ජීවි­තය තණ අග පිනි බිඳුව වාගේ එහෙත් එය නැති­කර ගැනුම රිසි නොම වේ | සිළුමිණ

ජීවි­තය තණ අග පිනි බිඳුව වාගේ එහෙත් එය නැති­කර ගැනුම රිසි නොම වේ

 

 

සෑම මිනිස් ජීවිතයකටම අමිල වටිනාකමක් තිබුණද ලොව පුරා ලක්ෂ 7කට වැඩි ජීවිත සංඛ්‍යාවක් වසරකදී අනවර්තයේ ලෝකයට අහිමි වේ. ඉකුත් වසරේ සියදිවි නසාගැනීම්වලින් ලොව පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 703,000කට අධිකය. ගෝලීය සියදිවි නසාගැනීම් මරණවලින් 70%ක්ම වාර්තා වන්නේ අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල්වලිනි. ලොව පුරා සියදිවි නසාගැනීම්වලින් වැඩිපුරම මියයන්නේ පිරිමින් බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙද්දී ශ්‍රී ලංකාවේ තත්ත්වයද එලෙසමය. 2020 වසරේදී සියදිවි නසාගැනීම්වලින් 3,074ක් මරණයට පත්ව ඇති අතර ඉන් 2,484ක් පිරිමි පුද්ගලයන්ය. ගැහැනු සංඛ්‍යාව 590කි.

 

1995දී ශ්‍රී ලංකාව ලොව වැඩිම සියදිවි හානි මරණ අනුපාතය සහිත රට ලෙස වාර්තා වූ අතර 1990 දශකය මැද භාගය වන විට එම අනුපාතය ජනගහනය පුද්ගලයන් ලක්ෂයකට 47කි. වාසනාවකට මෙන් දැන් ශ්‍රී ලංකාවේ තත්ත්වය තරමක් සුබදායකය.

අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ පැවසුවේ මේ වන විට එම අනුපාතය ලක්ෂයකට පුද්ගලයන් 14ක් පමණ වන බවය. 1990 දශකයේදී වසරකට පුද්ගලයන් 80,000ක් පමණ සියදිවි නසාගැනීම්වලින් මරණයට පත්ව ඇති අතර මේ වන විට එම අගය පවතින්නේ 3,000-3,500ත් අතරය.

සියදිවි නසාගැනීම් මරණ අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ, ඇතැම් රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය තහනම් කිරීම සහ රසායනික ද්‍රව්‍යවල සාන්ද්‍රණය අඩු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග මෙන්ම ජනතාවගේ මානසික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වාගෙන යෑම සඳහා ගත් ක්‍රියාමාර්ග ඒ සඳහා ඉවහල් වූ බව පැවසීය. අධික අනතුරුදායක පළිබෝධනාශක භාවිතය තහනම් කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වඩාත්ම හොඳින් අධ්‍යයනය කරන ලද රට ශ්‍රී ලංකාව බවත් ඒ හේතුවෙන් 1995 සහ 2015 අතර සියදිවි නසාගැනීම් 70%කින් පහළ වැටුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමයි.

සියදිවි නසාගැනීම් හේතුවෙන් මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%ක්ම පිරිමින් වන අතර 20%ක් කාන්තාවන්ය. මියයන පිරිමින්ගේ වැඩි පිරිසක් වයස අවුුරුදු 70ට වැඩි පුද්ගලයන් බව දත්ත වාර්තාවලින් හෙළිවේ. සියදිවි නසාගැනීම්වලින් මියයන කාන්තාවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 18-33ත් අතර පසුවන සමාජ, ආර්ථික වශයෙන් රටට ඉතා වැදගත් කාණ්ඩයක් වීම ඛේදනීය තත්ත්වයකි. අහිමිවීම්, පවුල් ආරවුල්, මානසික ආතතිය සහ රැකියා ප්‍රශ්න ආදිය ඊට ප්‍රධාන හේතුය.

“කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කිරීම වැඩියි. එසේ මත්වන අවස්ථාවලදී ඔවුන් ගන්නා තීරණ නිවැරදි නොවීම වගේම කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට දරාගැනීමේ හැකියාව අඩුවීම පිරිමි මරණ වැඩිවීමට හේතුවනවා. මැදි වයස වන විට කාන්තාවන්ගේ දරාගැනීම් හැකියාව වැඩිවනවා. ජිවිතය එපා වන තරම් ප්‍රශ්න තිබුණත් දරුවන් නිසා හෝ ඔවුන් ඒවා දරාගන්නවා.

ඒ වගේම කාන්තාවන් තමන්ගේ ප්‍රශ්න ගැන කා සමඟ හෝ කතා කරනවා. ඒ වගේම කාන්තාවන්ට උදවු කිරීමට ඉදිරිපත් වන පිරිසත් වැඩියි. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා. එහෙත් බොහෝවිට පිරිමි ප්‍රශ්න කතා කරන්නේ නැහැ. හිතේ හිරකරගෙන සිටින විට පීඩනය වැඩියි. වයස්ගත ප්‍රජාව අතර සියදිවි නසාගැනීම් ප්‍රවණතාව වැඩිවී ඇත්තේ සුලබ නොවන නිදන්ගත රෝගවලින් පෙළීම, විශ්‍රාම දිවිය සුවදායක නොවීම, ආර් ථික ශක්තිය අහිමි වීම හෝ ආදායම අඩුවීම, යැපෙන්නන් බවට පත්වීම, දරුවන් දුරස්වීම, සහකරු/සහකාරිය මියයෑම හෝ දුරස් වීම වැනි හේතු නිසා ඇතිවන පාළුව, කාන්සිය සහ එවැනි හැඟීම්වලින් මිදීම සඳහා මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ආදී හේතු නිසයි. සියදිවි නසාගැනීම් ගැන කතා කරනවාට වඩා වැදගත් වන්නේ සියදිවි නසාගැනීම් වළක්වා ගැනීමයි. ඊට හේතුව මේ වන විට සියදිවි නසාගැනීම් මරණ අඩු වවත් ඒ සඳහා උත්සාහ කරන සංඛ්‍යාෙව් අඩුවීමක් සිදුනොවීමයි. ඒ නිසා සියදිවි නසාගැනීම් පිළිබඳ අවදානම් සාධක හඳුනා ගැනීම, අතුරු සංඥා ගැන දැනුමත් වීම සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීම අවශ්‍යයි. ”

යම් අයකුට සියදිවි නසාගැනීමට සිතෙන අවදානම් සාධක අතර පවුලේ සියදිවි නසාගත් පුද්ගලයන් සිටීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික රෝග, පෞරුෂත්ව ගැටලු මෙන්ම සමාජ සම්බන්ධතා සහ කුසලතා අඩුවීම, සහයෝගය දීමට සිටින ජාලය අඩුවීම ආදී කරුණු මූලික වේ. එවැනි අවදානම් සාධක සහිත පුද්ගලයන් පළකරන අවදානම් සංඥා හඳුනාගෙන කඩිනමින් ක්‍රියාකාරී වීමෙන් සියදිවි නසාගැනීමක් වළක්වා ගත හැකි බව විශේෂඥ මනෝ වෙද්‍යවරිය වැඩිදුරටත් පවසන්නීය.

පුද්ගලයකු සුපුරුදු සන්සුන් චර්යාවන්ගෙන් මිදී අධික ලෙස කෝපයට පත්වීම, ආවේගකාරී ලෙස හැසිරීම, ජීවිතය නැතිකර ගැනීමට සිතෙන බව නිතර නිතර කීම, ජීවිතය පිළිබඳ ඉච්ඡාභංගත්වයක් පෙන්වීම සහ කලකිරීමෙන් සිටීම එවැනි සංඥා කිහිපයකි. එමෙන්ම විෂාදය ආදී මානසික රෝගවලට ප්‍රතිකාර ලබන පුද්ගලයන් ගැන අවධානයෙන් සිටීම වැදගත්ය.

"සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සිය සමීපතමන්ට සවන් දීම සහ අවදානයෙන් සිටීම අප සියලු දෙනාගේම වගකීමක්. ඇතැම් විට කුමක් හෝ ප්‍රශ්නයකින් පීඩා විඳින ඔබේ හිතවතකු ඔබ සමඟ ඒ ප්‍රශ්නය කතාකිරීමට අකැමැති විය හැකියි. නමුත් ඒ මොහොතේ ඔහු තනි නොකර ළඟ රැඳී සිටීමෙන් පවා ඔහු සියදිවි නසාගැනීම වළක්වා ගැනීමට ඔබට පුළුවන්. මානසික ගැටලුවකින් පීඩා විඳින ඕනෑම කෙකනෙක් නොපමාව ඔබට විශ්වාස කළ හැකි කෙනෙකු සමඟ ඒ ගැන කතා කරන්න. නැතහොත් උපදේශනය සලසා ගත හැකි විශ්වාසවන්ත ආයතනයක සුදුසුකම් ලත් උපදේශකයකු වෙත යොමුවන්න." විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ යළි යළිත් එසේ අවධාරණය කරන්නීය. ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවූ රජයේ ආයතනය වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ධම්මිකා විජේසිංහ ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකරන අතර එහි 1926 උපකාරක සේවය පැය 24 පුරාම ක්‍රියාත්මකය. ජංගම සහ ස්ථාවර දුරකථනවලින් එම අංකය සඳහා ලබාගන්නා ඇමතුම් නොමිලේ වීමද විශේෂත්වයකි. ගැටලුවේ ස්වරූපය අනුව උපදේශනය සහ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම අවශ්‍ය නම් නීති ආධාර ලබාදීම සඳහා යොමුකිරීම ද එම සේවාව මඟින් සිදුවේ. 1926 ක්ෂණික ඇමතුම් සේවයට 2019දී ඇමතුම් 16,700කට අධික සංඛ්‍යාවක්, 2020දී 30,000කට අධික සංඛ්‍යාවක් සහ 2021 වසරේ මේ දක්වා 18, 500කට අධික ඇමතුම් සංඛ්‍යාවක් ලැබී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා අනුව ලොව පුරා වයස අවුරුදු 15-19ත් අතර පසුවන්නගේ මරණවලට 4 වැනි හේතුව වන්නේ සියදිවි නසාගැනීම්ය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද එයම බව පැවසූ විශේෂඥ මනෝ ‍ ‍වෛද්‍ය පුෂ්පා රණසිංහ, සියදිවි නසාගැනීම්වලින් මෙරට තරුණ පරපුර වළක්වා ගැනීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය 1926 ක්ෂණික ඇමතුම් සේවයට අමතරව ඉකුත් වසරේ ඔක්තෝබරයේ සිට කෙටි පණිවිඩ සේවයක් ද හඳුන්වා දී ඇත. මේ වන විට ඒ සඳහා පණිවිඩ 1,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් බොහෝ තරුණ තරුණියන් ස්මාට් දුරකතන භාවිත කරන නිසා ඔවුන් අතර කෙටි පණිවිඩ සහ වැට් ක්‍රමය ජනප්‍රිය වී ඇති බවත් පැවසුවාය.

ඒ අනුව ඔවුන්ගේ මාසික ගැටලුවලට විසඳුම් ලබාදීමට එම සේවය තුළින් පහසු වී ඇත.

‘සුමිත්‍රයෝ’ ප්‍රජා සංවිධානය ද සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා උපදේශනය ලබාදීම මෙන්ම ගැටලුවේ ස්වාභාවය අනුව නීති ආධාර ලබාදීම සඳහා අවශ්‍ය ආයතන වෙත යොමුකිරීම සිදුකරන ප්‍රමුඛ ආයතනයකි. දින 365 පුරාම උදේ 9 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වන එම ආයතනයේ උපදේශන සේවය සමඟ දුරකථන, ඊමේල්, වට්සප් සහ ස්කයිප් මාර්ගයෙන් සම්බන්ධ විය හැකිය. නොමිලේ සපයන එම සේවාවන්හි නිරත ස්වෙච්ඡා සේවකයන් සේවාව ලබාගන්නා පුද්ගලයන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට දැඩි වගකීමෙන් බැඳී සිටින බැවින් ඒ පිළිබඳ කිසිදු බියක්, සැකක් ඇතිකර ගත යුතු නැත.

