රස­ඳුන අතී­තා­ව­ලෝ­ක­නය | සිළුමිණ

රස­ඳුන අතී­තා­ව­ලෝ­ක­නය

‘රසඳුන‘ පටන් ගැනුණේ ද ටැබ්ලොයිඩ් පත්‍රයක් සිංහල සතිඅන්ත පුවත්පතකට නැතුවම බැරි කාලයකය. සිනමා - කලා ‘මාත්‍රාව‘ අනෙකුත් පත්‍රවල ලැයිස්තුවේ මුලටම තිබුණ ද අපට සිදු වූයේ එය අගටම දාන්නටය. හේතුව - අන් පත්‍රවලට නොතිබූ අභියෝගයක් අප හමුවේ තිබීමයි. ඒ, ලේක්හවුස් ආයතනයෙන්ම පළ කළ සිනමා - කලා පත්‍රය ‘සරසවිය‘ යි. සතිපතා පත්‍රයක් වූ එහි පළවෙන දේවලින් ඉඳුරාම බැහැරව අන් මඟක් ගන්නට ‘රසඳුන‘ට සිදු වූයේ එබැවිනි. සාහිත්‍යය, චාරිකා සටහන්, මානුෂීය කතා, හාස්‍ය කතා ආදිය මෙහි ‘අනුපානය‘ට යොදා ගැනුණේ ඉන් අනතුරුවය.

 

මල් පත්තර කලාවත්, බරසාර පත්තර කලාවත් අතරමැද පාඨකයාට වින්දනයක් ගෙනදෙන හරවත් යමක් දීමට ‘රසඳුන‘ මුල සිටම උත්සාහ දැරූ බැව් නොපැකිළව කිව හැකිය. මගේ පත්‍රකලා දිවියේ දසකයට වැඩි කාලයක් ගෙවී ගියේ ‘රසඳුන‘ත් සමඟය. ධර්මසිරි ගමගේ සොයුරා බාරයේ පත්‍රය පැවතුණ ද සියලු වගකීම ඔහු මා හට පැවරුවේ අප අතර තිබූ අන්‍යොන්‍ය අවබෝධය හා විශ්වාසය මතය. අප දෙදෙනාගේම අදහස වූයේ අවර ගනයේ ලිපි පළ නොකර, ජනප්‍රිය පුද්ගලයන් හරවා වුව වැදගත් යමක් උකහා ගැනීමටය. රසඳුනට ලියූ ලේඛක ලේඛිකාවෝ වුව ද නළුවකු නිළියක හමුවී සාකච්ඡාවක් පැවැත් වූවද බාල - බොළඳ ප්‍රශ්න ඇසුවේ නැත.

අපූර්ව චරිත සොයා යෑමට, එතෙක් ඇස නොගැසුණු තැන් කරා යෑමට, අතීතයේ ක්‍රිකට් තරු කරළියට ගෙන ඒමට සිළුමිණ රසඳුන ලේඛිකාවෝ දිවා රෑ නොබලා කැප වූහ. හොඳ පත්තරයක් කරන්නට ඒ සාමූහික කාර්ය සාධනය මහත් සේ වටනේය.

ඡායාරූපකරණයෙන් ප්‍රියන්ත හෙට්ටිගේ කරන ලද අත්හදා බැලීම් ද ‘රසඳුන‘ට වෙනස්ම අනන්‍යතාවක් එක් කළේය. ඔහු වරක් මාත් සමඟ ගාමිණී පොන්සේකා බැහැ දැකීමට ජාඇලට ගිය ගමන මෙහිදී මගේ සිහියට නැඟෙයි. එවකට ඔහු නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාර පදවියෙන් ද ඉවත්ව තරමක් නිවාඩු පාඩුවේ ගත කළ කාලයක් විය. මා, ඔහු සමඟ පැය කීපයක් සතුටු සාමීචියේ යෙදීමන් පසු ප්‍රියන්ත කවරයකට කියා ගාමිණී හිටි අයුරින්ම ඡායාරූප කීපයක් ම ගත්තේය. ගාමිණි ද ඇසුවේ “ඔහොම ඇවේලබල් ලයිට් එකෙන් කවර් පේජ් එකක් කළ හැකිද“ කියායි.

කෙසේ හෝ එය මේ මහා සිනමා ශිල්පියාගේ වටනා ආලේඛ්‍ය ඡායාරූපයක් බව පෙනී ගියේ ඊළඟ සතියේ එය ‘රසඳුන‘ පිටකවරයේ පළවූ විටය.

කටුවන පියනන්ද හිමියන්, එස්.එච්. සරත් වැනි විශිෂ්ට ඝනයේ චිත්‍ර ශිල්පීන්ගේ හා ප්‍රදීප් රත්නායක වැනි සුවිශේෂ සිතාර් වාදකයකුගේ ඡායාරූපයකින් පවා ‘රසඳුන‘ පිටකවරය සරසන්නට අපි නොපැකිළිමු. ලස්සන රූප පමණක් නොව අගනා රූපත් ‘රසඳුන‘ කවර සඳහා එක් වූයේ ඔය අන්දමිනි.

