කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ | සිළුමිණ

කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

සමහර මිනිස්සු ඉර වගේ. ඒ ඉර වගේ හිටපු මිනිස්සු බැහැලා ගියාට පස්සේ තමයි අපිට දැනෙන්නේ ඉර බැස ගිය බව. එවන් සුන්දර මිනිසකුගේ සමුගැනීම පසුගියදා සිදු වුණා. ඔහු ලක්ෂ්මන් විජේසේකර. ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළුවෙක්, වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙක් ආදී කලාවේ විවිධ ඉසව්වලදී අපිට ඔහුව මුණ ගැහුණා.

 

ලක්ෂ්මන් විජේසේකරගේ පියා වෝල්ටර් විජේසේකර රජයේ රැකියාවක නිරත වුණත් කලා කටයුතුවලට බෙහෙවින් සම්බන්ධ වූ කෙනෙක්. පළාත් පාලන ආයතනයේ විමර්ශන නිලධාරියෙක් විදිහටයි ඔහු සේවය කළේ. ඒ නිසාම වසර පහෙන් පහට රටේ විවිධ ප්‍රදේශවල සේවය කරන්න සිදු වුණා. ඒ නිසා පුංචි ලක්ෂ්මන්ටත් ඊට අවනත වෙන්න සිදු වුණා. අවුරුදු 07දී පමණ මේ පවුල ජිවත් වුණේ ගාල්ල රූමස්සල කන්ද පාමුල. පස්සේ නුවරඑළිය, අනුරාධපුර, කුරුණෑගල ආදී ප්‍රදේශවලට ලක්ෂ්මන්ට එන්න සිද්ධ වුණේ තාත්තාගේ රාජකාරී ජීවිතය නිසා. අනුරාධපුර සෙන්ට්‍රල් එකේ වගේම ඔහු කුරුණෑගල මලියදේවයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා. මලියදේවය ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. එතනදී තමයි ලක්ෂ්මන්ට එම්. කේ. දයාපාල සංගීත ගුරුතුමා මුණගැහෙන්නේ. තම පියාගේත් ආසාවක් වුණු ගායකයෙක් වීමේ මුල් අඩිතාලම ඔහුට ලැබුණේ දයාපාල ගුරුතුමා හරහා.

පාසලෙන් පසු ලක්ෂ්මන් විජේසේකර සංගීතය හදාරන්නේ රජයේ සංගීත විද්‍යාලයෙන්. මාලිනි බුලත්සිංහල, බණ්ඩාර අතාවුද , රෝහණ වීරසිංහ ආදී මිතුරු මිතුරියන් ඔහුට මේ බිමේදී මුණගැහුණු අයගෙන් කිහිපදෙනෙක් පමණයි. වසර තුනක් සංගීතය හදාරපු මේ අය අතරින් රෝහණ වීරසිංහයි, ලක්ෂ්මන් විජේසේකරයි තෝරා ගන්නේ ගුරු වෘත්තීය.

දරුවන්ට සංගීත දැනුම බෙදා දෙන්න ලක්ෂ්මන් විජේසේකර ගුරුතුමා රට වටා යනවා. මහකනදරාවෙන් පටන් ගත්ත ඒ ගමන නැවතුනේ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයෙන්. ඒ අතරතුර ඔහු කලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගේම කොළඹ ඉසිපතන විද්‍යාලයේත් සේවය කළා.

මේ කාලයේ ඔවුන්ව හැඳින්නුවේ රුපියල් 100 ගුරුවරු කියලා. ඊට හේතුව ලැබෙන වැටුපේ අගය. මේ රැකියාවට මුලින්ම සමුදුන්නේ රෝහණ වීරසිංහ.දඩබ්බර තීරණයක් අරන් රෝහණ ගුරු වෘත්තියට ඉක්මනින් සමු දෙනවා. ලක්ෂ්මන් ඊට කලකට පසුව ගුරු වෘත්තියට සමු දුන්නා.

මෙම වකවානුවේ ඔහු ගායකයෙක් ලෙස යම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටීමත් ගුරු වෘත්තියෙන් ඉවත් වෙන්න ඔහුට බලපෑම් කළා. ගුවන් විදුලියේ සමූහ ගායනාවලට සහ චිත්‍රපට සමුහ ගායනාවලට ඔහුට යන්නට සිදු වුණා.මිල්ටන් පෙරේරාගේ සහ මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත වලට ඔහු බෙහෙවින් ප්‍රිය කළා. ගුවන් විදුලියේ නැවුම් මිහිර, ආධුනික පැය වැනි වැඩසටහන්වලදී ඔහු ගායනා කළේ මිල්ටන් දෙපොළගේ ගීත.

මිල්ටන් පෙරේරාගේ ගීත නිතර මුමුණමින් සිටි ලක්ෂ්මන් විජේසේකරට තමන්ගේ ගීතයකට හිමිකම් කියන්න ලැබෙන්නේ 1975දී. ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ඔහු සමත් වෙනවා. සරල ගී පරීක්ෂණයට ඔහු ගායනා කළේ වික්ටර් රත්නායකයන්ගේ දෙතොළඟ සිනහා කියන ගීතය.

ඇයි තරහින්, ඔබ මට තරුවකි, දෑත දෙපා ළඟ ගිගිරි සරින් කියන ගීත ත්‍රිත්වය ලක්ෂ්මන් විජේසේකරගේ මුල් ම ගීත ගොන්නට අයත්. මේ ගීත ජනප්‍රිය තලයට පැමිණියත් ඔහුට තිබු‍ණේ නළු පිස්සුවක්. ඔහු ප්‍රියංගා නමැති චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් සමඟ පවා රංගනයෙන් එක් වී තිබෙනවා.

