කාන්තා ඔබ ආතරයිටිස් රෝගයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

කාන්තා ඔබ ආතරයිටිස් රෝගයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය

දුමින්ද මුනිදාස (රක්තවේද සහ පුනුරුත්ථාපන රෝහල - රාගම)

වයසට යනකොට අපේ වැඩිහිටි කාන්තාවන්ගෙන් නිතර ඇසෙන දෙයක් ඇගපතේ වේදනාව ගැන. වයස්ගත වීමත් එක්ක එය ස්වභාවික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. එහෙත් තරුණ කාන්තාවන් අතරත් එම ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා අපට හමු වේ. නොදැනුවත්වම රෝගී තත්ත්වයන්ට හැරවීමේ එක් තත්ත්වයක් වන්නේ ආතරයිටිස් ය. එබැවින් ඒ පිළිබඳ කාන්තාවන් දැනුම්වත් කිරීමේ ලිපියක් අපි මෙවර ඔබට ඉදිරිපත් කරන්නෙමු. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා දෙන්නේ රාගම රක්තවේද සහ පුනුරුත්ථාපන රෝහලේ සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද මුනිදාස යි.

‘මෙය කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වැලඳෙන රෝගයක්. කාන්තා පාර්ශ්වයට බහුල රෝගී තත්ත්වයක් නිසා ඔවුන් අතර වැඩි අවදානයකට ලක් වී ඇත. ආතරයිටිස් රෝග වර්ගීකරණයන්ට අනුව සියයකට අධික ප්‍රභේද ප්‍රමාණයක් ඇති බවත් වෛද්‍ය සමීක්ෂණ ඔස්සේ වාර්තා වේ.

ආතරයිටිස් රෝගවලට ගොදුරු වීම කේන්ද්‍ර කොටගෙන නිශ්චිත හේතුවක් බොහෝ ආතරයිටිස් ප්‍රභේද තවම සොයාගෙන නැත. එහෙත් හෝර්මෝනවල බලපෑම, ස්ථුලතාව ,ශරීරයේ වෙනස්කම්, වයස් මට්ටම හෝ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී සිදුවන යම් යම් බලපෑම් මත රෝගය වැලඳේ. සන්ධිවල වේදනාවක් ඇතිවීම හා ඒ ආශ්‍රිත සන්ධි වටා ඉදිමීම ආතරයිටිස් රෝගයේ ප්‍රධානමත ලක්ෂණ වේ. ඒ අනුව ආතරයිටිස් ප්‍රභේද වයස් කාණ්ඩ ඔස්සේ හඳුනා ගැනීම පහසුය. තරුණ ,මැදිවිය හා වැඩිහිටි වයස් මට්ටම් අනුව වර්තමානයේ බහුල රෝග වර්ග හඳුනා ගත හැකිය.

එහිදී තරුණ අවදියෙදී සුලබව ඇතිවන ආතරයිටිස් වර්ගයක් ලෙස රුමැටයිඩ් ( Rheumatoid)හැඳින්වේ. අපගේ ශරීරයේ ප්‍රතිදේහ සන්ධිවලට විරුද්ධව ක්‍රියාකරවීමට ප්‍රතිදේහ නිර්මාණය කිරීමත් ඇතැම් අවස්ථාවල ශරීරයේ සිදුවන අහඹු අවස්ථාවක්. එය බොහෝවිට රෝගයකට අත වැනීමක් විය හැකිය. එමඟින් රුමැටයිඩ් ආතරයිටිස් රෝගය ඇති වන අවස්ථා ද බහුලව හමුවේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතියත්, සන්ධි ආශ්‍රිත තරුණ අස්ථිද බලපෑමට හසු වේ. ඉන්පසු එය කාටිලේජ හරහා පැතිර යයි. එය ශරීරයේ ඕනෑම පද්ධතියකට බලපෑම් කරලීමට හැකි වන අතර එය ආතරයිටිස් රෝගයට වඩා පසුකාලීනව වකුගඩු, පෙනහලු, හෘදය, ස්නායු වැනි ශරීරයේ අවදානම් අවයව සහිත පද්ධතිවලට ද හානි ගෙන දෙයි.

