මම ඉස්සර හතරයි කාල වනතුරු බැංකුකරු; හතරයි කාලෙන් පසුව කලාකරු ප්‍රවීණ කලාශිල්පී සඳුන් විජේසිරි | සිළුමිණ

මම ඉස්සර හතරයි කාල වනතුරු බැංකුකරු; හතරයි කාලෙන් පසුව කලාකරු ප්‍රවීණ කලාශිල්පී සඳුන් විජේසිරි

මම වසර 42 ක් මහ බැංකුවෙ සේවය කළා; දැන් විශ්‍රාමිකයි

මිනිසුන්ට අසභ්‍ය දේවල් දුන්නොත් ඔවුන් අපව වැළද ගන්නෙ නැහැ

 

ලාංකේය කලා ක්ෂේත්‍රයේ නමක් තැබූ කලාකරුවන් අතර බහුවිධ කුසලතා හා බහුවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සඳුන් විජේසිරි ජ්‍යෙෂ්ඨ කලාකරුවාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. වේදිකා නාට්‍ය කලාව ඔස්සේ රසික හදවතට සමීප වන ඔහු වසර හැටකට අධික කාලයක් කලාව වර්ණවත් කළ බව නොරහසකි. මේ අපූරු රසබර කලාකරුවාගේ තොරතුරු කලෙකට පස්සේ සිළුමිණ රසඳුන පාඨක ඔබට ගෙන එන්නට සිතුවෙමු.

 

මේ දිනවල ඔබගේ කලාකටයුතු සහ පෞද්ගලික වැඩකටයුතු පිළිබඳ මුලින්ම කතා කරමු.

මේ දිනවල මම හිරු නාළිකාවේ රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ විශ්‍රාම ගිය නීතිඥයකුගේ භූමිකාව නිරූපණය කරනවා. චන්දික විජේසේන අධ්‍යක්ෂණය කළ ලක්ෂ්මන් පුෂ්පකුමාරගෙ රචනයකින් හැඩවන ගගන පියමන් කියලා අයි ටී එන් නාළිකාවේ ටෙලිනාට්‍යයකටත් සම්බන්ධ වුණා. එහි මන්ත්‍රී කෙනකුගෙ චරිතයකුයි මා නිරූපණය කරන්නේ. ඊට අමතරව වෙළඳ දැන්වීම් කිහිපයක වැඩ කටයුතු සිදු කළා. මේ දේවල් සමඟ තමයි මේ දිනවල කාර්යබහුල වු‍ණේ.

 

ඔබ ඒ කාලේ ලබපු අත්දැකීම් සහ විඳපු ළමා කාලය කොහොමද ඔබේ රංගන ජිවිතයට බලපෑම් කළේ?

ඔව්. මම ඉපදුණේ කඩුගන්නාවේ. මගෙ තාත්තා හා පුංචි අයියා ප්‍රාදේශීය වශයෙන් කළ වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණා. මටත් ඒ අභාසය ඒ විදියට ලැබිලා තියෙනවා.තාත්තගෙ රැකියාව නිසා අපිට කොළඹට එන්න වුණා. මම දෙහිවල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය වනතුරු එහි ඉගන ගත්තා. දෙමව්පියන්ට බරක් වෙන්න බැරි නිසා මහජන බැංකුවේ රැකියාවක් කරන ගමන් තමයි සරසවි අධ්‍යාපනය ලබන්න සුදානම් වුණේ. නමුත් දුර පිළිබඳ ගැටලුවක් නිසා මම මහජන බැංකුවෙන් ඉවත් වෙලා මහ බැංකුව සමඟ සම්බන්ධ වෙනවා. මම වසර 42 ක් මහ බැංකුවෙ සේවය කළා.

 

බැංකු ක්ෂේත්‍රය කියන්නෙ ඉතා ම වගකීම් සහගත වෘත්තියක්. කලාවත් එහෙමයි. කොහොමද කාලය සමබරව කරගෙන මේ කටයුතු දෙක ම වගකීමෙන් කළේ ?

මම හතරයි කාල වනතුරු බැංකුකරු; හතරයි කාලෙන් පසුව කලාකරු. මම දැනට වසර 62 ක් පමණ වේදිකා නාට්‍ය 112 ක්, චිත්‍රපට 45ක්, ටෙලිනාට්‍යය 100 කට වැඩිය රංගනයෙන් දායක වී තිබෙනවා. පරිවර්තන ග්‍රන්ථ වගේම සඟරාවලට විවිධ ආකාරයෙන් ලිපි ලිව්වා. ඒ හැමදේම කළා. මම හඬකැවීම් ශිල්පයටත් සම්බන්ධව වැඩ කටයුතු කළා. මම කිසිම විටෙක රැකියා දෙක පටලවා ගත්තෙ නැහැ.

