නඩු පිට නඩු පැටලෙන රොනාල්ඩිනෝ | සිළුමිණ

නඩු පිට නඩු පැටලෙන රොනාල්ඩිනෝ

 

දැලට පන්දුව පැටලූ පුරුද්දට

රක්ෂිත හෙළිකිරීම ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතය ඒ අතර

 

අලුත්ම නඩුව නඩත්තුවක්

ඇතැම් පුද්ගලයන් ට නඩුහබ යනු සාමාන්‍ය දෙයකි. එම නිසා නීතිමය ගැටලු හේතුවෙන් ඔවුන්ගේ ජීවිත කාලයෙන් කොටසක් උසාවිවල හෝ සිරගෙවල්වල ගත කිරීමට ‍වෙන් කර ගැනීමට ඔවුන්ට සිදු වේ. ලෝකයේ එවන් ප්‍රසිද්ධ චරිත බොහෝ වෙති.

ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස රසිකයන් අතර ජනාදරයට පත් චරිතයක් ලෙස සැලකෙන බ්‍රසීල ජාතික රොනාල්ඩිනෝ ද කලින් කලට එවන් නඩුහබ රැසකම පැටලුණු ආන්දෝලනාත්මක චරිතයකි. 2019 වසරේ ඔහු රක්ෂිත කැලෑවකින් කොටසක් එළිපෙහෙළි කිරීමේ චෝදනාවක් නිසා නඩුවක පැටලිණි. ඉන්පසු ව්‍යාජ ගමන් බලපත්‍ර සිද්ධියක් නිසා ඔහුට සිරගත වන්නට සිදු විය. මේ වන විට රොනාල්ඩිනෝ පැටලී ඇත්තේ වන්දි නඩුවක ය. එසේ නඩුහබවල පැටලී අද වන විට පීඩිතව ගෙවන මේ මිනිසා පුරා දසක 2 ක කාලයක් පාපන්දු ලොව කැළඹූ අති දක්ෂ ක්‍රීඩා වීරයෙකි.

රොනාල්ඩීනෝ ක්‍රීඩා රසිකයන් අතර වඩාත් ජනාදරයට පත් වුණේ ඔහු ගේ ක්‍රීඩාවේ දී පෑ තාක්ෂණික බුහුටිකම් නිසා ය. එසේම අනුගමනය කළ නිර්මාණශීලි පිළිවෙත් හේතුවෙනි. ඔහු 1997 – 2013 අතර කාලය තුළ බ්‍රසීල පාපන්දු කණ්ඩායම නියෝජනය කළේ ය.

2002 වසරේ ෆිෆා පාපන්දු ශූරතාව බ්‍රසීලයට ගෙනා කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් ද විය. 2005 වසරේ ෆිෆා කන්ෆෙඩරේෂන් කුසලානයත් 1999 වසරේ එහි අනුශූරතාවයත් දිනාගත් බ්‍රසීල පාපන්දු කණ්ඩාය‍මේ ද ඔහු සාමාජිකයකු වූයේ ය. 2008 බීජිං ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගත් බ්‍රසීල පිල මෙහෙයවනු ලැබූවේ ද රොනාල්ඩීනෝ විසිනි.

2013 වසරේ දී හෙතෙම ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්ත ද 2018 වන තුරුම ඔහු පළමු පෙළ පාපන්දු ක්‍රීඩාවෙහි නිරත විය. 2018 වසරේ දී ඔහු දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වන්නට ද කටයුතු කළ අතර එහි දී හෙතෙම බ්‍රසීල ජනාධිපති අපේක්ෂක ජෙයාර් මෙසීස් වෙනුවෙන් පෙනී සිටි‍යේ ය. ඔහු එවකට බ්‍රසීල ආණ්ඩු පාලනය විවේචනය කරමින් සකසන ලද ගීතයකට ද සිය දායකත්වය දැක්වී ය.

එම වසරේ දී ම රොනාල්ඩීනෝ බ්‍රසීලයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා පුණ්‍යාතනයක් පිහිටුවීමට කටයුතු කළේ ය. ඔහුගේ මෙම යහපත් අරමුණ සඳහා දස දෙසින් ප්‍රශංසා එක් වුවත් එම ප්‍රංශසාව අවුරුදු කිහිපයකට සීමා විය.

ඒ 2018 වසරේ දී පාරිසරික ගැටලුවක් හේතුවෙන් රොනාල්ඩීනෝ සහ ඔහුගේ පුණ්‍යාතනය වෙත සමාජයේ දෑඟිලි දිගු කෙ‍රුණි. ඒ අතර බ්‍රසීල අධිකරණයේ නඩු විභාගයක් ද ආරම්භ කෙරුණේ ය.

