
ගමන් මාර්ගය ගාල්ල සිට මාතර දෙසට කිලෝමීටර් 2ක් පමණ ගමන් කරන විට මාර්ගයේ දකුණු පස හමුවන රූමස්සල හන්දියෙන් හැරී මඳ දුරක් යන විට හමුවන රූමස්සල කන්ද හරහා කැලය මැදින් ගොස් කිලෝමීටරයක් පමණ පහළට බසින විට රූමස්සල මුහුදු තීරය හමුවේ.
සොබාදම් කොමළියගේ හරිත යායෙන් ද ඉහළට දිවෙනා රතු පැහැ කබොක් ගල් කන්දකින් යා වූ වලාකැරලි රොද බැඳගත් අහසට රහස් කොඳුරනා මුහුදු තීරයේ දෑස් සොරා ගන්නා අරුමැසිය ගිමන් නිවා සැනසෙන්නට විතරක් නොව දිය බුං ගසා තුටින් කල් මරන්නට අපූරු තෝතැන්නකි.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර ගාලු පුරවරය සිටින්නේ පළමු පෙළේ ය. ගාල්ල වඩාත් අලංකාර කරන්නේ ඊට අයත් සුන්දර වෙරළ තීරයයි. හික්කඩුව සහ උණවටුන වෙරළ තරමටම ප්‍රසිද්ධ නොවුණත් රූමස්සල කියන්නේ ද ගාලු පුරවරයේ ඉතා සුන්දර ස්ථානයකි. රූමස්සල කන්ද හරහා කැලය මැදින් කිලෝමීටරයක් පමණ පහළට බසින විට හමුවන නිල්වන් මුහුදු තීරය නම් කර ඇත්තේ රූමස්සල ලෙසටයි. රූමස්සල ‘බොනවිස්ටා’යන නමින් ද හැඳින්වෙන අතර එහි අරුත නම් ‘ලස්සන භූමි භාගය’ යන්න බව ද ඇතැමුන්ගේ අදහසයි. කැලය මැදින් ගමන තරමක් දුෂ්කර වුවත් ඉන් පසුව හමුවන මනස්කාන්ත වෙරළ තීරය ඔබේ විඩාව සැණින් සංසිඳවනු ඒකාන්තය.
හිමාලයේදී පමණක් ඇස ගැටෙනා දුර්ලභ ශාඛ විශේෂ දැකගත හැකි සොඳුරු ඉසව්වක් හමුවේ නම් ඒ එකම ඉසව්ව විසල් ගාලු පුරවරයේ සොඳුරු රූමස්සල ම පමණි. ඓතිහාසික වටිනාකමින් ද පිරිපුන් රූමස්සල හා බැඳි රසවත් අතීත කතාන්දර නම් බොහොමයකි. රාමාගේ වානර හමුදාවේ නායකයා වන හනුමන්තා ලංකාවට පැමිණි අවස්ථාවේ රාමාගේ සොයුරු ලක්ෂ්මණ රෝගී වූ බව පැවසේ.
අවැසි ඖෂධ සොයා යළි ඉන්දියාවට ගිය ද වුවමනා පැළෑටියේ නම අමතක වූ නිසා හනුමා කළේ හිමාලයෙන් කොටසක් රැගෙන ඒම ය. ආපසු යන ගමනේදී ඒ කුඩා කඳු කොටස අතහැරී ගිය වග ද රැගෙන යද්දී අත්ලෙන් ගිලිහී වැටී ගිය කොටසින් සොඳුරු රූමස්සල නිර්මාණය වූ බව ද ජනප්‍රවාදයේ වේ.
