ප්‍රේමයේ ලසෝ මන්දිරයක අසිරිය රිච්මන්ඩ් කාසල් | සිළුමිණ

ප්‍රේමයේ ලසෝ මන්දිරයක අසිරිය රිච්මන්ඩ් කාසල්

ප්‍රේමයට සැමරුම් නැත්තේ කොහෙද? රිච්මන්ඩ් කාසල් මැදුර යනු ප්‍රේමයේ අපූර්වතම සංකේතයකි. ශ්‍රී ලංකාවේ කුඩා ටජ් මහල ලෙස ද හැඳින්විය හැකි රිච්මන්ඩ් කාසල් මැඳුර පිහිටා ඇත්තේ දකුණු කළුතර නගර මධ්‍යයේ සිට කිලෝමීටර 3ක් පමණ ඇතුළට වන්නටය.

රිච්මන්ඩ් කාසල් මැඳුර ඉදිකොට ඇත්තේ 1910 වසරේදී එවකට කළුතර දිසාව භාරව සිටි මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමා විසිනි. ඔහුට මෙවැනි මනස්කාන්ත මන්දිරයක් ඉදිකිරීමට අදහසක් පහළ වී ඇත්තේ ඉන්දියාවේ සංචාරයකට ගිය අවස්ථාවක දුටු එරට මහරාජා කෙනෙකුගේ මහා මන්දිරයක් නිසාය. එමෙන්ම ඔහු විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි යුවතියගේ පවුලේ අය පුදුම කර ඔවුන්ගේ සිත් දිනාගනිමින් තම ප්‍රේමය දිනාගැනීමත් මේ මන්දිරය ඉදිකිරීමට තවත් හේතුවකි. මේ මන්දිරය තැනීමට අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ විදේශ රටවලින් වන අතර දේශීය අමුද්‍රව්‍ය ලෙස භාවිත කර ඇත්තේ හුණු, වැලි සහ කළුගල් පමණක් බව පැවසේ. ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද උළු, ගඩොල්, කිරිගරුඬ, එංගලන්තයෙන් ගෙන්වූ රවුම් තරප්පු සහ සිවිලිම් තහඩු සහ බුරුමයේ රැන්ගුන් නුවරින් ගෙන්වන ලද තේක්ක ලීවලින් මෙම මන්දිරය හැඩවී ඇත. ස්වාභාවික සිසිලස ගෙතුළට ගලාගෙන එන ආකාරයට සාදා ඇති කවුළු, මැද මිදුලේ ඇති වතුර ගලන සිංහ කට ආදී සුවිශේෂී ගෘහ නිර්මාණ ලක්ෂණ මේ මැඳුරේදී දැකගත හැකිය.

මන්දිරයේ සම්පූර්ණ උළුවහු ප්‍රමාණය 99ක් වන අතර ජනෙල් ප්‍රමාණය 38කි. පහත මාලයේ හා උඩු මහලේ කාමර ප්‍රමාණය 14ක් වන අතර ඒ අතර බිම් මහලේ කාමර 5ක්, කන්තෝරු කාමර 2ක්, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක් ද වේ. මීට අමතරව පෝටිකෝවක්, බැල්කනියක්, මැද සාලයක් හා මැද මිදුලක් එහිදී දැකගත හැකිය. උඩුමහලේ කාමර 6ක්, නාන කාමර සහිත වැසිකිළි 4ක්, බැල්කනියක් සහ තවත් හිස් අවකාශයක් ද වේ. නිදන කාමරවල බිත්ති, ශබ්ද පිටතට හා ඇතුළතට ගලා ඒම වැළකෙන අයුරින් ඉදිකර තිබීම ද විශේෂත්වයකි.

උයන මැද ඇති පොකුණ මේ මහා මන්දිරයට ගෙන දෙන්නේ අපමණ සුන්දරත්වයකි. ග්‍රීක කැටයම් ශිල්පයට සමාන වූ කිරිගරුඬෙන් නෙළු ප්‍රතිමා දොළහක්, මුදලිතුමාගේ සහ බිරියගේ නිදන කාමරයට මුහුණලා පිහිටි කුඩා දරුවන් සත් දෙනකුගේ හා එය මධ්‍යයේ දරුවකු නළවන මවකගේ ප්‍රතිමාවක් ද එහි ස්ථාපිත කර ඇත.