රොනාල්ඩීනෝ සිය පුණ්‍යාතනයට අවශ්‍ය ගොඩනැගිල්ලක් සෑදීම සඳහා රක්ෂිත ප්‍රදේශයක් කපා දමා ඇති බව, ඔහුට එල්ල වූ චෝදනාව විය. එම නඩුව වසරක පමණ කාලයක් විභාගයට ලක් වුණු අතර අවසානයේ ඔහු සතු දේපල කොටසක් රාජසන්තක කෙරුණේ ය. එපමණක් නොව ඔහු විසින් නඩු වාරවලදී නොගෙවූ දඩ මුදල් සහ රොනාල්ඩිනෝ විසින් පුණ්‍යාතනයට ගෙවිය යුතු හිඟ බදු මුදල් ගෙවන තුරු ඔහුගේ විදේශ බලපත්‍රය අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේ ය.

නඩු පිට නඩු

2019 වසරේම ඔහු තවත් නඩුවක පැටලිණි. ඒ තම සොහොයුරා සමඟ එක්ව ව්‍යාජ විදෙස් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවකට කොටු වූ ඔහු පැරගුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අනුව ඔවුන් බන්ධනාගාරගත කෙරුණේ ය.

මෙසේ බන්ධනාගාරගතව සිටිය දී රොනාල්ඩීනෝ පාපන්දු තරගයකට ද ක්‍රීඩා කළ අතර එම තරගය ගෝල් 11-2 ක් ලෙස රොනාල්ඩීනෝ ක්‍රීඩා කළ කණ්ඩායම ජය ගන්නා ලදී. එහි ගෝල් 11න් 5 ක් ම වාර්තා කළේ අපේ කතානායකයා විසිනි.

ඒ අතරතුර බන්ධනාගාරගත වීම සම්බන්ධයෙන් තමන්ට සහනයක් ලබා දෙන්නැයි රොනාල්ඩිනෝ අභියාචනාවක් මගින් ඉල්ලා සිටියේ ය. එහෙත් එම ඉල්ලීමට යහපත් පිළිතුරක් ලැබුණේ නැත. පසුව ඔහු සහ සොහොයුරා නිවාස අඩස්සියට දැමීමට නියෝග කෙරුණි.

නිවාස අඩස්සියේ ගත කරන කාලයේ රොනාල්ඩීනෝ සිය 40 වන විය සම්පූර් ණ කළේ ය. කෙසේ නමුත් නගරයේ ඇති තරු හතරේ හෝටලයකට ගොස් උපන් දිනය සැමරීමට රොනාල්ඩීනෝට නීතිමය අවසරයක් හිිමි විය.

එයින් මාස කිහිපයකට පසුව 2020 වසරේ දී ඔවුන් ‍දෙපළ බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණේ දෙදෙනාවම අමෙරිකන් ඩොලර් 200000 ක දඩයකට සහ අභියාචනා ගිවිසුමකට යටත් කිරීමෙන් අනතුරුව ය.

නඩු පිට නඩුවල පැටලෙමින්, දඩ පිට දඩ ගෙවමින් සිරගත වෙමින් කුප්‍රකට දිවියක් ගත කරන්නට සිදු වූ රොනාල්ඩීනෝ පසුගියදා නැවතත් නීතිමය ගැටලුවකට මුහුණ පා තිබේ. ඒ ඔහුගේ හිටපු පෙම්වතියක් වන ප්‍රිසිලා කොයිලෝ සඳහා ගෙවිය යුතු නඩත්තු මුදලක් පැහැර හැරීම හේතුවෙනි.

ප්‍රසිලාගේ පාර්ශ්වය නියෝජනය කරන නීතිඥයන් එහි දී අධිකරණයට කරුණු වාර්තා කළ අතර ඉන් තීරණය වුණේ නඩත්තු මුදල් අනිවාර්යෙන්ම ගෙවිය යුතු බවයි.

යම් ලෙසකින් එසේ නොගෙවන්නේ නම් රොනාල්ඩීනෝ නැවත සිරගත කිරීමකට හෝ ඔහුගේ ‍දේපල අගතියට පත් පාර්ශ්වයට පවරා දීමට හෝ සිදුවන බවයි. ද අධිකරණය ප්‍රකාශ කළේ ය. කෙසේ නමුත් ඉදිරියේ දී රොනාල්ඩීනෝ හට නැවතත් උසාවි සහ බන්ධනාගාර ඇසුරෙහි කල් මැරීමට සිදු වන තත්ත්වයක් උදා වී තිබේ. එසේ නොවන්නට නම් හෙතෙම දෙසැම්බර් 1 වැනි දා ට පෙර අධිකරණ තීරණයට යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතුය.

පසිඳු මිහිරාන් රැටියල

Comments