
මම බතී අරවින්දගේ
නන්දා ය ගම්පෙරළියේ
දම්මිටත් හිටියේ මමයි
ජයලත්ගෙ ගොළු හදවතේ...
සුවඳ ගැල්වූ පෙම් හසුන්
නුඹ එදා දුන්නට හොරෙන්
එහි ලියා තිබු ආදරේ කවි
අනේ දැන් සිල්ලර වෙලා
දවසගානේ දකිනවා මම
මුහුණු පොත්වල පිටු පුරා...
පාට තැවරුණු බොල් හැඟුම්
ජීවිතේ මතුපිට දරා
රෑට අඳුරෙත් පිපෙනවා මල්
ආදරේ ඇති තැන් බලා
අදත් ඉඳහිට සොයනවා මම
කුරුලු හදවත නුඹ ගෙනා...
පොළොවේ තිබෙන වැලිකැට ගණනට ගීත බිහිවන මේ යුගය තුළ ලාංකේය නවකතා සාහිත්‍යයේ ආදරවන්තියන්ගේ භූමිකා ත්‍රිත්ත්වයක් පාදක කොටගෙන ලියවුණු ආදරේ කවි මේ දිනවල බොහො ජනප්‍රිය ය. ගැමි සංස්කෘතියේ සාම්ප්‍රදායික ප්‍රේමණීය චරිත එනම් විරාගයේ බතී, ගම්පෙරළියෙ නන්දා සහ ගොළු හදවතේ දම්මි ඈදා නිර්මාණය කළ මෙම ගීතපාද ත්රිත්ත්වය එනම් ආදරේ කවි වලට හඬ මුසු කරන්නේ සිරස වොයිස් ටීන් හරහා රටක් හඳුනාගත් ප්‍රතිභාන්විත ගායන ශිල්පිනි ලිහිනි මිනෝදා විසිනි. පරම්පරා ඈදා නිර්මාණය කළ ආදරේ කවි ගැන කතා නොකරම බැරිය. ඒ නිසාම ආදරේ කවි අකුරු කරන්නට ලිහිනි රසඳුන සමඟ පිළිසඳරක යෙදුණෙ මෙලෙසයි.
කුඩා කල සිටම සංගීත පරිසරයක හැඳුණු වැඩුණු ඇය සංගීත දිවියට අත්පොත් තබන්නේ සිය මෑණියන්ගෙන් ය. ඇගේ මෑණියන් සංගීත ගුරුවරියක් වන අතර පියා ද තරමක් දුරට සංගීතය පිළිබඳ දැනුමක් ඇත්තෙකි.
නමුත් පියා වෘත්තීය වශයෙන් සහකාර රේගු සාමාන්‍යාධිකාරි වරයෙකි. ලිහිනි මිනෝදා ගම්පහ පරාක්රමවත්ත මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ගම්පහ යශෝදරා දේවි බාලිකාවෙන් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙන ගන්නී ය. ඇය හය ශේණියේ සිට ඇගේ සංගීත ගුරුවරිය වන සිතාරි ගුරුමෑණියන් යටතේ සංගීතය හදාරමින් ඉන්දියාවේ භාත්ඛණ්ඩ විභාගයටද මුහුණ දෙමින් සංගීතය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත වන්නට උත්සාහ කරයි.
ලිහිනි මිනෝදාගේ ජීවිතයෙහි හැරවුම් ලක්ෂ්‍යය වන්නේ සිරස ටිවි නාළිකාවේ වොයිස් ටීන් ජාත්‍යන්තර වේදිකාවයි. ඇගේ සහෝදරයාගෙ පෙරැත්ත මත එයට ඉල්ලුම් කරන ඇය සනුක වික්‍රමසිංහයන්ගේ කණ්ඩාමයෙන් තරග වැද පුහුණු වෙමින් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන්නී ය.
