“ආණ්ඩුවේ ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්ලා ඖෂධ සමාගම්වලට විකිණිලා. ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්ති හදන්න උන් ඉඩ දෙන්නේ නැහැ. රස්තියාදු නොවී ලංකාවට යන්න කියල මහත්තයට කියන්න. නැත්නම් ඉතින් ජීවිතවලින් වන්දි ගෙවන්න වෙයි.” ජැමෙයිකා දූපත් රාජ්‍යයේ වෛද්‍යවරියක් ලීලා බිබිලේ ට කීවාය.
ස්පාඤ්ඤයේ දොස්තර පීටර් ඕ. බ්‍රයන් ද මෙසේ අනතුරු ඇඟවීමක් කෙළේ ය.“ නුඹ අන්ක්ටෑඩ් සංවිධානයේ (එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය) ප්‍රධාන ඖෂධ උපදේශක වශයෙන් දුප්පත් රටවල ජනතාවට සේවය කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව මා සතුටු වෙනවා. ඒත් නුඹ කරන්නට සැලසුම් කරන වැඩ නිසා කවදාහරි නුඹගේ මළ සිරුර අප්‍රිකාවේ ගඟක පාවෙනවා කියා ආරංචි වුණොත් මා ඒ ගැන පුදුම වන්නේ නැහැ. ඊට වගකිව යුත්තේ කවුද කියලත් මා දන්නවා. පරෙස්සමෙන් සේනක පරෙස්සමෙන්.”
මවුබිමේ ජනතාවට සේවය කිරීමට තිබූ ඉඩ ඇහුරුණ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වී දුප්පත් රටවල් දහ තුනක ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්ති සැකසීමට ගිය ඔහුට දිගටම අනතුරු ඇඟවීම් ලැබිණ. එහෙත් ඔහු ආපසු හැරුණේ නැත. රටවල් දහ තුනේ ඖෂධ ප්‍රතිපත්ති වාර්තාව ඉදිරිපත් කිරීමට පැය කීපයකට පෙර ජනතා සතුරෝ අර අනතුරු ඇඟවීම් සැබෑ කළහ. ඔහු අබිරහස් මරණයකට ගොදුරු විය. මේ, ඔහුගේ කතාවයි.
ගම්මුලාදෑනියකු වූ නිකුලස් ඔපිසර අංගුලිමාල පිරිත මතුරමින් අහංගම, කතළුව, අටදාගෙවත්තේ වලව්වේ පිළක හිඳගෙන සිටියේය. ඔහුගේ අතේ වූ පිරිත් නූලේ අග තුබුණේ ගෙයි ඇතුළු කුටියක සිටි සිල්වියා ජයවර්ධන ගේ අතේ ය.
කුලුඳුලේ දරුවකු ප්‍රසූත කිරීමට සූදානමින් සිටි ඇය ඒ සඳහා බිබිලේ සිට සිය ගමට කතළුවට පැමිණියේ මාස දෙකකට පෙර ය. ඇගේ සැමියා චාල්ස් විලියම් බිබිලේ රටේ මහත්මයා රාජකාරි කටයුත්තක් සඳහා බදුල්ලේ ඒජන්ත හමුවීමට ගියේ, තවමත් පැමිණියේ නැත.
සිය කුස තුළ දඟලන පැටියා කෙබඳු අයකු වේ දැයි සිල්වියා ඒ දෙමස තුළම සිතුවාය. මේ පැටියා ගේ පියා චාල්ස් බිබිලේ රටේ මහත්මයා සුදු ඒජන්ත කෙනකුට යටත් තනතුරක් දැරුව ද ඔහුගේ සිතේ නිබඳ පිරී තිබුණේ සුද්දන් පිළිබඳ වෛරයයි.
“මුන්ගෙන් අපි කවදා නිදහස් වෙමුද? අදත් මට උන් ළඟට සුදු ඒජන්තයා ළඟට යන්න වෙලා.” ඔහු බදුල්ලට යන්නට පෙර කියයි.
