේ නොමිලේ.” සේනක කීය.

“වෛද්‍ය විද්‍යාලයෙන් ලැබෙන මුදලට වඩා ලොකු මුදලක් සංස්ථා සභාපති කෙනකුට ලැබෙනවා.”

“මා දන්නවා. ඒත් මට ඒ තරම් මුදලක් කුමකටද? නිවාස, ආහාර, වස්ත්‍ර‍, ගමන් බිමන් සඳහා ප්‍රමාණවත් මුදලක් තමයි මිනිසකුට අවශ්‍ය. ජීවත්වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ලැබීමෙන් තමයි මේ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ. ටෝල්ස්ටෝයි ගේ කෙටිකතාවක තියෙනවා මිනිසකුට අවශ්‍ය පොළවෙන් හතර රියනක් පමණක් බව. එවිට ඇන්ටන් චෙකොප් කීවා ඒ හතර රියනත් අවශ්‍ය මළ මිනිහකුටය කියා.

මා මෙතනින් සතයක්වත් නොගෙන වැඩ කරනවා. නමුත් මම ඔබවත්, අන් අයවත් එසේ කළ යුතුයි කියා සිතන්නේ නැහැ. මම වගේ අන් අයට වෙනත් ආදායම් මාර්ග නැති නිසා.”

සභාපතිවරයා නොමිලේ වැඩ කිරීමට ගත් තීරණය ගැන සංස්ථා සේවකයෝ ඇසූහ.

“සංස්ථාවේ ප්‍රගතිය උදෙසා අපි අපේ ජීවිතය වුව පුදමු.” යන ඔවුන්ගේ අධිෂ්ඨානය තවත් දැඩි විය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් පැවැත්වෙන විට තේ පැන් සංග්‍රහ සඳහා පැටිස්, කට්ලට්ස්, සැන්විචස් හා ඉස්තරම් කේක් වර්ග ද, සිසිල් බීම ද ගෙන එන්නට එක් අයකු යෝජනා කළ විට සභාපති ඊට විරුද්ධ විය.

“රාජකාරි කටයුත්තකදී එතරම් මුදලක් වියදම් කරන්නට එපා. තේ සහ වඩේ තිබුණාම ඇති.”

ශ්‍රී ලංකා ජාතික ඖෂධ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමට ලැබුණේ වඩේ සහ තේ පමණි.

උදේ පාන්දර වැඩට එන සේනක රාත්‍රියේ ද සංස්ථා කටයුතුවල යෙදුණේ ය. සේවකයෝ ද සිය ස්වාමියා අනුගමනය කළහ.

සාධාරණ මිලකට ඖෂධ සපයන ලෙස ලංකාවේ ඖෂධ වෙළෙන්දන්ගෙන් සංස්ථාව කළ ආයාචනයෙන් පලක් වූයේ නැත. ඉන්සියුලින් ගෙන්වීම ඖෂධ සංස්ථාවට පවරා ගැනීමට සිදුවිය.

ඖෂධ ගෙන්වූ සමාගම් 134 ක් විය. ඉන්සියුලින් ගෙන්වීම සංස්ථාවට පවරා ගැනීම නිසා ඔවුහු කැලඹුණාහ. සංස්ථාවේ ක්‍රියා මාර්ග කඩාකප්පල් කිරීමට කළ හැකි සියලු දේ කළහ. වෛද්‍යවරුන්ට දෙන තෑගි බෝග වැඩි කළහ.

ඖෂධ සඟවා, බේත් හිඟයක් ඇති කොට ඊට සංස්ථාව වගකිව යුතු බව සමාගම් ප්‍රචාරය කෙළේ ය.

ශ්‍රී ලංකා විදේශ විනිමය වැය කරමින් අනවශ්‍ය ඖෂධ ද අර සමාගම් විසින් ගෙන්වනු ලැබිණ. එයින් වැඩක් වූයේ බහුජාතික ඖෂධ සමාගම්වලට පමණි.

