
වර්ගීකරණ හා ස්වභාව විද්‍යාඥ , වනජීවී ඡායාරූප ශිල්පී මෙණ්ඩිස් වික්‍රමසිංහ
නෙතූගේ ආචාර්ය උපාධිය අවසන් වූ වහා ම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසලක් ආරම්භ කිරීමයි අපේ බලාපොරොත්තුව
කනඋල්ලන් ගැන ලංකාවේ පර්යේෂණයක් කෙරිලා තියෙන්නේ මීට වසර හැත්තෑවකට පෙර
සෑම පර්යේෂණයක ම පර්යේෂණ පත්‍රිකා ලියන්නේ මගේ බිරිය. ඒක ලේසි වැඩක් නෙවෙයි. චූටි දුව නිදා ගත්තාට පස්සේ අපි දෙන්නා මහා රෑ වෙනකන් ඒවා ලියනවා
පාසල් භූමියට, මිතුරන්ගේ නිෙවසකට සර්පයෙක් ආවොත් කාටත් මතක් වූයේ "මෙණ්ඩා" ය. ඔහු ඒ සැණින් දිව යන්නේ කාගෙ අතින් හෝ මිය යෑමට ප්‍රථමයෙන් සර්පයා බේරා ගැනීමට ය.
අපට බොහෝවිට සිදු වන්නේ දෙමව්පියන් නිසා දරුවන් ගැන කතා කරන්නට ය. එහෙත් දරුවෙක් නිසා දෙමව්පියන් කවුදැයි සොයා ගිය ගමනකදී අපට හමු වන්නේ ශ්‍රී ලංකා උරඟ හා උභයජීවී පදනමේ නිර්මාතෘ, වසර හතක් (2000-2007 දක්වා) සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ශ්‍රී ලංකා වැඩසටහනේ පරිසර විද්‍යාඥයකු ලෙස කටයුතු කළ, වර්ගීකරණ හා ස්වභාව විද්‍යාඥ, වනජීවී ඡායාරූප ශිල්පී මෙණ්ඩිස් වික්‍රමසිංහ ය. ඔහු ශ්‍රී ලංකාවේ වනාන්තර පුරා සැරිසරමින් වසර 25ක් තිස්සේ මෙරටට ආවේණික සහ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින උරඟයන් හා උභයජීවීන් පිළිබඳ පර්යේෂණ සිදු කරන්නේ ය. හූණන්, සර්පයන්, හිකනලුන්, උභයජීවීන් නව විශේෂ තිස් පහක් පමණ සොයා ගැනීම නිසා හේ කීර්තියට ද පත් වූයේ ය.
මෙරට වඳවී ගිය බවට සැලකූ උභයජීවී විශේෂ කිහිපයක් නැවත සොයා ගැනීමට ද මෙණ්ඩිස් වික්‍රමසිංහ සමත් විය. මෙවර බ්‍රිතාන්‍ය ස්වභාව විද්‍යා කෞතුකාගාරය විසින් වාර්ෂික ව පවත්වන වසරේ වනජීවී ඡායාරූප ප්‍රදර්ශන-2021 හි ජූරියේ විශේෂ පැසසුමට ලක් වූ මාල ගිරවෙක් ගස් බෙනයක සිටින සිය පැටවුන්ට ආහාර කවන දර්ශනය සහිත ඡායාරූපය ලබා ගනිමින් ශ්‍රී ලාංකේය නාමය ලොව පුරා රැගෙන ගොස් ඔසවා තැබූ ගගන වික්‍රමසිංහ අන් කවරෙක් නොව මේ මෙණ්ඩිස් වික්‍රමසිංහ ගේ දෙවැනි පුත්‍රයා යි.
ගගනට තවමත් වයස අවුරුදු 11 කි. ගගනගේ වැඩිමල් සොයුරා අමත ද වනජීවී ඡායාරූපකරණයේ නියුතු, වයස අවුරුදු 13ක දරුවෙකි. මේ දෙදෙනාගේ දඟකාර නැඟණිය අරංගාට තව ම වයස අවුරුදු හතරකි.