චාල්ස් බිබිලේ ගේ පියා ද රටේ මහත්තයෙකි. ඔහු විලියම් රෙජිනෝල්ඩ් බිබිලේ ය. 1818 අරගලයෙන් පසු සුද්දන් වෙල්ලස්ස ජනතාවට ජනතාවගේ ඉඩම් පැහැර ගනිමින්, ගෙවල් ගිනි තබමින්, වැව් වේලි කඩමින් කළ හානිය නිසා උන් පිළිබඳව දැඩි වෛරයෙන් පෙළුණු ඔහු උන්ට ගරු සරු නොදැක්වීමෙන් තනතුර අහිමි වූ අවස්ථා ද විය.
වේල්ස් කුමාරයා වරක් බදුල්ලට පැමිණියේය. ඔහු බැහැදැකීමට රටේ මහතුන්ට කච්චේරියට එන්නැයි සුදු ඒජන්ත නියෝග කළේ ය. සියලු රටේ මහත්තුරු කුමාරයා බැහැ දැකීමට ගියේය. විලියම් රෙජිනෝල්ඩ් නොගියේය.
කච්චේරියේ ආරච්චිල ඒ ගැන විමසීය.
“මට ඔය වේල්ස් කුමාරයා බැහැ දකින්න වුවමනාවක් නැහැ. ඔය රජ පවුලේ අය වෙල්ලස්ස විනාශ කිරීමට වග කියන්න ඕනෑ. වැව් කඩා බිඳ දමා මිනිසුන් කැලේට දැක්කුවේ උන්. මා හමුවීමට වුවමනා නම් කුමාරයාට කියනවා බිබිලේට එන්න කියලා.”
ඔහු වේල්ස් කුමාරයා බැහැ දැකීමට ගියේ නැත. වේල්ස් කුමාරයා ඔහු බැහැ දැකීමට පැමිණියේ ද නැත. වරක් සුදු ඒජන්ත සිය බිරිය ද සමඟ මොනරාගලට පැමිණියේය. දොළ පාරක් හරහා යාමට ඔවුන්ට සිදු විය. එදා දොළ දෙගොඩ තළා ගියේය. ඒජන්තගේ බිරිය වෙවුලමින්,
“ආපසු යමු” යි කීවාය.
ඒජන්ත ඇය ගැන නොසලකමින් දොළෙන් එගොඩ විය. බිරිය හැඬුවාය. ඇය අශ්වයකු පිට තබා දෙපසින් මිනිසුන්ගේ රැකවල් සහිතව දොළෙන් එගොඩ කරවීමට රෙජිනෝල්ඩ් බිබිලේ සැරසුණ ද ඇගේ බිය පහ නොවීය. “මට බැහැ” ඇය කෑ ගැසුවාය. හාන්සි පුටුවක් ගෙන්වා ඇය එහි හිඳුවා මිනිසුන් ලවා ගෙන යාමට ගත් තැතට ද ඇය අකැමැති වූවාය.
බිබිලේ එගොඩට ගොස් ඒජන්තට ළං විය. හඬා වැටෙන ඇය ඔහුට පෙනිණ.
“අඩා ඒකිගෙ බෙල්ලෙ තේඩාවක් දාලා මෙහාට ඇදපිය”
සිය සේවකයන්ට බිබිලේ දුන් අණ සිංහල දැන සිටි ඒජන්තට වැටහිණ. දත් සපමින් බිබිලේ දෙස බැලූ ඒජන්ත බදුල්ලට ගොස් ඔහු තනතුරෙන් පහ කළේ ය.
වෙල්ලස්සේ ජනතාවට ඔහු මිස අනෙක් රටේ මහත්තයකු අවශ්‍ය නොවීය. යළි බිබිලේට ඒ තනතුර ලබාදීමට සුද්දන්ට සිදු විය.
රෙජිනෝල්ඩ් ගේ පියා ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ සළුවඩන නිලමේය. ඔහු 1818 වෙල්ලස්ස අරගලයේ දී සුද්දන්ට එරෙහිව සටන් කළේ ය. සුද්දෝ බිබිලේ පරපුරට හිමි දේපළ රාජසන්තක කළහ.
බිබිලේ පරපුරට එක්වන අලුත් පුරුක ද නිසැකවම සැබෑ දේශප්‍රේමියකු වනු ඇතැයි සිය කුස පිරිමදිමින් ඇය සිතුවා ය.
