
පිරිමින්ගේ ක්‍රීඩාවන් ලෙස බොහෝ කලක් තිස්සේ සලකනු ලැබූ කාය වර්ධන තරග සඳහා අද වෙද්දී කාන්තාවන් ද සහභාගී වන අයුරු අපිට දැක ගන්නට ලැබෙනවා. ඔබට මතක නම් 2018 වසරේ පැවැති ඔලිම්පික් ශ්‍රී බෑන්කර් කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ දිල්රුක්ෂි සලමන්ආරච්චි. ඇය ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තර කාන්තා කායවර්ධන ක්ෙෂ්ත්‍රයේ බබළවන්නට 2021 පළමුවට තුනේදී සමත් වූ කායවර්ධන ක්‍රීඩිකාවයි. සිය හැකියාවන්ගෙන් ජයග්‍රහණ ලබමින් ශ්‍රී ලංකා මාතාවට කිර්තිය අත්කර දෙමින් සිටින කාන්තාවක් වන නිසාම මෙවර රසඳුන කතාබහට ඇයව සම්බන්ධ කර ගත්තා.
නම - දිල්රුක්ෂි සලමන්ආරච්චි
මේ වෙද්දී ජිවත් වෙන්නේ - අමරිකාවේ ෆ්ලොරිඩාවල
ගම - ඉපදුණේ රාගම. හැදුණේ වැඩුණේ ගම්පහ. මේ වෙද්දී මගේ පවුලේ හැමෝම කිරිබත්ගොඩට පදිංචියට ඇවිත් ඉන්නේ.
පාසල - සිද්ධාර්ථ කුමාර මහ විදුහල
පවුලේ විස්තර - අම්මා, තාත්තා, මල්ලිලා හතර දෙනෙක් සහ නංගි.
අපේ ලොකු අයියා තමා මේ අංශයට යොමු කළේ. එයා ව්‍යායාම කරන්න ගත්තා අවුරුදු 15 වගේ ඉඳන්. ගෙදර ම කොන්ක්‍රීට් කණු දෙකක් හදලා තමා මුලින්ම exercises කරන්න එයා පටන් ගත්තේ. මේ වෙද්දී අපේම ජිම් එකක් තියෙනවා. 2000 දී තමා අපි ඒ Gym එක පටන් ගත්තේ universal health කියලා කිරිබත්ගොඩ.
පාසලේ දී ක්‍රීඩාවට සම්බන්ධ වෙලා හිටියද?
ඔව්, මම 100/200/400 අංශ යටතේ දිවීමේ තරගවලට, රිලේ 100/200, එල්ලේ, වොලිබෝල් වගේ හුඟක් ක්‍රීඩා කටයුතුවලට සහභාගී වුණා. හැම අවුරුද්දෙම පාසලේ හොඳ ම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තා.
අැෙමරිකාවට එන්නේ කොයි කාලේද?
2003 දී තමා අැෙමරිකාවට එන්නේ. ඒ දවස් වල ජිම් එකට ගියා workout කළා. නමුත් මෙවැනි තරගවලට සහභාගී වෙන්න පුළුවන් කියන එක ගැන ලොකු දැනුම්වත්වීමක් තිබ්බේ නැහැ. 2003 දී මම ඇතැන්ස්වල University of Georgia වුණා. ඊට පස්සේ මම 2006දී ෆ්ලොරිඩාවලට ආවා. 2006 ඉඳන් ජිවත් වෙන්නේ අමරිකාවේ ෆ්ලොරිඩාවල.
කාන්තාවන් මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ ඉතාම කලාතුරකින්. දිල්රු ඇයි මේ ක්ෂේත්‍රය තෝරා ගන්න හිතුවේ?
මම හැමදාම ව්‍යායාම කළා. ඒ එක ව්‍යායාම් මධ්‍යස්ථානයක පුහුණුකරුවෙක් තමා මට ආරාධනා කළේ එක් තරගයකට සහභාගී වෙන්න.