මේ දරු තිදෙනාටත්, මෙණ්ඩිස් වික්‍රමසිංහටත් යෝධ සෙවණැල්ල වන්නී මේ දිනවල සමාජයේ බොහෝ කතා බහට ලක් ව සිටින දරුවන් පාසල් නොයවන අම්මා ඇය යි. ඈ නෙතූ වික්‍රමසිංහ යි.
"මම සහ මෙණ්ඩිස් මේ දරුවන් ව පාසල් නොයැව්වාට ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය නැති කරලා නැහැ. එයාලාට නොවිධිමත් හා අවිධිමත් ක්‍රමය යටතේ අපි අධ්‍යාපනය ලබා දෙනවා. මම කටපාඩම් කරලා ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා මට හොඳට ලකුණු තිබුණා. නමුත් මගේ හිතට එකඟ ව මං ආස දෙයක් ඉගෙන ගන්න මට පාසල් කාලෙදි බැරි වුණා. මම ඉගෙන ගත්තේ මට අවශ්‍ය දේ නෙවෙයි.
මට ඉගෙන ගන්න සිද්ධ වුණේ විභාග සමත් වෙන්න ඕනෙ දේ පමණයි. මම ගුරුවරියක් විදිහට පානදුර ලයිසියම් පාසලට ඇවිත් ළමයින්ට උගන්වන්න පටන් ගත්තෙත් කිසි පුහුණුවක් නොලබපු උපාධිධාරී ගුරුවරියක් හැටියට පමණයි. එතැනදී මගේ ගුරු ජීවිතය වෙනස් මඟකට යොමු කළ කෙනා වුණේ රාජකීය විද්‍යාලයයේ හිටපු විදුහල්පති (විශ්‍රාමික) ලක්ෂ්මන් ගෝමස් මහතා යි. ඔහු මට කිව්වා 'උගන්වන්න පුළුවන් කියාගෙන උගන්වන්න ආවාට උගන්වන්න කලින් උගන්වන්නේ කොහොමද කියලා ඉගෙන ගෙන එන්න' කියලා.
එතුමාගේ මඟපෙන්වීමෙන් මම උගන්වන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ පිළිබඳ ඩිප්ලෝමාවක් කළා. අද අපේ දරුවන්ව පාසල් නොයවා උගන්වන්න අපට මේ නිසා හැකි වෙලා තියෙනවා." නෙතූ කීවා ය. ඇය විද්‍යා පර්යේෂණවල නිරත වන්නා සේ ම සිය සැමියා වන මෙණ්ඩිස්ගේ පර්යේෂණ කාර්යයන්ට ද විශාල දායකත්වයක් ලබා දෙන්නී ය.
"මම මේ දවස්වල පොළොව යට ජීවත් වන ලෝකයේ කුඩා ම සර්ප විශේෂ හෙවත් කනඋල්ලන් ගැන පර්යේෂණයක් කරනවා. ඒ සතුන් ගැන මීට පෙර ලංකාව තුළ පර්යේෂණයක් කෙරිලා තියෙන්නේ මීට වසර හැත්තෑවකට පෙරයි. නෙතූ මගේ පර්යේෂණවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේ ම ඒ සෑම පර්යේෂණයක ම පර්යේෂණ පත්‍රිකා ලියන්නේ ඇය යි. ඒක ලේසි වැඩක් නෙවෙයි. චූටි දුව නිදා ගත්තාට පස්සේ අපි දෙන්නා මහා රෑ වෙනකන් ඒවා ලියනවා.
ඊට අමතර ව නෙතූ මේ දවස්වල එයාගේ ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතුත් කරගෙන යනවා. අපි දෙන්නා ම පාසල්වල වැඩමුළු කරගෙන ආවා. වසංගතය නිසා ඒවා අතරමග නැවතුණා. දැන් ආයෙමත් පාසල්වලින් ඇරයුම් ලැබී තිබෙනවා. නෙතූ මාර්ගගත ව (Education Without Boundaries) ළමයින්ට ඉගැන්වීම් කරගෙන යනවා." ඔහු කීවේ ය.