හබරාදුව හිටපු මන්ත්‍රීවරයකු වන ප්‍රින්ස් ගුණසේකරගේ මුත්තණුවන් වන නිකුලස් ඔපිසර අංගුලිමාල පිරිත මතුරමින් ගෙතුළට කන්දී සිටියේය. ඔහු ළඟ ම ඇගේ පියා වන ආතර් ජයවර්ධන ද නොඉවසිල්ලෙන් පසු විය.
ඒ 1920 පෙබරවාරි 13 වැනිදා ය. හරියට වේලාව පස්වරු 1.30 ට ගෙතුළින් බිලිඳු හඬක් නැඟිණ.
සේනක බිබිලේ උපන්නේ ය.
* * * * *
තෙමසකට පසු රටේ මහත්තයා සිය බිරිය ද පුතු ද සමඟ බිබිලේ වලව්වට පැමිණියේය. ගෙතුළ ද ගෙමිදුලේ ද පිරී සිටි ගැමියෝ මහත් සතුටින් බිලිඳා පිළිගත්හ.
“අනේ බලන්නකෝ මට කිරි නැති වුණානේ...” බිලිඳුගේ මව කීවේ ශෝකයෙනි.
“ඉතින් මොකෝ හාමිනේ මේ අපේ තන්වල කිරි තියෙන්නේ” එක් මවක් ඉදිරියට පැන කීවාය.
කිරි සිඳුණු මවගෙන් කිරි ඉල්ලා හඬන්නට සිදු නොවීය. ගමේ ගැහැනුන්ගෙන් ඇති පදං කිරි ලැබිණ.
“කොහෙද යන්නේ”, මඟදී ගැමියෙක් අසයි.
“මං යනවා රටේ මහත්තයගේ පුතාට කිරි දෙන්න” ගැහැනියක් කියයි. ගැමියා සිනාසෙයි.
බිබිලේ දුප්පත් හේන් ගොවීන්ට වලව්ව තහනම් තැනක් නොවීය. ඔවුහු එතුළ නිදහසේ හැසිරුණහ. රටේ මහත්තයා ගැමියන්ගේ මිතුරකු මිස අණ දෙන්නෙක් නොවී ය.
“චාල්ස් ගමේ මිනිස්සු ඇඟට අරගෙන. තමුන්ගෙ තත්ත්වෙ තියාගන්න දන්නෙ නැහැ.” ඈත වලව්වල නෑදෑයෝ චාල්ස් බිබිලේට දොස් කීහ.
“ගමේ දුප්පත් ගැහැනුන්ගෙ තන්වලින් පුතාට කිරි දෙනවා... හරිම ලජ්ජයි...” බිබිලේ වලව්වට ආ නෑදෑයෙක් කීය.
“ඒ ගෑනු පුතාට කිරි දෙන්නේ හරිම ආදරෙන්. තමන්ගෙ පුතාට වඩා උන් මගේ පුතාට ආදරෙයි. උඹලගෙ ඔය මහන්තත්තකම මට අල්ලන්නෙ නැහැ. අපි ඔක්කොම මිනිස්සු. අපි හිතන්න ඕන එහෙමයි”
නෑයා දත් සපාගෙන නිහඬ වෙයි.
“මගේ පුතාට බිබිලේ අම්මලා ඔක්කොම කිරි පොවලා තියෙනවා. පුතා කවදාවත් මේ අම්මලා අමතක කරන්න එපා.” සේනක මව ඔහු නළවමින් කියයි.
සුජාතා නමින් ඇයට දුවක් ද ලැබිණ. අවුරුදු පහකට පසු සේනක බදුල්ලේ ළදරු පාසලකට යැවූ ඔහුගේ මාපියෝ තවත් අවුරුද්දකට පසු සුජාතා ද ඊට ඇතුළු කළහ.
සේනක සිය නැඟණියට දැක්වූයේ දැඩි සෙනෙහසකි. මාපියන්ගෙන් ඈත්ව බදුල්ලේ නතර වී සිටි කුඩා නැඟණියට තනිවම කළ නොහැකි වැඩ සේනකට පෙනිණ. ඔහු ඇයට උදවු විය.
