මේ අපේ දේවල් ටික එකතු කරගෙන කැපවෙලා කරපු වැඩක් | සිළුමිණ

මේ අපේ දේවල් ටික එකතු කරගෙන කැපවෙලා කරපු වැඩක්

අන්දමන් සහ නිකොබාර් ජාත්‍යන්තර සිනමා උ⁣ළෙලේ හොඳ ම වාර්තා කෙටි චිත්‍රපටය හිමි විශේෂ ජූරි සම්මානය දිනා ගත් පරාක්‍රම ඒකනායක

 

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක අත්දැකීම් බහුල නිර්මාණශීලි වැඩසටහන් නිර්මාණකරුවකු මෙන්ම ලේඛකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී පරාක්‍රම ඒකනායකගේ "කොහු කෙන්දෙන් බැඳි ජීවිත" (A life on coir) කොහු කර්මාන්තය පිළිබඳ සකස් වූ කෙටි වාර්තා වැඩසටහන "අන්දමන් සහ නිකොබාර් ජාත්‍යන්තර සිනමා උ⁣ළෙලේ දී හොඳම වාර්තා කෙටි චිත්‍රපටයට හිමි ජූරියේ සම්මානය පසුගියදා ලැබුණා. ඒ නිසාම සිළුමිණ රසඳුන මේ කතාබහ ප්‍රවීණ මාධ්‍යවේදී, ලේඛක පරාක්‍රම ඒකනායකයන් සමඟයි.

 

අපි කතාව පටන් ගමු "කොහු කෙන්දෙන් බැඳි ජිවිත" නිර්මාණයෙන්ම

මම සේවය කරපු නාළිකා වෙනුවෙන් කරපු නිර්මාණ හැර මම කරපු පළමු වාර්තා කෙටි චිත්‍රපටය වෙන්නේ "කොහු කෙන්දෙන් බැඳි ජිවිත"යි. මේ කෙටි වාර්තා වැඩසටහන මම කරන්නේ මගේ යාළුවෙක් වෙන විරාජ් කරුණානන්ද නිසා කිව්වොත් එය වඩාත් නිවැරදියි. ඔහු මේ වෙනුවෙන් නිෂ්පාදකවරයා විදියට ඉදිරිපත් වුණා. ඒ වගේම ඔහු දක්ෂ කෙටි කතා රචකයෙක්. මේ වෙද්දී නම් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. ඔහු තමා මට කිව්වේ දේශීය දේවල් ගැන වාර්තා කෙටි වැඩසටහන් කිහිපයක් කරන්න කියා. ඒ අනුව අද වෙද්දී වියැකී යන දේශීය කර්මාන්ත 10ක් ගැන මම කෙටි වාර්තා වැඩසටහන් කරලා ඔහුට දුන්නා. ඔහු "අපේ දේ" නමින් youtube නාළිකාවක් හදලා ඒ දේවල් එහි ඉදිරිපත් කළා. විරාජ් කරුණානන්ද මුලික වෙලා තමා මේ "london international web and shot film festival " සම්මාන උළෙල දෙකකට මේ "කොහු කෙන්දෙන් බැඳි ජිවිත" වාර්තා කෙටි චිත්‍රපටය දාලා තියෙන්නේ. එකක් "london international web and shot film festival " සම්මාන උළෙලේ අන්තිම හතරට මේ වෙද්දී තේරිලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. එහි ප්‍රතිඵල තවම ආවේ නැහැ. අනිත් එක තමා ඉන්දියාවේ අන්දමන් දූපත් වල තියෙන අන්දමන් සහ නිකොබාර් ජාත්‍යන්තර සිනමා උ⁣ළෙල. එහි හොඳම වාර්තා කෙටි චිත්‍රපටය හිමි විශේෂ ජූරි සම්මානයයි මේ ලැබුණේ.

 

නිෂ්පාදක ගැන කතා කළොත්, ඔහුව මුණගැහෙන්නේ කොහොමද?

බදුල්ල ගමේදී අපි තරුණ කාලේ එකට කලා කටයුතු කරලා තියෙනවා. එයා මට වඩා ජ්‍යෙෂ්ඨයෙක්. ඒ වගේම ඔහු ලේඛකයෙක්. කෙටිකතා, කවි, නාට්‍ය පිටපත් එහෙම ලියලා ජයග්‍රහණය කළ කෙනෙක්. එයා දැන් අවුරුදු 10ක් විතර ඉන්නේ කැනඩාවේ. මේ වෙද්දී ඔහු "අපේ දේ" නමින් youtube නාළිකාව පටන් අරන් මාස දෙකයි. ඔහු මට එවලා තියෙනවා පණිවිඩයක් මේ වෙද්දී සම්මාන දෙකක් ජයග්‍රහණ කරලා තියෙනවා; ඒ එක්කම සම්මාන උළෙලවල් නවයක් නියෝජනය කර තියෙන බව.