පසුව ඔහුව ඩී. බී. නිහාල්සිංහයන් රේඛාව කියන ටෙලිනාට්‍යට තෝරාගනු ලබනවා. රෝහණ වීරසිංහ මේ සඳහා යෝජනා වී තිබුණත් එය ඔහු විසින් ප්‍රතික්ෂේප කරමින් මේ සඳහා ලක්ෂ්මන් විජේසේකරගේ නම යෝජනා කළ බව කලා ලෝකයේ නොරහසක්. එතැන් සිට ආරම්භ වන නළු සිහිනයට දීර්ඝ ආයුෂ නොලැබුණේ සිය රංගනයෙන් තමන් තෘප්තිමත් නොවුණ නිසා බව ලක්ෂ්මන් විජේසේකරයන්ම ජීවත්ව සිටියදී කියපු කතාවක්. රේඛාව ,ගංගා සහ නිශ්ශංක, ඉර පායා, දත් කැකුළු පාලා ඔහු රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය වෙනවා.

රංගනයෙන් තෘප්තිමත් නොවුණු ලක්ෂ්මන් විජේසේකරගේ වැඩසටහන් අධ්‍යක්ෂණයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන්, වෙළෙඳ දැන්වීම් නිර්මාණයෙන් තෘප්තිමත් වුණා. බක් මාසේ මංගල්ලේ නමැති රූපවාහිනී විශේෂ අවුරුදු වැඩසටහන නිර්මාණය වුණේ ඔහු අතින්. අමරදේවයන් පවා එහි ගීත ගායනා කළා. ළමා ගීත ගායනය වෙනුවෙන් ගායනා නමැති වැඩසටහනකදී තමයි බාල ළමාවරුනේ කියන ගීතය නිර්මාණය වුණේ.

වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කළ ලක්ෂ්මන් විජේසේකර 1984 දී සිහින සාප්පුව වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳ ම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නවා.වේදිකාවේ සෙනෙහෙබර ඩොලී මෙන්ම විලම්බීත, ටිකිරි සහ උන්ගි වැනි ටෙලිනාට්‍ය රැසක සංගීත අධ්‍යක්ෂවරයා ඔහුයි.

වෙළෙඳ දැන්වීම් 100 කට අධික ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ ලක්ෂ්මන් විජේසේකර ටිකෙන් ටික සිය ජීවන වෘත්තිය බවට එයම පත් කර ගත්තා.එහෙත් අප සිත්හි ඔහුගේ හඬ ගායකයෙක් වශයෙන් තැන්පත් වී ඇත්තේ ඔහුගේ ළයාන්විත ගායනය නිසා වන්නට ඇති.

ගංගා සහ නිශ්ශංක ටෙලි වෘතාන්තයේ සංගීත අධ්‍යක්ෂණය ද කරමින් ඒ සඳහා ඔහු සහ සමිතා එරන්දතී මුදුන්කොටුව ගායනා කළ සිනා පිපෙනා මේ වසන්තය අදත් නොමියෙන ගීතයක්. සමිතා පාසල් දැරියක්ව සිටියදී මේ ගීතය ගායනා කළ වග ඔහු අපිට නිතර මතක් කළේ සමිතාගේ ගායනය අගය කරන්න එක්ක. රෝහණ වීරසිංහයනිගේ ගම වුණු නුවරඑළියේ යන ගමන් නිර්මාණය වුණු ගීතය මේ වෙලාවෙත් කුමන හෝ රේඩියෝ නාළිකාවක ප්‍රචාරය වෙනවා ඇති. ඒ දෑත දෙපා ළඟ ගිගිරි සරින් ගීතය , සමාජ මාධ්‍ය තුළ නැවත නැවත අහන දැල්වූ පහන් ගීතය නැරඹුම් වාර මිලියන 02 ට ආසන්නයි , කපිල කුමාර කාලිංග ගේ සී . ඩී එකක් වෙනුවෙන් ගායනා කර වසර 05 කට පසුව ජනප්‍රිය වුණු සුපෙම් හැඟුම් , ඒ වගේම යමුනා මාලිනි රචනා කළ සඳ කිණිති නැමී ආදී ගීත ලක්ෂ්මන් විජේසේකර යන නාමයට මිය යන්නට නම් නොදේවී.

සිය ආදරණීය බිරිය වූ චන්ද්‍රා කළුආරච්චි ගිය මඟ යමින් ලක්ෂ්මන් විජේසේකරයන් පසුගියදා අපෙන් සමුගත්තේ කාලයක් රෝගාතුරුව සිටීමෙන් අනතුරුව. වයස අවුරුදු 70 යන තෙක් ජංගම දුරකතනයක් භාවිත නොකළ මේ සොඳුරු මිනිසා දුරකතනයක් භාවිත කළේ තම බිරිය අසනීපයෙන් සිටි කාලයේදී පමණයි. ඒ තරම් සෙනෙහබර සැමියෙක් වූ ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්. අමා විජේසේකර සහ විහඟ විජේසේකර තනිකර ඔහු ජිවිතයෙන් සමුගත්තේ පසුගිය 12 වැනිදා.

ඒ මොහොතේ ඔබට සිහි වෙන්න ඇති වසන්ත කුමාර කොබවක ඔහු වෙනුවෙන් ලියු ගියක පද පේළි කිහිපයක් ...

 

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ

පොළවේ මිහි සයනේ ගොඩ නැඟූ මිනිස්සූ

කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

Comments