එයින් ඉවත් වීමට සිදු වුවත් පරාජයම හයියක් කර ගන්නා ඇය නුදුරේදීම ඇගේ නිර්මාණයක් එළි දක්වන්නට වැඩ කටයුතු සලස්වා ගත්තා ය. සුජිත් ප්‍රසන්ග සාහිත්‍යකරුවාගේ පද රචනයකට නවරත්න ගමගේ සංගීතවේදියාගේ තනුවකට හඬ මුසු කරන ලිහිනිගේ ආදරේ කවි මේ දිනවල බොහෝ ජනප්‍රියය.
මෙහි තේමාව වන්නේ පැරණි ආදරය සහ නූතන ආදරය සැසඳීමකට ලක් කිරීමයි. එහිදි පැරණි ආදරය පිළිබඳ දැක්වීමට නවකතා ත්‍රිත්වයක චරිත පාදක කොට ගෙන ඇති අතර ගොළු හදවතේ දම්මි සුගත් , ගම්පෙරළියේ නන්දා පියල් සහ යුගාන්තයේ බතී අරවින්ද යන චරිත උපයෝගි කොටගෙන ඇත. පරම්පරා දෙකක් ඈදා නිර්මාණය කර ඇති වර්තමානයේ සිල්ලර වන ආදරයහි පද හරඹය අපූරුය. රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානවලින් පවා ඇගයීම් ලබා ඇති ලිහිනි දායක වන ප්‍රථම රූප රචනාව වන්නේද ආදරේ කවියි.
එසේම සංගීත දිවියෙහි ඇයට අමතකම නොවන සිදුවීමක් ලෙස ඇය මතකයට නැංවූයේ වොයිස් ටීන් තරගයට ඇය ඇගේ ගුරුවරයා තෝරා ගනිද්දි සනුක වික්‍රමසිංහයන් ඇය වෙනුවෙන්ම ගීතයක් ගයා ඇයට එම කණ්ඩායමට ආරාධනා කිරීම ඇයට අදහා ගත නොහැකි සිදුවීමක් බවයි.
එය ජිවිත කාලේම ඇයට අමතක ම නොවන අත්දැකීමක් වන අතර ඇය ඇගේ පළමුවෙනි ගීතය එළිදක්වන්නට තෝරා ගන්නේ ඇගේ යූටියුබ් නාළිකාවයි. එයට හේතුව ලෙස ඇය දැක්වූයේ අද යම්කිසි දෙයක් ඉක්මනින්ම ලෝකයට මුදා හරින්නට තිබෙන ප්‍රධාන විකල්පයක් ලෙස යූටියුබ් නාළිකාව දක්වන්නට හැකි බවයි.
යසනාත් ධම්මික බණ්ඩාර, සුජිත් ප්‍රසන්ග, බන්ධුල නානායක්කාරවසම්, අර්.එච්.එම්.යූ ජයවර්ධන ,රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ වගේ ප්‍රවීණයන්ගෙන් විශේෂ සහයක් ඇයට ලැබෙන බවත් නිවසින් ලැබෙන සහයෝගයද ඇයට අපමණ වටින බවද ඇය සඳහන් කළා ය.
අවසාන වශයෙන් ඇය ඇගේ පුහුණුකරු සනුකට, ‘වොයිස් ටීන්’ වාද්‍ය වෘන්දයට, වොයිස් ටීන් කණ්ඩායමට, ඇගේ පවුලෙ අයට, ඇගේ පාසලට, එක ශ්‍රේණියේ සිට ඇය තරගවලට යොමු කළ භද්ද්‍රා නිල්මිණි ගුරුමෑණියන්ට, සියලුම ගුරුමෑණියන්ටත් පියවරුන්ටත්, වොයිස් ටීන් නිසා ලැබුණු රසික පිරිසටත් මේ තැනට එන්න වචනයකින් හරි ඇයව දිරිමත් කළ සියලු දෙනාටත් ස්තූතියි කියන්නට අමතක නොකළා ය.