විවිධ ප්‍රභේද ඔස්සේ නවකතා ලිවීම මට සතුටක් ලේඛිකා - ගිම්හානි වාසනා | සිළුමිණ

විවිධ ප්‍රභේද ඔස්සේ නවකතා ලිවීම මට සතුටක් ලේඛිකා - ගිම්හානි වාසනා

කුඩා කල සිටම පොත පත කියවීමෙන් ලද පරිචයෙන් සහ පාසලේ සාහිත්‍ය තරගවලදී කෙටිකතා අංශයෙන් ජයග්‍රහණ ලබා තිබූ ගිම්හානි වාසනා ලේඛනයට පිවිසෙන්නේ විනෝදාංශයක් ලෙසිනි. ඇයගේ මුල්ම නවකතාව ‘ගුප්ත සිහිනය’ ප්‍රකාශයට පත්වන්නේ 2015 වසරේදීය. ඉන් අනතුරුව ඇය විසින් රචිත තවත් නවකතා 6ක් ප්‍රකාශයට පත්වන අතර, 2018 වසරේදී ගිම්හානි වාසනා ‘ගීමා ප්‍රකාශන’ නමින් ඇයගේම ප්‍රකාශන ආයතනයක් ආරම්භ කළාය. එම ප්‍රකාශන ආයතනය යටතේ මේ වන විට ඇයගේ නවකතා මෙන්ම වෙනත් ලේඛක ලේඛිකාවන්ගේ කෘති ද ප්‍රකාශයට පත් කෙරේ.

මේ වන විට ගිම්හානි විසින් ලියා ප්‍රකාශයට පත් කර ඇති නවකතා සංඛ්‍යාව 19කි.

 

1. මගේ නවකතා අතරින් මම වඩාත් කැමති නවකතාව සහ එය ලිවීමට හේතුව

එකම ප්‍රභේදයක කොටු නොවී ලේඛනයේ විවිධ පැතිකඩවල් මෙන්ම විරල මාතෘකා ඔස්සේ නවකතා නිර්මාණය කිරීමට මට ඇත්තේ ඉමහත් අභිරුචියක්. යටත් විජිත සමය තුළ ලංකාවේ පදිංචියට පැමිණෙන ඉංග්‍රීසි ජාතික සුදු මහතකු වන බ්‍රයන් ඩී. පිලිප්ස් සහ ලංකාවේ සිංහල ගැමි යුවතියක වන ටිකිරි කුමාරි අතර ඇතිවන අමුතු ආකාරයේ සිදුවීම් ඇතුළත් ප්‍රේම වෘත්තාන්තය සහිත 'සසල බන්ධන ' නවකතාව මා අතින් ලියැවෙන්නේ ඒ අනුවයි.

බ්‍රයන් සමඟ ප්‍රේමයෙන් බැඳෙන ටිකිරි කුමාරි, බ්‍රයන්ගේ සතුරකු වන තවත් ඉංග්‍රීසි ජාතිකයකු වන ස්ටීවන් විසින් මරා දමනවා. තම පෙම්වතියගේ අකල් වියෝව නිසා බ්‍රයන් යම් මානසික ව්‍යාකූලතාවකට පත් වන අතර, ඔහු සුවකර ගැනීමේ අරමුණින් එකල විසූ දක්ෂ මන්ත්‍රධාරියකු වන හේරත් හාමි මුත්තා වෙතට බ්‍රයන් යොමු කරන්නේ ඔහුගේ සේවකයකු වන අප්පුවා විසින්. තම යහපත් ගතිගුණවලින් හේරත් හාමි මුත්තාගේ සිත දිනාගන්නා බ්‍රයන්, ඔහුගෙන් දායාද ලෙස ලබන්නේ ප්‍රබල ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍රයට අනුව දුර්ලභ ඔසුවක් සහ කිසිවකු නොදත් ගුප්ත භාවනා ක්‍රමයක් මඟින් නොමැරී සියවස් ගණනාවක් ජීවත් වීමේ භාග්‍යය ලබන බ්‍රයන්, අප්‍රකට රහස් ජිවිතයක් ගත කරන්නේ ඔහුගේ මියගිය පෙම්වතිය වන ටිකිරි කුමාරි යළි උපදින කාලය එළැඹෙන තෙක්. වසර ගණනාවක ඇවෑමෙන් ඔහුට මියගිය තම පෙම්වතියගේ වර්තමාන උප්පත්තිය වන සහේලිව හමුවනවා.