 

මොකද හිතෙන්නේ මෙහෙම අන්තර්ජාතික ඇගයීමක් ලැබීම ගැන

ඒකට මුල්ම ස්තුතිය යන්න ඕනේ නිෂ්පාදක විරාජ් කරුණානන්දට. නාළිකාවල සේවය කරන කාලේ මගේ නිර්මාණ ලංකාවේ සම්මාන උළෙලවල් අටකට වටා නිර්දේශ වෙලා තියෙනවා. නමුත් මට සම්මාන ලැබුණේ නැහැ. මෙතැනදී මම මේ සම්මානය ගැන සතුටු වෙන්නේ ලංකාවේ අගය කිරීමක් සිදු නොවුණත් නොහිතපු වෙලාවක ජාත්‍යන්තරයෙන් ලැබුණු ඇගයීමක් ලැබීම ගැනයි. ඒ සතුට තව වැඩි වෙන්න කාරණාවක් තමයි සමහර තැන්වලින් ප්‍රතික්ෂේප කරපු මිනිස්සු එක්ක කරපු වැඩක් වීම. මෙහි කැමරාකරණය කළ ක්‍රිෂාන්ත කැමරාවත් එක්ක පීඩාවෙන් එළියේ හිටියේ. සංස්කරණය කළේ අරුණ බණ්ඩාර. ඔහු අලුත්ම කෙනෙක්. මේ හැමෝම එකතු වෙලා අපේ දේවල් ටික එකතු කරගෙන කැපවෙලා කරපු වැඩක්. මේ සියල්ලට නිෂ්පාදකයා උදව් කළා.

 

"කොහු කෙන්දෙන් බැදි ජිවිත" මෙයට වස්තු විෂය වෙන්නේ

මයිඅම්මා තමා මේ කතාවේ ප්‍රධාන චරිතය. මාතර මඩිහේ ඉන්න වයස අවුරුදු 80ක අම්මා කෙනෙක්. එයාව හම්බෙන්නේ අපිට අහම්බෙන්. අපිට ඕනේ වුණා කොහු ලණු ආශ්‍රිත වැඩසටහනක් කරන්න. බොහෝ දෙනා දැන් යන්ත්‍ර එක්ක තමා කොහු ලණු අඹරන්නේ. අපේ සම්බන්ධීකරණ කටයුතු කරපු මල්ලි සංජීවන් ගුණතිලක කිව්වා, පොඩ්ඩක් ඉන්න අපේ ආච්චි කෙනෙක් ඉන්නවා කියලා කතා කරලා බලමු කියලා. ඒ අම්මා ඒවෙද්දී ඇවිදින්නත් බැරුව අසනීපයෙන් හිටියේ. ඒත් එයා කැමති වුණා. මම එන්නම් පුතේ කියලා කොහුවලට ඇවිත් අතින් කොහොමද කොහු ලණු අඹරන්නේ කියන දේ සහ අද වෙද්දී ඒ සඳහා ඇති සමාජීය තත්ත්වය ගැන එයා සංවේදීව කිව්වා. මම හිතනවා ඒකත් එක්ක වෙන්න ඇති මේ ගැන අවධානය යොමු වෙන්න ඇත්තේ.

 

මේ දවස්වල මොකද වෙන්නේ

විරාජ් කරුණානන්ද එක්ක තමා මේ දවස් වල වැඩ ටිකක් කරගෙන යන්නේ. එයා ලියපු කෙටිකතා කිහිපයක් අරගෙන කෙටි චිත්‍රපට කිහිපයක් කරගෙන යනවා. මේ වෙද්දී දෙකක් අවසන් කරලා විරාජ්ට යවලා තියෙන්නේ. ඒවාත් එයා කෙටි චිත්‍රපට උළෙලවල්වලට යවලා නිසා තවම ඒවා රිලීස් කරලා නැහැ. අපි මේ කරන්න යන්නේ වෙනස් වැඩක්. නෙට්ෆිලික්ස් මේ වෙද්දී අතික්‍රමණය කරලා අවසන්නේ. අපි උත්සහ කරන්නේ සිංහල ක්‍රමයට අපේ විදියට දෙයක් කරන්න. ඒ එක්කම මගේ අලුත්ම නවකතාව "සාංදෘෂ්ටික" මේ මාසේ අග හෝ ලබන මාසේ මුල නිකුත් කරන්න ඉන්නවා. තව නවකතා දෙකක් ලියලා තියෙනවා. අලුත් සින්දුවක් කළා. තව වැඩ කටයුතු කිහිපයක් කරමින් ඉන්නෙ

 

සිනමාවට එන්න අදහසක් නැද්ද?

අනිවාර්යෙන්ම සිනමා නිර්මාණයක් කරනවා. ඒ වෙනුවෙන් සිනමා පිටපත සකස් කරගෙන අවසන්. මම හැමදාම නිහඬ ව වැඩ කරන කෙනෙක්. ඒ නිසා මගේ වැඩ ටික කොහොම හරි කරනවා.

Comments