සඳක් සේ පායා... රසික හදවත් පිනවන පිය පුතු දෙපළ කුමාරසිරි පතිරණ සහ සිනෙත් මාලක | Page 2 | සිළුමිණ

සඳක් සේ පායා... රසික හදවත් පිනවන පිය පුතු දෙපළ කුමාරසිරි පතිරණ සහ සිනෙත් මාලක

  • ඕනෙම දෙයකට වටිනාකමක් තියෙන නිසා, තමන්ට ලැබිය යුතු වටිනාකම ලබා ගත යුතුයි
  • කොවිඩ් කාලේ චිත්‍රපට තුනක තිරකතා ලිව්වා; ටෙලි නාට්‍යය පිටපත් 2ක් ලිව්වා; සින්දු 350ක් විතර ලිව්වා

සැමදා ඔබ ළඟ ඉන්නම්...සිතින් පතා ඉන්නම්... වැනි ගී නිර්මාණවලින් කලක් තිස්සේ තරුණ හදවත් වසඟයට ගත් ළයාන්විත ගී ස්වරයක හිමිකරුවෙක් වන කුමාරසිරි පතිරණගේ පුත් සිනෙත් මාලක සිය පියාගේ අඩි පාරේ යමින් නව සංගීත රිද්මයක් සමඟ රසික හදවත් ආමන්ත්‍රණය කරන්නට පටන් ගෙන තිබෙනවා. ඒ "සඳක් සේ පායා" ගීතයෙන්. මේ ගීතය නිර්මාණය වූ ආකාරය ගැන අපි පිය පුතු දෙදෙනා එක්කම කතා කළා.

මුලින්ම කතා කළේ කුමාරසිරි පතිරණ සමඟ, කොහොමද මේ කාලය ගත වෙන්නේ?

කොවිඩ් කාලය මුලින්ම එද්දී හිතාගන්න බැරි තත්ත්වයක හිටියේ මොකද කරන්නේ කියලා. මොකද අපි සංගීත කටයුතු එක්ක එහෙට මෙහෙට යන ක්‍රියාවලියක හිටියේ. ඒ සියල්ල අඩපණ වෙලා අපේ ආර්ථිකයත් බිමට කඩා වැටුණා. මොකද කලාකරුවන් ජිවත් වෙන්නේ මාසික වේතනයක් තුළ නෙවෙයිනේ. එදිනෙදා කලාකටයුතු එක්කනේ. පාස්කු ප්‍රහාරය ආව අප්‍රේල් 21 වෙනිදා ඉඳලම අපට බලපෑවා. ඒකත් එක්ක කොවිඩ් ආවම කබලෙන් ලිපට වැටුණා වගේ වුණේ. නමුත් ඒ වෙනකොට අපි ඉතිරියක් කරගෙන හිටි දේවල් එක්ක ජිවිතේ අමාරුම කාලයට මුහුණ දුන්නා. ඊට පස්සේ මට හිතුණා මේ කාලය මගේ නිර්මාණ වලටම යොදා ගන්න. චිත්‍රපට තුනක තිරකතා ලිව්වා. ටෙලි නාට්‍යය පිටපත් 2ක් ලිව්වා. සින්දු 350ක් විතර ලිව්වා. ඒ කියන්නේ ඒ ගත වෙලා යන කාලය ආයේ අපිට එන්නේ නැහැනේ ඒ නිසා කොවිඩ් එක් වැඩ නැහැ කියන එක ඔළුවෙන්ම අයින් කරලා විදියට කාලා බීලා නිර්මාණ වලටම කාලය යෙදෙව්වා.

දැන් ඔය ලියපු නිර්මාණ 350න් ගීත කීයක් නිර්මාණය කළා ද?