මීළඟට කාන්තාවන් අතර තවත් ආතරයිටිස් වර්ගයක් SLE(Systemic Erythematous).මෙයද ප්‍රතිශක්තිකරණ පද්ධතියට සිදුවන බලපෑම් නිසා ඇතිවේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිටතින් එන බැක්ටීරියා, වයිරස විෂබීජවලට විරුද්ධව ප්‍රතිදේහ නිපදවයි. නමුත් මෙහිදී ද රුමැටයිඩ් ආතරයිටිස් රෝගය හා සමානව එම ප්‍රතිදේහ තමන්ගේම සෛලවලට විරුද්ධව ස්වයංව ක්‍රියා කරයි. ලූපස් ආතරයිටිස් ඇති වන්නේ ඒ ආශ්‍රයෙනි.මෙයද ශරීරයේ ඕනෑම පද්ධතියකට බලපෑම් කළ හැකිය. ආතරයිටිස් අතර වැඩිහිටි කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක්ට ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය දක්නට ලැබේ. වයස්ගත වීම මූලික කොටගෙන ඇතිවන අතර ස්ථුලතාව ,මාංශපේෂී දුර්වල වීම, හෝර්මෝන වෙනස්කම්, ව්‍යායාම් මදිකම වැනි ප්‍රවේණික හේතු සාධක රෝගය සඳහා බලපායි. මේ සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැති අතර අවස්ථානුකූලව වෛද්‍ය උපදෙස් මත වේදනා නාශක වැනි දේ ලබා දෙයි. එයද සීමිත ප්‍රමාණයක් ගැනීම වැදගත් ය. ඒ වගේම සන්ධි අවට මාංශපේෂී ශක්තිමත් වීමට ව්‍යායාම් සිදු කරයි. එය හැරුණ විට සාමාන්‍ය ආතරයිටිස් රෝග සඳහා කරන සෞඛ්‍ය හුරුපුරුදු අනුගමනය කිරීම වැදගත්.

මෙලෙස අපගේ ශරීරයට දීර්ඝකාලීනව වේදනා ගෙන දෙනවා නම් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් ය. ආතරයිටිස් සඳහා ඒ ඒ ආතරයිටිස් ප්‍රභේද අනුව වෛද්‍ය ප්‍රතිකාර සිදු කරයි. විශේෂයෙන්ම රුමැටයිඩ් වැනි තත්වයන්හිදී රෝගය මුලතියා හඳුනා නොගතහොත් සන්ධි නරක් වීමට අවස්ථා පවතී.

එලෙස සන්ධි නරක් වූ විට, සන්ධි අලුතෙන් දැමීම වැනි අවස්ථාවල සැත්කම් සිදු කරයි. මෙම ආතරයිටිස් ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැකිය. එම නිසා තමන්ගේ එදිනෙදා ජීවිතයේ චර්යා හා ඉරියව් නිවැරැදිව පවත්වා ගැනීම වඩා වැදගත් වේ.

මීට අමතරව ස්ථුලතාව පාලනය, දියවැඩියාව පාලනය, නිවැරැදි ව්‍යායාම්වල නිරත වීම, සමබර හා පෝෂදායී ආහාර රටාවක් අනුගමනය කිරීම කළ යුතුය. එමඟින් ඔබගේ සාමාන්‍ය දෛනික වැඩකටයුතු සඳහා ඔබේ ශරීරයේ අවයව අපහසුවකින් හෝ වේදනාවන් අවමව සිදු කරලීමට රුකුලක් වේ.

 සඳුනි අරුමප්පෙරුමාච්චි

 

Comments