
ටෝනි ග්‍රෙග් කියන්නේ දකුණු අප්‍රිකාවේ උපත ලබා ඔස්ට්‍රේලියාවේ දී අවසන් ගමන් ගිය එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායකයෙක්. මහත්මා ගුණයෙන් පිරිපුන් ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වගේ ම ක්‍රීඩකයන්ටත් බොහෝ සේ ප්‍රිය කළ තැනැත්තෙක්.
නමුත් එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ඔහු කළ ප්‍රකාශයක් නිසා ඇති වූ කනස්සල්ල ඔහුගේ ජීවිත කාලයට ම බලපෑමක් ඇති කළා. අද ඔහු ජීවතුන් අතර නැතත් ජීවත්ව සිටි කාලය පුරා ම ඒ ප්‍රකාශය ගැන ඔහු පසුතැවුණා.
මෙම සිදුවීමට පසුබිම නිර්මාණය වන්නේ 1976 වසරේ ජුනි මාසයේ විස්ඩන් කුසලාන වෙනුවෙන් එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර එංගලන්තයේ පැවති තරග 5කින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සියල්ල සූදානම් කර තිබිය දී යි.
තරගාවලියට අදාළ ව පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්ව සිටි එංගලන්ත නායකයාගෙන් තරගාවලිය පිළිබඳ මාධ්‍යවේදියා විසින් විමසීමක් කරනු ලැබුවා.
“මම හිතන්නේ නැහැ ඔය කියන තරම් කොදෙව්වන් දක්ෂයි කියලා. ඔවුන් මාධ්‍යයෙන් පුම්බපු වීරයෝ ටිකක් විතරයි. මගේ කණ්ඩායමේ ඉන්නෙ දක්ෂයන් පිරිසක්. ඔවුන්ගේ උපකාරයෙන් මම ඔවුන්ට බඩගාගෙන යන්න අවස්ථාව ලබාදෙනවා.”
මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට ටෝනි ග්‍රෙග් දුන් පිළිතුර එය වුණා. ග්‍රෙග් එසේ ප්‍රකාශ කරන්නට ඇත්තේ කිසිවිටකත් වාර්ගික ප්‍රශ්නයක් මතු කරන්නට නොවූවත් ඒ ප්‍රකාශය ඉස්මතු කරමින් දකුණු අප්‍රිකාව ලබා දුන් ප්‍රසිද්ධිය කොදෙව් ක්‍රීඩකයන්ගේ කෝප ගැන්වීමට හොඳටම ප්‍රමාණවත් වුණා.
බඩගාගෙන යන වචනය එකල නිතර නිතර වර්ගවාදී ප්‍රකාශයන්ට භාවිත කර තිබීමත් ටෝනි ග්‍රෙග් දකුණු අප්‍රිකාවේ උපත ලැබූවකු වීමත් දෙපිල අතර ගිනි ඇවිළෙන්නට තදින්ම බලපෑවා.
“අපි ඒ ගැන වැඩියමක් කියන්න අවශ්‍ය නෑ. එයා රූපවාහිනියට ඇවිත් කිව්වේ එයාට දැනෙන දේවල්නෙ. ඒ නිසා අපි දන්න දේවල් ක්‍රීඩාංගණවලදී අපි පෙන්වන එකයි තියෙන්නේ.” ක්ලයිව් ලොයිඩ් තම කණ්ඩායමේ සාමාජිකයන් එසේ පවසමින් දිරිගන්වනු ලැබුවා.
දෙපිල අතර පළමු ටෙස්ට් තරගය නොටිම්හැම් හි දී ආරම්භ වුණා. කොදෙව් පිල ඇන්ඩි රොබට්ස්, මයිකල් හෝල්ඩින්, මැන්ඩර් හෝල්ඩර් හා චේන් ඩැනියල් සහ අධිවේගී පන්දු යවන්නන්ගෙන් ද විවියන් රිචඩ්ස්, ගෝර්ඩන් ග්‍රිනිජ්, රෝයි ෆෙඩ්රික්ස්, ඇල්වින් කලිචර්න්, ලෝරන්ස් රෝ හා ක්ලයිව් ලොයිඩ් යන ප්‍රබල පිතිකරුවන්ගෙන් ද සන්නද්ධව සිටියා.