මගේම සින්දු 20ක් විතර පටිගත කළා. පුතාටත් සින්දු 10ක් විතර සහ දුවටත් සින්දු 10ක් විතර කළා. මොකද මට රේකොඩින් ස්ටුඩියෝ එකක් තියෙනවා.සවුන්ඩ් ඉංජිනියර් සහ ග්‍රැෆික් ඩිසයිනින් කරන්නේ පුතාමයි. ඒ වගේ ම සින්දු ගොඩක් තියෙන නිසා මම Fb එකේ පොස්ට් එකක් දැම්ම මගේ ගීත ප්‍රියකරන හෝ සින්දු කියන්න පුළුවන් ආධුනික අයට මේ ගීත යම් මුදලකට දෙන්න. ඒ පොස්ට් එකට අපේ ගීත ප්‍රිය කරන, ඒ කියන්නේ 90ආර ප්‍රියකරන ගීත 40-45කට වඩා නිර්මාණය කර දෙන්න පුළුවන් වුණා. ඒ තුළින් මට මගේ ආර්ථිකයත් පෙර තියෙන මට්ටමට ගෙන්න පුළුවන් වුණා. තව මට කියලා සින්දු දෙකක් වොයිස් කර ගත්තා මට ආදරය කරන රසිකාවියක් සහ හමුදා නිලධාරියෙක්. ඒ අයගේ පද රචනා මාලාවලට මම සංගීත නිර්මාණය කරලා ගායනා කළා. එහෙම මගේ ආර්ථිකය හොඳ වෙද්දී මට අදහසක් ආවා කොවිඩ් නිසා ගායන ශිල්පියෝ අසරණ වෙලා ඉන්න නිසා මට පුළුවන් විදියට ගෙදර අය එක්කත් එකතු වෙලා රුපියල් 5000 බඩු මලු 80ක් හැම ගායක ගායිකාවන්ගේ ම අතට ම ගිහින් දුන්නා. ඒක මම ජිවිතේ ලැබුව ලොකුම සතුටක්. තව මමත් ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් ලෙස සංගීත කණ්ඩායමකින් ආව කෙනෙක් නිසා මම හැදුවා "ගායෝ" කියලා. පෙර සංගීත කණ්ඩායම් වල ඉඳල අද වෙද්දී ගායකයෝ වෙලා ජනප්‍රිය වුණු කට්ටිය නැවත වාදනය කරන ලංකාවේ පළවෙනි සංගීත කණ්ඩායම.

දැන් මේ පුතා ගයන "සඳක් සේ පායා" ගීතය ඔබේ පදරචනා අතරේ විශේෂ වෙන්නේ කොහොමද?

මගේ 94 දී අවුට් වුණු තුන්වෙනි කැසට් පටයේ එන "පෙරුම් පුරා බලාන ඉන්නම්..ගීතයේ කෝරස් එකත් එක්ක තමයි මෙහි මෙලඩි එක හදලා මට ගෙනත් දුන්නේ තාත්තා මට මේකට සින්දුවක් ලියලා දෙන්න කියලා. මගේ සංගීත ආර නොවුණත් අදට ගැළපෙන සංගීත ආරකට ගැළපෙන මියුසික් රටාවක් මෙහි තිබ්බා. ඊට පස්සේ තමා මේ ගීතය නිර්මාණය කළේ. මේ වෙද්දී ගුවන් විදුලිය, යූ- ටියුබ් සහ Fb හරහා මේ ගීතය අහන්න පුළුවන්. නොයෙක් ප්‍රතිචාර මට ලැබෙනවා පුතා ගැන. මගේ කටහඬ වගේමයි කියලත් කියනවා. ගීතය ගැන නරක ප්‍රතිචාර නම් මේ වෙනතෙක් ආවේ නැහැ. මේක මගේ චිත්‍රපටයට කරපු ගීතයක්.

මොකක් ද ඒ චිත්‍රපටය

ඒ චිත්‍රපටයේ කතාව දෙබස් තිර රචනය සංගීතය සියල්ල අපේ පවුලේ අයම තමා නිර්මාණය කරන්නේ. මගේ හිතවතෙක් නිෂ්පාදනය කරන්නේ. කොවිඩ් නිසා පොඩ්ඩක් අපි කල් දැම්මා වැඩ පටන් ගන්න එක. නමුත් අනිවාර්යෙන්ම ඒ චිත්‍රපටය නිර්මාණය වනවා. සිනමා නිර්මාණයක් කිරීම මගේ ලොකු හීනයක්. චිත්‍රපට ගීත කියන්නේ වෙනස් ආරක් ගන්නා ගීත. ඒ වෙනුවෙන් හදපු ගීත කිහිපයක් තියෙනවා. දැන් අවුරුදු 10ක් 12ක් තිස්සේ. ඒවා මමවත් ගායනා නොකර තියන් ඉන්නේ සිනමා නිර්මාණයටම එකතු කරන්න.