 

2. ඒ නවකතාවේ මා වඩාත් සිත් ගත් සහ සංවේදී අවස්ථාව

වසර ගණනාවක් පුරාවට අමුතු ශාස්ත්‍රයකින් ජීවිතය රැකගෙන මියගිය තම පෙම්වතිය යළි උපදින තෙක් අතිශය අපහසුකාරී ජීවිතයක් ගත කරන බ්‍රයන්ට වසර ගණනාවකට පසු යළි ඉපදුණු තම පෙම්වතිය මුණගැසෙන අවස්ථාව ගැන ලිවීමේදී මම වඩාත් සංවේදී වුණා. ඒ අවස්ථාවේ බ්‍රයන් ටිකිරි කුමාරිට පවසන්නේ ඇයගේ මරණයෙන් පසුව තමා මරණය අත්හැර ජීවත් වීම තෝරාගත්තේ ඇය යළි උප්පත්තියක් ලබා තමා සොයාගෙන එතැයි යන පරම විශ්වාසය නිසා බවයි.

“ඔව් ටිකිරි කුමාරි.. මම නපුරු මනුස්සයෙක් තමයි.. පරම්පරා තුනක් තිස්සේ මම මේ හුස්ම පොද රැකගෙන ඉන්නවා.. ස්වභාව ධර්මයෙන් ආපහු දෙන්නම් කියලා ඉල්ල ගත්ත හුස්ම පොද.. ජීවිත කාල දෙකක් අතර සොබා දහමෙන්ම ලබාදෙන මරණයේ තෑග්ග මට ලැබුණේ නෑ... මිනිස්සු කොයිතරම් මරණයට බයද..? ඒත් ඒක සොබාදහම විසින්ම අපිට ලබාදෙන තෑග්ගක් කියලා දන්නේ කීයෙන් කී දෙනාද? ඒ විවේකය.. ඒ තෑග්ග නැතුව මගේ ආධ්‍යාත්මය ලෙඩ වෙලයි තියෙන්නේ.."

 

3. මෙතෙක් මට ලැබුණු හොඳ ම පාඨක ප්‍රතිචාරය

මා ලියූ තුන්වැනි නවකතාව වන 'කාල වර්ණ ' වෙනුවෙන් මට බොහෝ පාඨක ප්‍රතිචාර ලැබුණා. අඳුරේ සරණා ගුප්ත ආත්ම තම ගීත ගායනයේ හැකියාවෙන් තමා අසලට කැඳවා ගන්නා මෙලොව කිසිදු මිනිසකු නොයෙදෙන ආකාරයේ අමුතුම වෘත්තියක නිරතව සිටින ප්‍රතිමාවකට සම සුන්දර තරුණයකු වූ විවේන් සහ කාල වර්ණ සමක් හිමි නිසාවෙන් නිරන්තර සමාජයෙන් ගැරහුම්, අවමන් ලබන මන්දාරා නමැති තරුණියක් වටායි මේ කතාව ගෙතෙන්නේ. ඒ තරුණයා එක්වරම සමාජයෙන් අතුරුදහන් වන අතර පසුව මන්දාරාට ආරංචි වන්නේ තම පෙම්වතා වූ විවේන් හදිසියේම මිය ගිය බවයි. එම කෘතිය කියවූ තරුණියක් මට දුරකථන ඇමතුමක් දී කඳුළු සලමින් පවසා සිටියේ ඇයගේ පෙම්වතා ද එලෙසින්ම හදිසියේ මිය ගිය බවයි. එම තරුණිය විඳි ප්‍රබල මානසික වේදනාව ගැන මම ද අතිශයින් සංවේදී වුණා.

 

 4. මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

මේ වන විට මා විසින් ලියා පළ කර ඇති නවකතා ආදර කතා, ගුප්ත කතා සහ ෆැන්ටසි යන විවිධ ප්‍රභේදවලට අයත් වෙනවා. එකම ප්‍රභේදයකට කොටු නොවී විවිධ තේමා ඔස්සේ නවකතා නිර්මාණය කිරීමෙන් මා ලබන්නේ විශාල සතුටක්. එහිදී විවිධ විෂයන්වලට අදාළ පොතපත පරිශීලනය කරමින් නිවැරදි තොරතුරු සහිතව ලිවීමට මම වෙහෙසෙනවා. ඉදිරියේදී එවැනි වෙනස්ම කෘති ගණනාවක් මගේ පාඨකයන්ට තිළිණ කිරීම මගේ බලාපොරොත්තුවයි.

Comments