අගනා ඖෂධ පැළෑටී බොහෝමයක නිජ භුමිය වන මෙම සොඳුරු වනයේ ඖෂධ පැළෑටී විශේෂ 150ක් පමණ ඇති බව ද පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. ඊටත් වඩා ඉතා අසමාන වූ පාංශු ගුණාංගවලින් සමන්විත රූමස්සල භූමිය අවට ඇති පාරසරික භූ දර්ශනයට වඩා විශාල වෙනසක් දක්වන බව ද පැවසේ. රූමස්සල ඇති ඖෂධ පැළෑටී සහ රිටිගල තිබෙන ඖෂධ සමාන බව පර්යේෂකයන් දක්වන තවත් මතයකි. පුරාණයේ මේ භුමියන් ඖෂධ උයන් ලෙස භාවිතා වන්නට ඇත.
‘ජංගල් බීච්’ නම් මනස්කාන්ත සයුරු තීරය අපට හමු වන්නේ ද මේ අපූරු ඉතිහාස කතන්දර පිරුණු සුන්දර ම රූමස්සලදීය.
ඒ චමත්කාර නිල්වන් සයුරු තීරය වෙත යෑමට ජපන් සාම විහාරය අසලින් පල්ලම් බැස කිලෝ මීටර් එකහමාරක් පමණ පහළට ඇවිද යා යුතු වේ. රූමස්සල කඳු මුඳුනේ පිහිටි සාම චෛත්‍යය ජපන් භික්ෂූන් වහන්සේ නමක් වන නිචිදත්සු ෆුහි මඟ පෙන්වීම යටතේ ඉදිකරන ලද්දකි. එය මෙරට ඇති සාම චෛත්‍යය පහෙන් එකක් ද වේ. සාම චෛත්‍යය ද වැඳ පුදාගෙනම ඔබට ජංගල් බීච් වෙරළ තීරය වෙත පියමන් කළ හැකිය. හිරු බැස යන සන්ධ්‍යාවක නම් අවට මැවෙන විසිතුරු වඩාත් මනහරය.
රතුපස් ගල් බොරලුවලින් සුසැඳි පටු මාර්ගය කෙටි දුරක් තරණය කළ විට ඒ සුන්දර වෙරළ තීරය ඔබේ දෑස් අබියස ය. සොබාදම් කොමළියගේ හරිත යායෙන් ද ඉහළට දිවෙනා රතු පැහැ කබොක් ගල් කන්දකින් යා වූ වලාකැරලි රොද බැඳගත් අහසට රහස් කොඳුරනා මුහුදු තීරයේ දෑස් සොරා ගන්නා අරුමැසිය ගිමන් නිවා සැනසෙන්නට විතරක් නොව දිය බුං ගසා තුටින් කල් මරන්නට අපූරු තෝතැන්නකි. අති රමණීය නිදහස් සයුරු පලසකි. සයුරේ හීලෑ සුදු පැහැ රල ගෙඩි, ඒ මත හැපි හැපී දඟලනා සීතල ම ඇල් හුළඟේ මුණු මුණුව ඔබව මොහොතකට මන්මත් කරලන්නේ පෙර දැනුම්දීම් නැතිවමය.
ඉතින්, මේ සයුරු තෙර අසිරිමත් අරුමැසිය දෑහින්ම විඳ සැනසෙන්න
ඉසුඹුවක් ලද විට ඔබත් නොවැරදීම එහි යන්න. අවිවේකී බව නිසා විඩාබර වූ ඔබේ ජීවිත සටහන් පොත ආදරණීය මතක සිතුවමින් පුරවා දෙන්නට ඒ සුන්දර වෙරළ තීරය සැදී පැහැදී සිටින්නීය.
ඒත්, මේ අපූරු බිම්කඩ මත කැළි කසළ, ප්ලාස්ටික් ඉසිර විසිර නොදමා අන් අයටත් චිරාත් කාලයක් විඳ සැනසෙන්නට ඉඩහසරත් ඉතිරිකර යන්නට නම් තරයේ සිහි තබා ගන්න. ඔබව සනසා, සතුට අප්‍රමාණව තිළිණ දී මේ සොඳුරු වෙරළ තීරය ඔබෙන් පෙරළා බලාපොරොත්තු වෙන්නේ එපමණම ය.