 

කලාකරුවන් බොහෝවිට සතතාභ්‍යාසයෙන් පරිපූර්ණ වී තමන්ගේ විෂය පුළුල් කරගෙන කලාව සාහිත්‍ය ඇසුරෙන් ලබන පරිචය හරහා තමයි සමාජයට කිසියම් දෙයක් ඥානණය කරන්නෙ. මේ වගකීම කොහොමද ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් විදියට ඔබ දකින්නේ?

කලාකරුවෙක් කියන්නෙ ඉතාමත්ම විනය ගරුක පුද්ගලයෙක්. එයා එයාගෙ නාමයේ ඉදන්ම කලාවට කැප වෙන්න අවශ්‍යයයි. මම දකින දෙයක් තමයි තරුණ පරම්පරාවේ අය නමයට ශූටින් තියනවා කිව්වොත් දහයට එන්නෙ. ඇවිත් ඒ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන්නෙත් නැහැ. මම මූල්‍යකරණය පිළිබඳ දන්නවා. කළමනාකරණය පිළිබඳ දන්නවා. ඒ නිසා උදේ නමයට ෂූටින් කිව්වොත් මම එතන නමයට ඉන්නවා. ඉවර වෙනකම්ම ඉන්නවා. මගේ දෙමාපියන්ටයි මහ බැංකුවටයි පින්සිද්ධ වෙන්න මම අද යම්කිසි මූල්‍ය තැනක සිටිනවා.

 

සෑම දෙයකින් ම ඔබ ඉතා වාසනාවන්ත රංගන ශිල්පියෙක්. ලැබුණු චරිත අතර අමතකම නොවන චරිතයක් මතක් කළොත් ?

මට අමතක නොවන චරිතයක් තමයි සුනන්ද මහේන්ද්‍රයන්ගේ පොකුරු වැස්ස වේදිකා නාට්‍යයේ චරිතය. ඒවගේම මම රඟපාන හැම චරිතයකට ම මම ආදරය කළා. කැපවීමෙන් කළා. මම මේ වෙනකම් දායක වුණු හැම චරිතයකට ම බොහොම ආදරෙයි

 

කොහොමද ඔබේ ජීවන සහකාරිය මුණ ගැසුණෙ. පෞද්ගලික ජීවිතය ගැනත් කතා නොකරම බැහැ නේද?

පාසල් ප්‍රේමය තමයි ජය ගත්තෙ මම. ඇය පාසල් කාලයෙ ඉදන් අඳුරන චරිතයක්; මිතුරියක්; මට පුතයි දුවයි ඉන්නවා. පුතා එච් එන් බී බැංකුවේ සේවය කරනවා. ඔහුත් විවාහකයි; දුවලා තිදෙනෙකුගෙ පියෙක්. දුව නාවල එච් එන් බී එකේ කළමනාකරු. ඇයත් විවාහකයි. ඇයත් එක්දරු මවක්.

 

වර්තමාන නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ ඔබට සෑහීමකට පත්වීමට හැකිද?

ඇත්ත වශයෙන්ම තෘප්තිමත් වෙන්න පුළුවන්. වේදිකාවේ සාකච්ඡා නොකළ යුතු දේවල් සාකච්ජා වෙනවා. මම එයට අකමැතියි. සත්‍යයටත්, ප්‍රේක්ෂකයාටත්, සෞන්දර්යටත් සේවය කිරීම තමයි කලාකරුවකුගෙ පරමාර්ථය විය යුත්තේ. මිනිසුන්ට අසභ්‍ය දේවල් දුන්නොත් ඔවුන් අපව වැලඳ ගන්නෙ නැහැ. කතාවක් තියනවා පාසලක් වැහුවොත් හිරගෙයක් ඇරෙනවා කියලා. හොඳ පැත්තකට අපි දෙයක් කළොත් අනිවාර්යෙන්ම එතනින් බිහිවෙන්නෙ යහපත් කෙනෙක්.

 

නිර්මාණ ක්ෂේත්‍රය කියන්නෙ බැංකු ජීවිතය වගෙ විශ්‍රාම යන තනතුරක් නෙමෙයි.

නිර්මාණකරුවකු පරිණත වන විට ඔහුගේ අත්දැකීම් ඉතාමත්ම පුළුල් වෙනවා.

කොහොමද අනාගතය ගැන තිබෙන බලාපොරොත්තු?

අනාගතය ගැන මට තිබෙන බලාපොරොත්තුව තමයි මේ රට වෙනුවෙන් කලාව වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් මම ජීවතුන් අතර ඉන්න තාක්කාල් මට හැකිතරම් දේවල් කරන්න. මම හැමවෙලේම උත්සාහ කරන්නෙ මට ලැබෙන චරිතය කුඩා වුවත් විශාල වුවත් එයට සාධාරණයක් ඉෂ්ට කිරීමට. මොනවා හරි දෙයකට යනව නම් එතන ඔබට වෙලාව ඉතුරු වෙනව නම් පොතක් රැගෙන ගොස් කියවන්න.

Comments