එම පළමු තරගය මෙන් ම ලෝඩ්ස් හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද ජය පරාජයකින් තොරව අවසන් කරන්නට එංගලන්ත පිලට හැකි වුණා.
නමුත් මැන්චෙස්ටර් හි පැවති 03 වැනි ටෙස්ට් තරගය ලකුණු 425කින් ද ලීඩ්ස් හි පැවති සිව් වැනි ටෙස්ට් තරගය ලකුණු 55 කි න් ද එංගලන්තය පරාජයට පත්වුණා. මේ නිසා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පස් වැනි ටෙස්ට් තරගයට කොදෙව්වන් පැමිණියේ විස්ඩන් කුසලානය ද තමන් සතු කරගෙන තිබිය දී යි.
මේ නිසා ම ඕවල් ක්‍රීඩාංගණය එදා කොදෙව් ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා. දින පහක් තිස්සේ පැවති එම තරගයෙන් ද කොදෙව්වන්ට ලකුණු 231ක ජයග්‍රහණයක් හිමි වුණා.
එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 12 ක් ලබා-ගත් ටෝනි ග්‍රෙග් දෙවැනි ඉනිමේ දී ලකුණු එකකට දැවී ගියා. ඒ ඉනිම දෙකේ දී ම ග්‍රෙග් පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගොස් තිබුණේ මයිකල් හෝල්ඩින් ඉදිරියේ යි.
හෝල්ඩින් පළමු ඉනිමේ දී ලකුණු 92 ක ට කඩුලු 8 ක් දවා ගත් අතර, පන්දුව කඩුල්ලේ වැදී ක්‍රීඩක-යන් 06 දෙනකු ද කඩුල්ල මුවා කළ දෙදෙනකු ද ඒ අතර වුණා. දෙවැනි ඉනිමේ තවත් කඩුලු හයක් ම හෝල්ඩින්ට පූජා කරන්නට එංගලන්ත පිලට
සිදු වුණා. ඒ අනුව ඒ තරගයේ දී ලැබූ කඩුලු 14 ද සමඟ තරග 4 ක දී හෝල්ඩිං එංගලන්ත කඩුලු 28ක් බිඳ දමා තිබුණා. විවියන් රිචඩ් ඉනිම හතක දී ලකුණු 829 ක් රැස් කර තිබුණේ ඉනිමකට ලකුණු 118.42 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනුයි.
තරගාවලිය පුරා ම ටෝනි ග්‍රෙග්ට ලකුණු රැස් කරන්නට පිටියට පැමිණි පසු කොදෙව් වේගපන්දු යවන්නන්ගේ බවුන්සර් පන්දුවලින් දිවි ගලවා ගන්නට ලොකු සටනක් කරන්නට සිදු වුණා.
මොනව වුණත් ටෝනි ග්‍රෙග් කියන්නෙ මහත්-මයෙක්. ඒ නිසා 05 වැනි තරගය අවසන් වූ සැණින් කොදෙව් ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩකයින් බලා සිටිය දී ම ඔහු මෙහෙම කිව්වා.
“දැන් ඉතිං මම බඩගාගෙන යන්නම්.” යැයි පවසමින් ඔහු ටික දුරක් දණින් ඇවිදගෙන ගියා. ටෝනි ග්‍රෙග් එදා තමන් අතින් සිදුවූ වරද නිවැරැදි කර ගත්තේ එහෙමයි.
කොහොම වුණත් අන්තර්ජාතික වශයෙන් තමන්ගේ අභිමතය ලෝකයට ප්‍රදර්ශනය කරන්නට බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලැබුණු වටිනාම වස්තුව ක්‍රිකට් බව එදා තමන්ට ක්‍රීඩාව ලබා දුන් එංගලන්තයට එංගලන්තයේ දී ම කියා දෙන්නට ක්ලයිව් ලොයිඩ්ගේ සේනාංකයට හැකි වුණා.
සීවලී එදිරිවීර