මෙණ්ඩිස් වික්‍රමසිංහ කළුතර තිස්ස විද්‍යාලයේ ආදි ශිෂයෙකි. ඔහු පාසල් කාලයේ පටන් සර්පයන්, උරඟයන් පිළිබඳ උනන්දුවක් දැක්වූ අයෙකි. පාසල් භූමියට, මිතුරන්ගේ නිවසකට සර්පයෙක් ආවොත් කාටත් මතක් වූයේ "මෙණ්ඩා"ව ය. ආරංචිය ලැබෙන සුනංගුවට විදුලි වේගයෙන් ඔහු දුව යන්නේ කවුරුන් හෝ අතින් සර්පයා මිය යෑම වළක්වා ගැනීම උදෙසා ය. නෙතූ උපත ලබා ඇත්තේ පදවියේ දී ය.
ඒ නෙතූගේ පියා එවකට යාපනයේ පොලිසියේ සේවයෙන් නියුතු වූ නිසා ය. නෙතූ පෙරපාසල් යන්නේ පලාලිවල ය. අයන්නට පෙර ඇය ආවන්නා ඉගෙන ගත්තා ය. අසූ හතරේ කලබල කාලේ කොළඹ පැමිණීමෙන් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයටත්, උසස් පෙළ සඳහා දේවි බාලිකාවටත් ඇය යන්නී ය. පසුව ශිෂ්‍යත්වයක් ලබා දිල්ලි විශ්වවිද්‍යාලයට ගොස් රසායන විද්‍යා උපාධිය ලබා ගත් නෙතූ සිය විද්‍යා පර්යේෂණ කටයුතුවලදී මිතුරෙක් ලෙස ඇසුරු කළ මෙණ්ඩිස් වික්‍රමසිංහ සමඟ පසු කාලයකදී ඇති කර ගන්නා ප්‍රේමය විවාහයකින් කෙළවර කර ගත්තා ය. මේ දෙපළගේ බලාපොරොත්තුව නෙතූගේ ආචාර්ය උපාධිය අවසන් වූ වහා ම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසලක් ආරම්භ කිරීමට ය.
"දැනටමත් මාත් එක්ක, රාමුගත අධ්‍යාපනයෙන් මිදුණු අධ්‍යාපන රටාවට අනුගත වූ විවිධ වයස් කාණ්ඩවල දරුවන් හැත්තෑ පහක් පමණ ඉන්නවා. ඒ හැමෝම එකතු කරගෙන පාසලක් පටන් ගන්නවා. මේ රටාවට ඉගෙන ගන්න ඕනෑ ම දරුවකුට අවශ්‍ය නම් අපේ රටේ පවත්වන සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෙනත් විභාගවලට පෙනී සිටින්න පුළුවන්කම තියෙනවා. මගේ ලොකු පුතාත් කියනවා එයාට සාමාන්‍ය පෙළ ලියන්න ඕනෙ කියලා. අපේ මේ අධ්‍යාපන රටාව පාසල් අධ්‍යාපනයෙන් වෙනස් වෙන්නේ අපි අධ්‍යාපනය දෙන්නේ ප්‍රායෝගික ව යි. පන්ති කාමරයක දරුවා හිර කරලා අච්චු පොතක් දිහා බලාගෙන සීගිරිය ගැන උගන්වනවා වෙනුවට අපි කරන්නේ ළමයින් ව සීගිරියට එක්කගෙන ගිහින් එතැන ඉඳගෙන සීගිරිය ගැන ඉගැන්වීම යි.
මේ එක උදාහරණයක් විතරයි. කට පාඩම් කරලා විභාග ලියනවාට වඩා මේ ක්‍රමයට ඉගැන්වීමෙන් දරුවන්ට විභාග අමාරු වෙන්නේ නෑ. විභාගයක් අවශ්‍ය වන්නේ ඉගැන්වූ දේවල් දරුවන් කොතෙක් දුරට අවබෝධ කරගෙන තියෙනවා ද බලන්න මිස තරග දිනන්න නෙවෙයි." නෙතූ කීවා ය. පරිසර හිතකාමී මෙණ්ඩිස් පවුලට සුබ පතමින් මම කතා බහට විරාමය තැබුවෙමි.