ඔය අපි කතා කළේ "සඳක් සේ පායා" ගීතය නිර්මාණය වූ ආකාරය, මෙය ගායනා කරන්නේ කුමාරසිරි පතිරණගේ පුත් සිනෙත් මාලක නිසා ඔහුගෙන් ගීතය ගැන නොඅසා හිටියොත් අඩුවක් වෙන නිසා මේ කතා බහ මාලක සමඟ.

කොහොමද සිනෙත් මාලකට ලැබෙන ප්‍රතිචාර

දැනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කාලෙකට පස්සේ තමයි මම සින්දුවක් රිලීස් කළේ. තාත්තගේ සමකාලින අය තාත්තට කතා කරලා හොඳ නරක කියනවා. මගේ අදහස තියෙන්නේ තාත්තාගේ රටාව ම කරන්න ඕනේ නැහැ කියන තැන. තාත්තයි අම්මයි දෙන්නම ඉන්නෙත් ඒ මතයේම. මොකද කුමාරසිරි පතිරණ කියන තැන තාත්තා හිටිය ම ඇති. මට කියනවා තාත්තගේ කටහඬ තියෙන්නේ කියලා. එතකොට මම උත්සාහ කරන්නේ ඒ හඬට මගේ අනන්‍යතාවක් ගොඩනඟා ගන්න.

මේ ඔබේ කීවෙනි සින්දුවද?

මම මේ වෙද්දී සින්දු ගොඩක් කරලා තියෙනවා. මිට කලිනුත් නිර්මාණ එළිදැක්වූවා. අනිත් අලුත් නිර්මාණත් හිමින් සැරේ රසික ජනතාවට අතරට අහන්න සලස්වන්න තමා බලාපොරොත්තුව.

පියා වගේම සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නද බලාපොරොත්තුව

මම මෙච්චර කාලයක් ඇඩ්වටයිසින් සහ 3D ග්‍රැෆික් පැත්තට තමයි ගොඩක් කාලය වෙන් කළේ. ඒ නිසා වෙලාවක් තිබ්බේ නැහැ මියුසික් පැත්තට වැඩි කාලයක් යොදවන්න. නමුත් මේ කොවිඩ් කාලේ ඉඩක් ලැබුණු නිසා දැන් සම්පුර්ණයෙන්ම සංගීතය පැත්තට යොමු වෙන්න තමා බලාපොරොත්තුව.

සංගීතය වෘත්තීය මට්ටමින් අද වෙද්දී කරන්න පුළුවන් ද?

අනිවාර්යෙන්ම. අද වෙද්දී ලෝකය දිහා ගත්තම සංගීත කලාවෙන් ස්ථාවර වුණු අය කොතරම් ඉන්නවද? ලංකාව තුළ පවා වත්මන් පරපුර මෙය හොඳ වෘත්තීය මට්ටමින් කරගෙන යනවා. අපේ තාත්තලගේ කාලේ සංගීතය වෘත්තීය මට්ටමින් නොවුණේ ඒ අය කළේ ආත්ම තෘප්තියට සහ තමන්ගේ නිර්මාණ හැකියාවන් පෙන්වීමට. ඒ අයට මගහැරුණු දේ තමා මුදල. මම කියන්නේ නැහැ සල්ලි පස්සේ යා යුතුයි කියලා. නමුත් මම විශ්වාස කරනවා ඕනෙම දෙයකට වටිනාකමක් තියෙන නිසා, තමන්ට ලැබිය යුතු වටිනාකම ලබා ගත යුතුයි. ඔවුන්ට එය ලැබුණේත් නැහැ ඔවුන් මුදල් බලාගෙන නිර්මාණ කළෙත් නැහැ. ඒ දේවල් උපයා ගත්තේ වෙන වෙන පාර්ශ්ව. ඒ නිසා තමා කලාකරුවන් හිඟන්නන් කියන මතය නිර්මාණය වුණේ. දැන් මෑතකනේ සිනමාව කර්මාන්තයක් විදියට පිළිගත්තේ. ඒ වගේම සංගීතය කියන්නෙත් ගායන ක්ෂේත්‍රය කියන්නෙත් කර්මාන්තයක්.

 අනුෂා රණසිංහ

Comments