මේ නිසා සේනක රටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55 ක් තෝරාගෙන ඒ සඳහා විශ්ව ව්‍යාප්ත මිල ගණන් කැඳවීමක් කෙළේ ය. නොයෙක් සැපයුම්කරුවන් එවා ඇති මිල ගණන් සලකා බලා ඒවායෙන් පිළිගත හැකි අඩුම මිල ඇති සැපයුම්කරුවන්ගෙන් ඇණවුම් කරන්නට යෙදුණු අතර සමාජවාදී රටවල් කීපයක් ද තෝරාගත හැකි විය.

ටෙන්ඩර් ඉල්ලුම්පත් පෙට්ටිය විවෘත කරන දා සංස්ථා සේවකයන්ට කාර්ය බහුල විය. සියලුම සේවකයෝ පෙට්ටිය විවෘත කළ මොහොතේ සිට අවසානය දක්වාම කාර්යාලයේ රැඳී සිටියහ. වඩේ කමින්, තේ බොමින්, සභාපතිවරයා සමඟ රෑ මැදියම වනතුරු සේවක සේවිකාවෝ එහි රැඳී සිටියහ.

වැලියම් නමැති වෙළෙඳ නාමයෙන් හැඳින්වුණු ඩයසිපෑම් ඖෂධ පෙත්තක් රෝස් නමැති බහු ජාතික ඖෂධ සමාගම සත අනූ දෙකකට විකුණුවේ ය. ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඒ සමාගම ම ඒ බේත් පෙත්ත 57ට විකිණීමට කැමැති විය.

එයම සත 02කට වෙනත් සමාගමකින් මිලට ගැනීමට සංස්ථාවට හැකි විය. මේ නිසා සත 90ක ලාබයක් රටට, ජනතාවට ලැබිණ. මේ අනුව තවත් ඖෂධ රාශියක් අඩු මිලට සැපයීමට සමාගම්වලට සිදුවිය.

“මිල අඩු ඖෂධවල ගුණය ද අඩුයි.”

බහුජාතික සමාගම් ප්‍රචාරය කෙළේය.

රැන්බැක්සි ඉන්දීය ඖෂධ සමාගම ඩයසිපෑම් පෙත්ත සත 02ට දෙන්නේ එය බාල නිෂ්පාදනයන් නිසා ය යන චෝදනාවට සේනක බිබිලේ පිළිතුරු දුන්නේ ඖෂධීය ගුණාත්මක භාවය පිළිබඳ පර්යේෂණයක් කරවමිනි. සත 92ට දුන් පෙත්තේ ගුණය සත 02 පෙත්තේ ද තිබිණ.

1972 දෙවැනි අඩ වෙනුවෙන් ආනයන හා අපනයන පාලක රුපියල් ලක්ෂ 30ක් වටිනා බලපත්‍රයක් ඖෂධ සංස්ථාවට නිකුත් කෙළේ ය. එය කලින් පැවැති මිල ගණන් අනුව තක්සේරු කරන ලද්දකි. විශ්ව ව්‍යාප්ත ටෙන්ඩර් ක්‍රමය නිසා රුපියල් ලක්ෂ 30කට බහු ජාතික සමාගම් සැපයූ ඖෂධ වර්ග රුපියල් ලක්ෂ 18කට ගෙන්වීමට සංස්ථාවට හැකි විය. මාස හයක් තුළ රුපියල් ලක්ෂ 12ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කිරීමට සේනකගේ මේ යෝජනාව නිසා හැකි විය.

සංස්ථාව විසින් ඇණවුම් කැරුණු ඖෂධ වර්ග 55න් මුල් කොටස 1972 නොවැම්බර් මාසයේදී ලැබිණ.

ඊට පෙර ඖෂධ ගෙන්වීමට සම්බන්ධ වී සිටි තොග වෙළෙඳුන්ට මේ ඖෂධ දිවයින තුළ බෙදා හැරීමේ කටයුතු පැවැරිණ. මේ අනුව සංස්ථාව තනි ඖෂධ ගෙන්වන්නා ලෙස ද, මීට පෙර ආනයනකරුවන් වූ තොග වෙළෙඳුන් බෙදා හරින්නන් ලෙස කටයුතු කරනු දක්නට ලැබිණ.

