
ගීතාලංකාරය
ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාර
සුනිල් සරත් පෙරේරා කිවිඳාණන් වූ කලී පරිසර කාමියෙකි. ඔහුගේ බොහෝ ගීත රචනා තුළ අජීවී ස්වභාව ධර්මයට සජීවී බවක් ආරෝපණය වී තිබෙන අයුරු දකින්නට පුළුවන්.
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද දුටුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
සාර්ථක ගීත රචනයක් බහුවිධ අර්ථ දනවනවා. මේ ගීතයත් එහෙමයි. ඇතැම්විට රචකයාගේ අතිශයින් පෞද්ගලික අත්දැකීමක් රසිකයා තුළ ඊට හාත්පසින්ම වෙනස් හැඟීමක් ජනිත කරවන්න පුළුවන්. නිර්මාණයට හානි නොවේ නම් එහි වරදක් නැහැ. සුනිල් සරත් පෙරේරාගේම තවත් නිර්මාණයකින් මෙය දකින්න පුළුවන්.
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා....
මේ තැනැත්තිය කථකයාගේ පැරණි පෙම්වතිය ද? එසේ නැතිනම් බිරිඳ ද? ආදී විසංවාදයන් මෙහිදී හටගන්න පුළුවන්. එහි වරදක් නැහැ.
සුනිල් සරත් පෙරේරා නම් සෞන්දර්යවාදියා වරෙක වස්ගමුව වනෝද්‍යානයේ නවාතැන්පළක රාත්‍රිය ගත කරනවා. වනාන්තරය මතට සඳඑළිය පතිත වෙලා මුළු පරිසරය ම අරුම පුදුම සෞන්දර්යකින් වෙළී ගිහින්. ඔහුගේ කවි සිතුවිලි අවදි වෙන්න පටන් ගන්නවා. ඒත් ටික වෙලාවකින් ඒ සුන්දර පරිසරය මීදුමකින් වැසී යනවා. ජීවිතය වගේ ම ස්වභාව ධර්මයත් අනිත්‍යයි.
රචකයා "ඇය" යනුවෙන් අමතන්නේ ස්වභාව ධර්මයට යි.
"ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු හෙවැණැලි අතරේ
ගී ගයමින් ඉඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා....."
ස්වභාව සුන්දරිය ඔහුට තුරුලු වී ගී ගයමින් සතුටු වූ බව එයින් කියනවා. එහෙත් ඇය මොහොතකින් මුහුණ වසා ගන්නවා. එවිට අහිමි වූ ශෝකය මල් පෙති අගට පතිත වූ පිනි කඳුළකින් සංකේතවත් වෙනවා.
කවියකදී මෙන් නොව ගීත රචනයේ වචන භාවිතය වඩාත් සුමට විය යුතුයි. ස්වභාව සුන්දරිය මොහොතකට පෙර ඔහුට ලබා දුන් චිත්ත ප්‍රමෝදය රචකයා අතිශයින් සුමට වචන මාලාවකින් ඉදිරිපත් කරනවා.
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත සාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා....
මේ රාත්‍රියේ මේ සෞන්දර්යය අහිමි වී යෑම පිළිබඳ රචකයා තුළ ශෝකයක් හටගන්නවා. මෙබඳු වසත් කාලයේ මොහොතක් ගිම්හානයට පෙර නැවත දකින්නට නොලැබෙතැයි ඔහු සිතනවා.
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
මේ ගීතයත් සමඟ බද්ධ වූ තවත් ශෝකජනක කතා පුවතක් තිබෙනවා. ඒ කතාව මට කියුවේ අමරසිරි පීරිස් මහත්මයා.
එතුමන් මේ ගීතය සංගීතවත් කරන්න රැගෙන යන්නෙ එච්.එම්. ජයවර්ධනයන් වෙතට.
ජයවර්ධනයන් මෙහි තනුව නිර්මාණය කරමින් ඉඳලා මගදී අතහැර දානවා.
"අමරෙ මට මේක කරන්න බෑ"
අමරසිරි පීරිස් මහත්මයා පුදුමයට පත්වෙනවා. අන්තිමට ඉතිරි සංගීත කොටස් එතුමන් ම සකස් කර ගන්නවා.
මේ මොහොතවන විට එච්.එම්. ජයවර්ධනයන්ගෙ ප්‍රිය බිරිඳ විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ඇමරිකාවෙ සංගීත ප්‍රසංගයට සහභාගිවන්න ගිහින්. දින කීපයකින් අරංචි වෙනවා ඇය හදිසියෙම ඇමරිකාවෙදි මිය ගියා කියලා.
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් ඉඳ තුරුලේ
ඇය යන්න ගියා මැකිලා...
මේ කතාව භෞතික විද්‍යාවෙන් විශ්ලේෂණය කරන්න අමාරුයි. ඒත් ඒක එහෙම වුණා.
කුමක් හෝ ඉවක් එච්.එම්. ජයවර්ධනයන්ට දැනෙන්නට ඇති. සමහර දේවල් තිබෙනවා තර්කයට බුද්ධියට හසු නොවෙන. එවැනි සිද්ධියකට මේ ගීතය මොනතරම් සමීප ද? සිරිගුණසිංහ මහත්තයාගෙ කවියක් ආරම්භ වෙන්නෙ මෙහෙමයි.
"මා හැරදා
දරදඬුකොට දා මා අත්පා
ඈ යන්න ගියා මැකිලා"
සමහරවිට මේ වචනත් රචකයාගෙ මනසට නිරායාසයෙන් ඇතුළු වෙන්න ඇති.
කාව්‍යාලංකාරයක් වන "රූපක" වලින් පිරි බස සුනිල් සරත් මහත්මයා එතුමන්ගේ බොහෝ නිර්මාණ තුළ මැනවින් හසුරුවනවා වගේම එතුමන්ගෙ ගීත පුරා අනිත්‍ය ධර්මතාව පසක් කරනවා. අමරසිරි පීරිස් මොන තරම් සංයමයකින් මේ ගීය ගයනවද? සිතාරය, බටනලාව මේ ගීතය තුළ හදවත පාරවනවා. සුනිල් සරත් පෙරේරා මහතාණනි! ඔබට දීර්ගායුෂ.