සියදිවි නසාගැනීම් පිළිබඳව මාධ්‍ය වාර්තාකරණය ඉතා වැදගත් වන අතර ප්‍රවේශම් සහගත විය යුතු බවද විශේෂඥ මනෝ වෛද්‍යවරුන් නිරන්තරයේ අවධාරණය කරන කරුණකි. සියදිවි නසාගැනීම් සම්බන්ධ‍යෙන් වාර්තා කිරීමේදී දිවි නසාගත් ක්‍රමය පිළිබඳ විස්තර කිරීම සහ ඡායාරූප ප්‍රදර්ශනය නොකිරීමට ද ප්‍රවේශම් විය යුතුය.

සියදිවි නසාගැනීම ප්‍රශ්නවලට විසඳුම් වශයෙන් හුවා දැක්වෙන ආකාරයට හෝ වීරත්වයක් ආරෝපණය වන ලෙස වාර්තා කිරීමද සුදුසු නොවේ.

විශේෂඥ මනෝ වෛද්‍ය මතය අනුව සියදිවි නසාගැනීමක් යනු විවිධ මානසික රෝග සහ ගැටලුවලින් පෙළෙන පුද්ගලයන් විසින් ඒ මානසික පීඩනය තුළ ගන්නා නිවැරදි නොවන තීරණයකි. කිසිදු මානසික ගැටලුවකින් හෝ විෂාදයෙන් නොපෙළෙන අයකුට පවා ඇතැම් විට ජීවිතය නැතිකරගැනීමේ සිතිවිල්ලක් පහළ විය හැකිය.

එහෙත් බොහෝ විට ඒ සිතිවිලි ක්‍රියාකාරී ඒවා නොවන අතර ක්ෂණිකව ඇතිවී නැතිවී යන ඒවා බැවින් සියදිවි නසාගැනීමක් දක්වා දුරදිග නොයයි. එහෙත් විෂාදය සහිත පුද්ගලයකු සියදිවි නසාගැනීම විසඳුමක් ලෙස තෝරාගැනීමේ නැඹුරුව වැඩිය. ඇතැම් පුද්ගලයන් තමන්ගේ ප්‍රශ්නයට කොයිතරම් විසඳුම් පෙනෙන්නට තිබුණත් මැරෙන්නට ඕනෑම යන සිතිවිල්ලෙන් මරණය සැලසුම් කරයි. ඇතැම් විට යම් අයෙක් මුහුණු පොතේ හෝ එවැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ සිතිවිලි මුදාහරින අවස්ථා දකින්නට ඇත.

 

එම නිසා ඔබේ සමීපතමයකු හදිසියේ එවැනි හැසිරීමක් පෙන්නුම් කරයි නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. විෂාදය හෝ වෙනත් මානසික ගැටලුවකින් පෙළෙන ඕනෑම අයෙක් සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරුන්, උපදේශකයන්ගෙන් පමණක් උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමද ඉතා වැදගත් ය.

 

ජීවි­තය එපා වෙලා නම්  මේ උප­කා­රක සේවා අම­තන්න
 

 

ජාතික මාන­සික සෞඛ්‍ය විද්‍යා­ය­ත­නය   
1926 ක්ෂණික ඇම­තුම් සහ කෙටි පණි­වුඩ සේවය
සුමි­ත්‍රයෝ - 0112 2683555, 0112696666 
            සහ 0112692909
මැල් මැදුර උප­කා­රක සේවය - 0112693460/0112694665
 

ජාතික මාන­සික සෞඛ්‍ය 
විද්‍යා­යත­නයේ ජ්‍යෙෂ්ඨ 
විශේ­ෂඥ මනෝ වෛද්‍ය 
පුෂ්පා රණ­සිංහ

 

 

Comments