ළදරු පාසලේ දී නංගී ඉකිබිඳ හඬනු ඇසී දිනක් ඔහු ඇය වෙතට ගියේය.
“ඇයි නංගී?”ඇය ඇගේ සුදු ගවුම පෙන්නුවා ය.
“ආ... නංගී, සුදු ගවුමේ කැත කරගෙන. ඉතින් අඬන්න එපා...”
“දැන් මම යන්නෙ කොහොමද? ගඳයි” සේනක ඇගේ ගවුම ගලවාගෙන පයිප්පය ළඟට ගියේය.
“ඔයා අර මුල්ලට වෙලා ඉන්න. මම මේක සෝදලා දෙන්නම්.” සේනක ඇගේ ගවුම සෝදා අව්වේ දමා ඇය ළඟට වී සිටියේය.
එවිට ඔහුගේ වයස අවුරුදු හයකි. මේ පුවත ඇසූ සේනකගේ මව සිය පුතුගේ හිස සිඹ,
“මගේ පුතා, නංගී හොඳට බලා ගන්නවා” කීවාය.
“ඔව්, අම්මේ එයා මගේ නංගීනේ. මම එයාට උදවු කරනවා”
සේනක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ද, සුජාතා මහනුවර හිල්වුඩ් විද්‍යාලයට ද ඇතුළු කළ රටේ මහත්තයා සේනකට සතියකට සත පනහක් දුන්නේ ය; සුජාතාට රුපියලක් දුන්නේය.
සේනකගේ පවුලට ආනන්ද, චන්ද්‍රා, විමල් සහ කුඩා බණ්ඩා නමින් මල්ලිලා හතර දෙනෙක් එක්වූහ. අයියාට ලැබෙන සත පනහ ගැන ඔවුන්ට ඉව වැටිණ. මේ නිසා සේනකට සිදුවූයේ නංගීගේ රුපියලෙන් කොටසක් ඉල්ලා ගැනීමට ය. ඔහු නංගී බැලීමට ගියේ සත දහයක කුලියක් අය කරන පා පැදියකිනි. ඔහු සමඟ පා පැදියෙන් තවත් මිතුරෙක් ගියේය. ඒ ඩෙරික් අලුවිහාරේ ය.
පාසල් නිවාඩුවට සේනක නංගි සහ මල්ලිලා සමඟ ගමට එයි. ඔවුන්ගේ ප්‍රීතිමත්ම කාලය එළඹෙන්නේ අවුරුදු නිවාඩුවේ දී ය. අවට ගම්වල ආරච්චිලා ද මුස්ලිම් ගම්වල කොස්තැපල් නමින් හැඳින්වෙන ගම් ප්‍රධානීහු ද ගමේ සාමාන්‍ය ජනතාව ද වලව්වට එති. ආරච්චිලා විවිධ කැවිලි වර්ග ගෙනෙන්නේ කත්කාරයන් මඟිනි. කොස්තැපල්ලා වටලප්පන් කඳවල් ගෙනෙති. සේනක මල්ලිලා සමඟ එක්ව ගමට ම වටලප්පන් බෙදයි.
“පුතේ, මේ පුතාට කිරි දුන්නු අම්මලා. මතක තියාගන්න ඕන...” අම්මා සේනකට කුස්සියේ සිටින ගැහැනු පෙන්නා කියයි.
“මට මතකයි. අම්ම මට ඒක හැම අවුරුද්දකම මතක් කරනවා නේ...”
නිවාඩු කාලයේ දවස ගෙවීමට සේනක නංගිට සහ මල්ලිලාට කාල සටහනක් සාදා දෙයි. ඒ අනුව ඔවුහු අලුයම පහට පිබිදිය යුතු ය. පාඩම් කළ යුතු ය. අම්මාට උදවු කළ යුතු ය. නියමිත පැය දෙකක් තුළ සෙල්ලම් කළ යුතු ය. කාලසටහන තැනුණේ සියලු දෙනාගේ ම කැමැත්තෙනි; සාකච්ඡාවෙනි.