ඖෂධ ගෙන්වීම සංස්ථාවට පවරා ගැනීමත් සමඟම පැමිණි සතුරු විරෝධතා ජය ගැනීමට සංස්ථා කාර්ය මණ්ඩලය එකම මතයක සිටීම අවශ්‍ය විය. සේනකට එය ප්‍රශ්නයක් නොවූයේ මුල සිටම කාර්ය මණ්ඩලය සහෝදර මණ්ඩලයක් වූ නිසා ය. සේනකගේ පැවැත්ම පෙන්වූයේ වැඩිහිටි සහෝදරයකුගේ සුහදතාවයක් මිස අණදෙන නිලධාරියකුගේ ස්වරූපයක් නොවේ.

“ඔබට වෘත්තීය සමිතියක් අවශ්‍යයි”

සේවක පිරිසට යෝජනා කළේ සංස්ථාවේ සභාපති සේනක ය.

මේ පුවත ඇසූ අනෙක් සංස්ථාවල සේවකයෝ මවිතයට පත්වූහ.

“වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට මිස වෘත්තීය සමිති පිහිටුවීමට අනුබල දෙන සංස්ථා සභාපති කෙනෙක් ගැන අප අසා නැහැ” ඔවුහු කීහ.

එක්සත් රාජ්‍ය සංස්ථා හා වෙළෙඳ සේවක සංගමයට අනුබද්ධ වෘත්තීය සමිති ශාඛාවක් රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පිහිටුවනු ලැබිණ. එහි මුල් ම ලේකම්වරයා වූයේ උපසේන ජයරත්න ය.

වෘත්තීය සමිතිය පිහිටුවූ දා උපසේන ජයරත්න මේ සමිතිය අනෙක් සමිතිවලින් වෙනස් වන්නේ කෙසේ දැයි පැහැදිලි කෙළේ ය.

“අප පිහිටුවා ගත්තේ සමාජවාදී සමාජ ක්‍රමයක් බිහිකිරීම අරමුණු කරගත් සමිතියක්. අපේ සංස්ථාව අධිරාජ්‍ය විරෝධී අරගලය සඳහා කැපවූ එකකි. බහු ජාතික සමාගම්වල ගසා කෑමෙන් අපේ රටේ ජනතාව මුදා ගැනීම අරමුණු කරගත් මේ සංස්ථාව දැනටමත් ලෝක බලවතුන් අමනාප කරගෙන. සභාපති සේනක බිබිලේ සහෝදරයා ඖෂධ සමාගම්වල නොම්මර එකේ හතුරා ලෙස අද ගණන් ගන්නවා. අපේ වෘත්තීය සමිතිය අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අතර අධිරාජ්‍ය ග්‍රහණයෙන් රට නිදහස් කර ගැනීමේ අරගලයට එක්වෙනවා.”

මේ වෘත්තීය සමිතියේ සාමාජිකයෝ අනෙක් සංස්ථාවල සේවකයන්ට වඩා අයිතිවාසිකම් ලැබූහ. සභාපතිවරයා ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කළහ. ඉල්ලීමට පෙර අවශ්‍ය දේ ලබා දුන්හ. 

බහුජාතික සමාගම්වලට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග, සැලසුම් නියමිත කාලයට පෙර හෙළි කිරීම වැනි ද්‍රෝහී කටයුතුවලට මේ සේවකයෝ ඉදිරිපත් නොවූහ. ඒවා ජීවිත රහස් සේ සැලකූහ.

සභාපති කෙරෙහි දක්වන දයාව හා විශ්වාසය මත පමණක් සේවක පිරිස රඳවා තබා ගැනීම ඉදිරි කාලයට යහපත් නොවන බව ද ඔවුන් සැබෑ අවබෝධයෙන් රඳවා ගැනීමට කම්කරු පන්තියේ විමුක්ති මාර්ගය වූ මාක්ස්වාදය දෙසට ඔවුන් යොමු කළ යුතු බව ද ලෝක හා ලංකා සමාජ ඉතිහාසය ඔවුන්ට ඉගැන්විය යුතු බව ද සිතූ සේනක සැන්දෑ කාලයේ සංස්ථාව තුළ සාකච්ඡා සංවිධානය කෙළේ ය.