ඒ මගේ පළවෙනි තරගය. එදා මම එයින් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඒ තරගාවලියේ සිටි විනිශ්චය මණ්ඩලය මට කිව්වා, ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ඒ නිසා නවත්වන්නෙ නැතිව මේ ක්ෂේත්‍රයේ ඉස්සරහටම යන්න කියලා. ඉන් පසුව මට තව තරග සඳහා සහභාගි වන්න අවස්ථාව ලැබුණා. ඒ තරගවලිනුත් මට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා.
අමෙරිකාවෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මේ වෙද්දී ඇමෙරිකාවේ හුඟක් අය මාව දන්නවා. මේ කායවර්ධන අංශයෙන් මම සෑහෙන දුරක් ඇවිත් තියෙන්නේ. ඇමෙරිකාවේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
තරගවලදී අමතක නොවන අත්දැකීම් ඇති?
අමතක නොවන අත්දැකීමක් තමයි, එක දවසක තරගයකට ස්ටේජ් එකට නගින්න ලෑස්ති වෙද්දී මගේ නම්බර් එක කාමරේ කියලා මතක් වුණේ. ඒ පාර මම සපත්තු දෙක ගලවලා දුවගෙන ගිහින් මගේ කෝච්ට කිව්වා. එයා මගේ කාමරේ යතුර අරගෙන ගිහින් දුවගෙන ගිහින් මගේ අංකය ගෙනත් දුන්නා. එදා ඒක එහෙම නොවුණා නම් මට තරගයට සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ.
ඔබේ පවුල ගැනත් කියමු
මට අවුරුදු 7ක පුතෙක් ඉන්නවා. එයාව හදා වඩාගන්නා අතරේ තමා මම මේ අංශයෙන් තරගවලට සහභාගී වෙන්නේ. මගේ පුතාගේ නම ආස්ටන්. පුතත් ක්‍රීඩාවට දක්ෂතා පෙන්නුම් කරනවා. මේ වෙද්දී බේස් බෝල්, බාස්කට් බෝල්, ෆුඩ් බෝල් සෙල්ලම් කරනවා. ඒ සියල්ලටම පුතා දක්ෂයි. මවක් වුණාම හැමදේම කළමනාකරණය කරන්න වෙනවා.
මේ ක්ෂේත්‍රයට එන්න කෙනෙක් කැමති නම් ඔබ මොකක් ද ඒ අයට කියන්නේ?
මේ ක්ෂේත්‍රයට එන්න කැමති අයට කියන්නේ පැහැදිලි අරමුණක් ඇතිව එන්න. මගේ බලාපොරොත්තුවත් ඉදිරියේදී ලංකාවට මේ ක්‍රීඩාව ගැන දැනුම්වත් කිරීමක් කරන්න. ලංකාවෙ ඉන්න කාන්තාවන්ගෙන් තවත් මේ ක්ෂේත්‍රයට අය බිහි කරන්න මම කැමතියි. මම බලාපොරොත්තුවෙන් හිටියා ලංකාවේ මේ තරගයක් තියන්න. නමුත් කොවිඩ් වසංගතය එක්ක ඒ දේ කර ගන්න බැරි වුණා.
මේ වසරේ තරග ජයග්‍රහණ ගැන මතක් කළොත්?
මේ වෙද්දී 2021දි තරග තුනකට සහභාගී වුණා. ඒ හැම තරගකදිම මට ජයග්‍රහණයක් ලබා ගන්න හැකි වුණා.
ඉදිරි තරග මොනවද?
මම තව සති නවයකින් ෆ්ලොරිඩාවල තරගයකට සහභාගී වෙනවා. ඒක නැෂනල් තරගයක්. මගේ බලාපොරොත්තුව එකෙන් ප්‍රෝ කාර්ඩ් එක දිනන්න.