ගමේ ඇවිදින සේනකගේ මුහුණ දුකෙන් පිරේ. ගැමි ජනතාව විඳින දුක, ඔවුන් ගෙවන කටුක ජීවිතය, ඔවුන්ට අයිති සුළු ඉඩම් ප්‍රමාණය, ඔවුන් ජීවත්වන පැල්පත්වල ඇති අයහපත් තත්ත්වය ඔවුන්ගේ ලෙඩ රෝග, අකල් මරණ, කුඩා සේනක ගේ සිතට බරක් විය.
“ඒ මිනිස්සු අප සමඟ සිනාසෙනවා. ඔවුන්ගේ ගෙවල් මතක් වෙනකොට මට ඒ හිනාව පේන්නේ අඬනවා වගේ. මේ මිනිසුන්ට හොඳ ජීවිතයක්, හොඳ ගෙයක්, ලෙඩට බේත්, හොඳ කෑම ලැබෙන කාලයක් කවදා ඒවිද” යි ඔහු අම්මාගෙන් ප්‍රශ්න කෙළේ ය.
පුතාගේ සිතේ ඇති කරුණාව අම්මාගේ දෑස තෙත් කළේ ය. සේනක දිනක් පියා සමඟ හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වෙන ස්ථානයකට ගියේය. ඔහු මළ කඳන් නැරඹීමට යාම ගැන මව අකැමැති වූවාය. පියා කීවේ ඊට ඉඩ දිය යුතු බව ය. අලියකු විසින් පාගා මරා දැමූ ඒ මිනිසා සියඹලාණ්ඩුවේ හේන් ගොවියෙකි. වෛද්‍යවරයෙක් මළ සිරුර කැපුවේය. ඒ සිද්ධිය නැරඹීමට ආ හේන් ගොවීන් ද ළමයින් ද ගැහැනුන් ද දෙස බැලූ සේනක ඔවුන්ගේ සිරුරු නොකපා වුව පරීක්ෂා කළ හැකි බව මවට කීය. නියඟ නිසා, ආහාර නොලැබ කෙසඟවූ ඒ ජනකාය නියඟ සමඟ පමණක් නොව පිපාසිත වනසතුන් සමඟ ද සටන් කළ යුතු විය.
සේනක පියාගේ රාජකාරි කටයුතු පිළිබඳව සැලකිලිමත් විය. ඔහු ද පියා සමඟ ප්‍රදේශයේ ඇවිදීමට ගියේය. පියා සතු මෝටර් රියේ අඩුක්කු පෙට්ටියක් විය. තල් අතු කූඩාරම්වල රාත්‍රි නතර වන ඔහු කෝකියා ලවා කෑම සූදානම් කරවයි. ප්‍රදේශයේ ආරච්චිලා උදේම එති. ඔහුට බොහෝ නඩු අසන්නට ලැබේ. කුඩා ඉඩම් කැබලිවලට මිනිස්සු මිනී මරා ගනිති. සුද්දෝ රටේ හොඳම ඉඩම් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ය. ඉතිරි ඉඩම් කැබලිවලට ගැමියෝ රණ්ඩු වෙති. ගම් බෙදෙයි. සටන් ඇවිළෙයි. පියා ඔවුන්ගේ නඩු අසයි. ඔහුට අවශ්‍ය දෙපක්ෂයම සාමදාන කිරීමට ය. ඔවුහු ඔහුගේ පාමුල වැටෙති.
විශාල ප්‍රදේශයක අධිකරණ, අධ්‍යාපන, කෘෂිකර්ම, වාරිමාර්ග වැනි රජයට සම්බන්ධ සියලු කටයුතු පාලනය වූයේ රටේ මහත්තයාගෙනි. ඔහුට සිය වැයික්කියේ සංචාරයට මාසයක් පමණ ගතවෙයි. දුප්පත්කම සහ නූගත්කම රටේ පැතිරී ඇති සැටි ද ඉංග්‍රීසි පාලකයන් සිය යටත් වැසියන් වහලුන් සේ සලකා ඔවුන්ගේ ජීවිත පිරිහී යන්නට ඉඩ දී රටේ සම්පත් එංගලන්තයට ගෙන යන හැටි ද සේනක පියා සමඟ ගිය ගමන්වල දී දුටුවේය.
(තවත් කොටසක් ලබන සතියේ)