මෙහිදී මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න ගේ සහාය සේනකට ලැබිණ‍. ඔස්මන්ඩ් හැන්දෑවේ සංස්ථා භූමියට පැමිණ සමාජ ඉතිහාසය පිළිබඳ දේශන පවත්වන්නට විය. මාක්ස්වාදී සමාජ දූත පිරිස තුළට කම්කරු පන්තිය පිවිසෙනු දුටු සේනක ඔවුන් සංවාදයට යොමු කරමින් ඒ රැස්වීම්වලට එක් විය. සේවකයන් සමඟ බංකුවේ හිඳගෙන සේනක ද ඔස්මන්ඩ්ගෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තේ ය.

ලෝක කම්කරු පන්තියේ ප්‍රධාන හතුරා ධනපති ක්‍රමය හා අධිරාජ්‍යවාදය යි. අධිරාජ්‍යවාදය විනාශ කිරීමට නම් බහුජාතික සමාගම් තුන් වැනි ලෝකයේ ගෙනයන කුරිරු රැවැටීම්, වංචාකාරී ව්‍යාපාර, නැති කළ යුතුයි. අපි අද අධිරාජ්‍යවාදයේ එක අංශයකට එනම් බහු ජාතික ඖෂධ සමාගම්වලට එරෙහිව අරගලයක යෙදී සිටිමු. එය දිනා ගනිමු. ඉන්පසු ඒ ධනපති ක්‍රමයේ අතින් අඬු ද පොඩි පට්ටම් කරමු. ජනතාවගේ ම ලෝකයත් නිර්මාණය කරමු.

සාකච්ඡාවලින් පසු රාත්‍රියේ ගෙදර යන සංස්ථා සේවකයෝ සිතූහ.

ඒ සිතිවිලිවලින් ජීවිතය මෙහෙයවන පිරිසක් සමඟ වැඩ කිරීම සේනක බිබිලේට සතුටක් විය.

“ඖෂධ සංස්ථාව ධනවාදී රටක් තුළ ඇති කුඩා සමාජවාදී රාජ්‍යයක්” මේ සංස්ථාව ගැන ඇසූ සමහරු කීහ.

ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීමට පෞද්ගලික අංශයට තුබුණු අයිතිය මුළුමනින් ම ඖෂධ සංස්ථාවට පවරා ගැනීමට 1973 අවසාන වීමට පෙර හැකි විය. මේ නිසා සිවු වසරක් තුළ ලංකාවට විදේශ විනිමය ඇමෙරිකන් ඩොලර් දශලක්ෂ එක හමාරකට වැඩි ප්‍රමාණයක් ඉතිරි කළ හැකි වූ බව අන්ක්ටැඩ් සංවිධාන වාර්තාව හෙළි කෙළේ ය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ගවලින් වැඩි ප්‍රමාණයක් ලංකාවේ ම නිපදවීමට ඖෂධ සංස්ථාව වැඩ ඇරැඹීය. ඒ මඟින් රුපියල් තිස් දෙලක්ෂයකට වැඩි මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරි කිරීම සේනකගේ අරමුණ විය.

මේ යුගය වනවිට දේශීය හා ඖෂධ නිෂ්පාදන සමාගම් කර්මාන්ත ශාලා 15ක බේත් පෙති හා කරල් නිපදවීය. ඒවා 16,50,00000ක් විය. ඒ සඳහා අමුද්‍රව්‍ය ගෙන්වීමට රුපියල් 18,57,103 ක් වටිනා විදේශ විනිමය වැය විය.

මීට අමතරව පෞද්ගලික අංශයේ බේත් වෙළෙන්දෝ වර්ෂයකට රුපියල් 33,72,236 ක් ද රජයේ බේත් ගබඩාව රුපියල් 38,21,855 ක් ද විදේශ විනිමය වැයකොට පිටරටින් බේත් ගෙන්වූහ. මේ අනුව වර්ෂයකට රුපියල් ලක්ෂ 90 ක් පමණ බේත් ගෙන්වීමට වැය විය.

