ජන­ප්‍රිය හර­වත් මාධ්‍ය කලා­ව­කට පෙර­ග­ම­නක්! | සිළුමිණ

ජන­ප්‍රිය හර­වත් මාධ්‍ය කලා­ව­කට පෙර­ග­ම­නක්!

රසඳුන මේ අරඹන්නේ 25 වැනි වසරයි. වසර 25 ක් යනු සුළු කාලයක් නොවේ. රසඳුන ඇරඹි වසරේ ඉපැදුණු දරුවකු නම් මේ ගෙවන්නේ සිය ජීවිතයේ නාඹර ම වයසයි.

 

සතිඅන්ත සිළුමිණ ලොකු පත්තරයට කලා අතිරේකයක් හඳුන්වා දීමේ යෝජනාව කලක් තිස්සේ එකල සාකච්ඡාවට ලක්වෙන්නේ පත්තර මහගෙදරින් නිකුත් වුණු සරසවිය පුවත්පත නිසා ය. පුංචි පත්තරයක් හඳුන්වා දෙන්නේ නම් එය සරසවිය පුවත්පතට වෙනස් මඟක් ගත යුතු ව තිබිණි. සාකච්ඡා වට කිහිපයකට පසු රසඳුන නමින් සරසවියට වෙනස් මඟක් ගත් ටැබ්ලොයිඩ් පුවත්පතක් සිළුමිණට එක්විණි. එහි තේමාව සකස් වෙන්නේ ජනපිය හරවත් පත්‍ර කලාවක් යන මැයෙනි.

රසඳුන එකල සිය දිශානතිය යොමු කළේ ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය මෙන් ම යම් යම් සාහිත්‍යයික කාරණා වෙනුවෙනි. ධර්මසිරි ගමගේ සමාරම්භක සංස්කාරකත්වයෙන් 1996 වසරේ නොවැම්බර් 3 දා ඇරඹෙන රසඳුන පළමු අතිරේකයට මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දා. දු. න. වීරකෝන්, සිරිලාල් කොඩිකාර හා දෙනගම සිරිවර්ධන වැනි සාහිත ලොව එකලු කළ සුළවතුන්ගේ ද ලිපි ඇතුළත් වන්නේ ඒ නිසා ය.

ගුණ නැණ දෙකෙන් ම පිරිපුන් ටැබ්ලොයිඩ් පුවත්පත් කලාවක් හඳුන්වා දීමේ පෙරමුණ ගත් රසඳුන සුළවතුන් අතර මුවඟ රැඳුණු නාමයක් වන්නේ එහි වූ අප පෙරකී සාරසුභාවිත කලා භාවිතය නිසා ය. රසඳුන ආ ගමන්මඟ වියත් කලා ඇසුරෙන් ලද සොබාව මැනවින් විශද වූයේ එහි ජනප්‍රිය තේමාව යටතේ වුව හරවත් කලාවක ඇසිදිසි මානය අන්තර්ගත වූ නිසා ය.

රසඳුන ආධුනික කලාකරුවන්ට වැඩබිමක් විය. ආධුනික ලේඛකයන්ට සවියක් විය. කලා ලොව රස තොරතුරුවලට එහා ගිය නව දැනුමක් හා නව දැක්මක් රසඳුන නිරන්තර සම්පාදනය කළේය.

රසඳුන රසවිතක් ව පාඨක දන මන රංජනය කරනු ලැබීම අප බලාපොරොත්තුවයි. ඒ මඟ සුමට නැත. එහෙත් ඒ සඳහා අවැසි ශක්තිය සිළුමිණ රසඳුන සතු ය. පාඨක ඔබ හා කලා ලොව රසවතුන් මෙන් ම නව පරපුරේ සුළවතුන් ද අපට ශක්තියකි. ඒ මඟ අසීරුව සුමට කරන්නේ ඔබ ය. පරිපූර්ණ කාන්තාවක්; පරිපූර්ණ තාරුණ්‍යයක්; පරිපූර්ණ ජීවිතයක් රසඳුන වෙතින් ඔබට තිළිණ කරන්නට මේ ගෙවන වසර විසිපහෙන් එපිටදී ද අපි බලාපොරොත්තු වෙන්නෙමු. රසඳුන රස කලසක් ව ඔබ වෙත තිළිණ කරන්නට අවැසි ශක්තිය පිටුපස සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්නයන් ඇතුළු සියලු කර්තෘ මාණ්ඩලිකයන් පෙළ ගැසෙන්නේ ඒ අරමුණිනි.

හෙට දින ද කලා ලොව රස තොරතුරු මෙන්ම ඔබේ ජීවිතාවබෝධය පුළුල් කරන තොරතුරු ඇතුළත් සාරසංග්‍රහයක් ඔබ වෙත තිළිණ කරන්නට අප පෙරමඟ බලන්නේ ජනප්‍රිය එමෙන්ම හරවත් මාධ්‍ය කලාවක සුභාවිත ලකුණ වෙනුවෙනි.

වසර විසිපහකට පෙර මුහුණ නොපෑ අභියෝග රැසක් දැන් අප හමුවේ ඇත. සමාජ මාධ්‍ය පෙර නොවූ විරූ ලෙස ප්‍රබල ය. පුවත්පත්වල අභියෝගය වන්නේ සමාජ මාධ්‍ය විසින් ග්‍රහණයට ගත් මේ පරම්පරාව සිය ග්‍රහණයට නතු කර ගැනීම ය. ඒ සඳහා හෘදයාංගම පුවත්පත් කලාවක් අවැසි ය. ඒ පරපුර අමතන්නට සුදුසු හෘදය සූත්‍රයක් සොයා රසඳුන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රසඳුනක් කිරීමට අප පෙළ ගැසිය යුතු ව ඇත.

 

 

 

Comments