රසඳුන ඡායාරූප මාධ්‍යවේදියෝ පිටකවර කලාවට නව මානයක් එක් කළහ. පිටු සැලසුම් ශිල්පියකු ලෙස බන්දුල ජිනේන්ද්‍රසිංහ විසින් මේ කාලය ඇතුළත මේවායේ වර්ණවත් බව වඩාත් ඔප් නැංවීමට මහන්සි ගත්තේය.

කාලය ගෙවීයන ඉක්මන! ‘රසඳුන‘ට අවුරුදු 25ක් පිරෙන බව කන වැකුණු මොහොතේ මසිතට නැඟි පළමු සිතුවිල්ල එයයි. රිදී ජුබිලිය යනු සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙතැන් සිට ආපසු හැරී බලා ‘රසඳුන‘ අතිරේකයෙන් සිළුමිණ‘ට යම් අගයක් - සවියක් ලැබුණි ද යන්න විමසා බැලීම වටී.

1996 සිට 2009 දක්වා දහතුන් වසරක් තිස්සේ ‘රසඳුන‘ සමඟ ගෙවා දැමූ කාලය මට ද අපූරු මතකයකි. නිල වශයෙන් ‘රසඳුන‘ වෙනුවෙන් කර්තෘ පදවියක් නිර්මාණය කර එය පළමුවරට පිරිනැමුණේ ද මා හටය.

‘සිළුමිණ‘ අලෙවිය මඳක් පහළ බසිමින් තිබූ යුගයක ‘රසඳුන‘ පටන්ගැනීමත් සමඟ එය යම් ස්ථාවරයක රැඳුණු බව අපට පත්‍ර බෙදාහැරීමේ අංශයේ සංඛ්‍යා ලේඛනවලින් පසක් විය. මුල්වරට අප කා සිතේත් සතුටක් ඇති වූයේ එවිටයි. ඒ ලක්ෂ ගණනින් ඉරිදා පුවත්පත් මුද්‍රණය වූ යුගයකි. පාඨකයා මෙම ටැබ්ලොයිඩය ප්‍රතික්ෂේප නොකළ බවට එය හොඳ සාධකයක් විය.

‘රසඳුන‘ට දසවසරක් පිරුණු දා අතහිත දිය යුතු කලාකරුවන් පිරිසකට මුදල් ත්‍යාගයක් සමඟ උපහාර පිරිනැමීමට ලැබීම ද වෙසෙසින් සිහිපත් කළ යුතුය. මගේ යෝජනාවක් පරිදි 2006දී ඇරැඹි මෙම වැඩපිළිවෙළ සුනිල් හා ඉඳුනිල් විසින් ද තවත් වසර කීපයක්ම පවත්වගෙන යෑම ගැන මා තුළ සතුටක් උපදී. මුල්වරට දිවංගත ජේ.එච්. ජයවර්ධන, පතිරාජ එල්.එස්. දයානන්ද හා රීටා රත්නායක යන කලාශිල්පීන්ට මෙම ප්‍රදානයන් සිදු කරන ලදි. එහෙත් අප ඒ සඳහා මුදල් හොයාගත්තේ කලා ළැදි පරිත්‍යාගශීලී ව්‍යාපාරිකයන් කීපදෙනෙකු ගෙනි.

‘රසඳුන‘ අතිරේකයෙන් පත්‍ර කලා ලෝකයට පිවිසීමට නවකයන් කීපදෙනෙකුට මංපෙත් විවර කරදීමට ලැබීම ද සතුටින් සිහිපත් කළ හැකිය.

එකෙකු පරයා අනෙකා නැඟී සිටීමේ පටු න්‍යාය රසඳුනට ලියූ මාධ්‍යවේදීන් අතර දක්නට නොලැබීම ද මට මහත් අස්වැසිල්ලක් විය.

අවුරුදු 25ක් ගෙවා නාඹර වියට පිවිසි ‘රසඳුන‘ තවදුරටත් යා යුතු මඟ තීරණය කිරීමේදී එය මෙහෙයවන්නන් හමුවේ ඇත්තේ ප්‍රබල අභියෝගයකි. කොවිඩ් අර්බුදයත් සමඟ සියලු දේ උඩු යටිකුරු වී ඇත. අද සිනමාවක් නැත. නාට්‍ය කලාවක් නැත. ප්‍රසංග කලාවක් නැත. යන්තම් පණ රැකගෙන ඉන්නේ රූප පෙට්ටියේ අතරමං වූ ටෙලි නාට්‍ය කලාව පමණි. පාඨකයා අද කෙමෙන් සෙමෙන් ක්ෂයවී සමාජ මාධ්‍ය ලෝලීන්ගෙන් සැදි සමාජයක් දක්නට ලැබේ. පත්තරයක් අතට ගෙන කියවීමට ඔවුන් පොලඹවා ගන්නේ කුමන අයුරකින් ද යන්න වර්තමානයේ හැම පත්‍රකලාවේදියකු හමුවේ ම ඇති දැවැන්ත ම ප්‍රශ්නයයි. සිළුමිණ රසඳුන හමුවේ ඇති අභියෝගයත් එය ම බැව් අපේ විශ්වාසයයි. එහෙත් සිළුමිණ රසඳුනට ඒ අභියෝගය ජයගත හැකි බව මම උදක්ම දනිමි.

Comments