මේ මුදල් ගලා යාම අපරාධයක් සේ සැලකූ සේනක බේත් කරල් හය ගුණයකින් වැඩි කිරීමට හෙවත් බේත් කරල් තුන් කෝටි හැට ලක්ෂයක් නිපදවීමටත් බේත් පෙති තුන් ගුණයකින් වැඩි කිරීමට හෙවත් බේත් පෙති පනස් හය කෝටි පනස් ලක්ෂය දක්වා වැඩි කිරීමටත් යෝජනා කෙළේ ය.

මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම සංස්ථාව බාරගත් අතර ලංකාවෙහි වූ දේශීය හා විදේශීය කර්මාන්ත ශාලා 15 හි සේවක සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී, වැඩ කරන කාල සීමාව පැය අටේ වැඩ මුර දෙකක් ඉක්මවීමට ද හැකිවනු ඇතැයි සේනක බලාපොරොත්තු විය.

වහාම වහාම වැඩ පටන්ගත යුතුයි!

රටට අවශ්‍ය ඖෂධ මෙහි ම නිපදවා දිය යුතුයි! ඖෂධ කර්මාන්ත ශාලා හිමියෝ ද ඖෂධ පිටරටින් ගෙන්වා අලෙවි කරන ව්‍යාපාරිකයෝ ද කුපිත වූහ.

ඉතා සුළු මිල ගණන් ඇති ඖෂධ පෙති හා කරල් වර්ගත්, එන්නත් කිරීමේ බේත් වර්ගත්, බොරු මිල දර්ශන දක්වා ඉතා වැඩි මිලකට මෙරටට ගෙන්වා විදේශ බැංකුවල මුදල් රැස් කරන ජාත්‍යන්තර ව්‍යාපාරයකට සම්බන්ධ ඔවුන්ට මෙය මරු පහරක් විය.

“සේනක උඹට වැඩේ දෙන්නම්” සොරු රංචු එකතු වූහ.

“ලංකාවේ වෛද්‍යවරුන් හා පුවත්පත් අල්ලාගෙන ඖෂධ සංස්ථාවට පහර දෙමු.” ව්‍යාපාරිකයෝ ක්‍රියාත්මක වූහ.

“ඉංග්‍රීසි බේත් මෙරටට ගෙන්වන්නේ ආහාර පාලකගෙන් අවසර ලබාගෙනයි. ඒවායේ තත්ත්වය පරීක්ෂා කරන්නේ ආහාර පාලකය. දැන් බේත් හිඟ, සංස්ථාව බේත් ගෙන්වන නිසායි.” එක් ඉංග්‍රීසි පුවත්පතක් පළ කෙළේ ය. සේනක ඔවුන්ට පිළිතුරු දුන්නේ ය.

“සංස්ථාව පිහිටුවීමට පෙර කවදාවත් ගෙන්වන ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමක් තිබුණේ නැහැ. එය පටන් ගත්තේ මේ සංස්ථාව. එය කරන්නේ උසස් විශේෂඥ දැනුම ඇති අය. බේත් හිඟ සංස්ථාව බේත් ගෙන්වන නිසා බව ඔබ කියනවා. සංස්ථාව ගෙන්වන්නේ බේත් වර්ග 59 ක් පමණයි. ඒවා හිඟ නැහැ. හිඟ වී ඇත්තේ පෞද්ගලික අංශය ගෙන්වන බේත්. ඔවුන් බේත් සඟවා හිඟයක් මවනවා.

පෞද්ගලික අංශයට බේත් ගෙන්වීම අපි රුපියල් හැත්තෑ ලක්ෂයක විදේශ විනිමය ලබා දුන්නා. නමුත් ජනතා ද්‍රෝහී මේ තක්කඩි ගෙනා ඒ ඖෂධ සඟවා හිඟයක් මවනවා.”

දෙනගම සිරිවර්ධන ලියයි

තවත් කොටසක් ලබන සතියේ

Comments