ආතර් ද සිල්වා මහමුදලිතුමා විසින් එතරම් පරිශ්‍රමයක් දරා ඉදිකරනු ලැබූ මෙම රිච්මන්ඩ් කාසල් මැඳුරට ගෙවැදී ඇත්තේ 1910 වර්ෂයේ මැයි 10 වැනි දින පැවැත්වූ ඔහුගේ විවාහ මංගල්‍යය සමඟ බව ද වාර්තා වේ. එ් විවාහ උත්සවය ඉතා මනහර උත්සව ශ්‍රීයක් ඉසිලූ බව පැරැන්නෝ කියති.

එතරම් සුන්දර මහ මන්දිරයක වාසය කළද අවාසනාවකට මෙන් ආතර් මුදලිතුමාගේත් ඔහුගේ බිරිය මැටිල්ඩා සූරියබණ්ඩාර මැතිනියගේත් ආදර කතාව නම් එතරම් සොඳුරු එකක් නොවූ බව ද පැවසේ. දරු සම්පත් අහිමි වීම නිසා සිත් තැවුලෙන් කල්ගත කොට ඔවුන්ගේ සබඳතාව අවසාන වී ඇත්තේ ශෝකාන්තයකිනි. රිච්මන්ඩ් කාසල් මැඳුරේ ගෙවත්තේ ස්ථාපිත කොට ඇති කුඩා දරුවන්ගේ සුන්දර ප්‍රතිමාවලින් හෝ ඒ වේදනාව පහ කරගැනීමට මේ ධනවත් යුවතිපතින්ට හැකිවී නැහැ. වර්ෂ 31ක් රිච්මන්ඩ් කාසල් මන්දිරයේ දිවි ගෙවූ ආතර් ද සිල්වා මහමුදලිතුමා කිසියම් හේතුවක් මත 1941 ජූලි මස 4 වැනිදා රිච්මන්ඩ් කාසල් ඇතුළු තමා සතු සියලු වත්කම් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දී ඇත. ඒ, මේ මන්දිරය ඔහුගේ ඇවෑමෙන් අනතුරුව අනාථ දරුවන් වෙනුවෙන් රැකවරණය සලසන ස්ථානයක් බවට සහ අනෙකුත් වතුපිටිවල ආදායම එම දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වෙන්විය යුතු බවට අවසන් කැමැත්ත ප්‍රකාශ වන පරිදිය.

එවැනි ශෝකාකූල ඉතිහාසයක් සඟවා ගත් රිච්මන්ඩ් කාසල් මැඳුර අදත් පෙර පුරුදු තේජසින්ම විරාජමාන වන්නේ ඒ තුළ සැඟවී ගත් ප්‍රේමයේ අමරණීය රිදුම ද සඟවාගෙනය. මහමුදලිතුමාගේ අවසන් කැමැත්ත අනුව මේ වනවිට මහා භාරකාර මණ්ඩලය යටතේ පාලනය වන මේ මැඳුර, පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර මහජන ප්‍රදර්ශනය සඳහා ද විවෘතය.

ගමන් මාර්ගය-

කළුතර ඔරලෝසු කණුව අසලින් වම් පැත්තට හැරී පලාතොට හන්දියට ගොස් පලාතොට-කෙත්හේන පාර දිගේ යනවිට හමුවන භික්ෂු විවේකාරාමය පසුකරන විට ‘රිච්මන්ඩ් කාසල්’ යනුවෙන් සඳහන් නාම පුවරුවක් දැකගත හැකිය. රිච්මන්ඩ් කාසල් මන්දිරය පිහිටා ඇත්තේ එතැන් සිට නැවත මීටර් 500ක් පමණ යන විට කළු ගඟ මායිමේ කුඩා කඳු ගැටයක් මුඳුනේය.

සුරේකා ඉලංකෝන්

Comments