2022දීත් මෝටර් රථ ආනයනයට සීමා | සිළුමිණ

2022දීත් මෝටර් රථ ආනයනයට සීමා

 

 

ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කර මෙරට විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෝටර් වාහන ආනයනය කිරීම තහනම් කිරීම සඳහා රජය කටයුතු යෙදුවේ 2020 මාර්තු මාසයේ සිටයි. ඒ අනුව මෝටර් වාහන වලට අමතරව තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා පැනවීමට රජය කටයුතු කළ අතර මෙම ආනයන සීමා තාවකාලික පදනම මත පනවා ඇති බැවින් ඉදිරියේ දී විනිමය අනුපාතය ස්ථාවරත්වය මත එම සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එලෙස ආනයන සීමා පනවමින් මෝටර් වාහන ආනයනය තහනම් කිරීම සඳහා රජය විසින් කටයුතු යෙදූ එම අවස්ථාවේදී රට හමුවේ ප්‍රකාශ කළේය.

 

මේ සම්බන්ධව පසුගිය පෙබරවාරි මාසයේදී යළිත් වතාවක් පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කිරීමක් කළ මුදල් රාජ්‍ය අමැති අජිත් නිවාඩ් කබ්රාල් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෝටර් වාහන ආනයනය සීමා කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනු ලැබූවේ ශ්‍රී ලංකා මහ බැංකුවේද උපදෙස් පරිදි බවත් මෙම සීමා පනවන අවස්ථාව වන විට රට තුළ තවත් වසර දෙකකට සරිලන වාහන තිබුණු බැවින් මේ වන විට ආනයනය තහනම් කර ඇති වාහන ආනයනය පිළිබඳව තීරණයක් ගැනීම පිළිබඳව මෙම වසර අවසානයේ දී සලකා බැලීමට රජය සූදානම් බවත්ය.

කෙසේ වුවත් මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කිරීමට ගත් පියවරත් සමඟ පසුගිය කාලය තුළ මෙරට වාහන වෙළෙඳපොළ දැඩි පීඩනයකට හසු වී තිබුණු අයුරු නිරීක්ෂණය කිරීමට හැකි වුණු අතර මෙරට වෙ‍ෙළඳපොළ තුළ මෝටර් රථ වල මිල ඉතා විශාල වශයෙන් ඉහළ යාම සඳහාද එම පීඩනය සෘජු ලෙසම බලපෑම් සිදු කර තිබුණි. ඒ අනුව පාවිච්චි කරන ලද මෝටර් රථ වල මිල ගණන්ද 100% ත් ඉක්මවා මිල ඉහළ ගොස් තිබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වර්ෂයේ නිෂ්පාදිත ප්‍රිමියෝ රථයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කෝටි දෙක ඉක්මවූ මිලකටයි. එසේම 2019 වර්ෂයේ නිෂ්පාදිත ඇක්සියෝ රථයක් ලක්‍ෂ 120 ඉක්මවා ඇති අතර නිෂ්පාදිත වර්ෂය වසර 15 ක් ඉක්මවූ පැරණි අැක්සියෝ රථයක් මේ වන විට ලක්ෂ 65 ඉක්මවා අලෙවි වෙයි. එසේම පවතින වාහන මිල ගණන් අනුව වසර පහක් පමණ පැරණි ‘විට්ස්’ රථයක් ලක්ෂ 90 ක පමණ මිලකටත් වසර තුන හතරක් පැරණි වැගන්ආර් රථයක් ලක්ෂ 65 ක පමණ මිලකටත් අලෙවි වන බව කියවෙන අතර වසර තුන හතරක් පැරණි ත්‍රීරෝද රථ වල මිලද ලක්ෂ 16-17 දක්වා වැඩි වී ඇති බව කිය වේ. සාමාන්‍ය යතුරු පැදියක මිලද ලක්ෂ හතර පහ සීමාවේ පවතින අතර ස්කූටර් රථද එම මිල ගණන් ඉක්මවා අලෙවි වෙමින් තිබේ.

මෝටර් වාහන ආනයනය කිරීමේ තහනම මේ වසර අවසානය වීමට ප්‍රථම හකුලා ගනු ඇතැයි බොහෝ පිරිසක් අපේක්ෂා සහගතව බලා සිටියද මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබුණු චක්‍ර ලේඛනයකට අනුව එළැඹෙන 2022 වර්ෂය තුළද මෝටර් රථ ආනයනය තවදුරටත් තහනම් කර තැබීමට රජය කටයුතු යොදා තිබේ.මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙන එම චක්‍ර ලේඛනයට අනුව 2022 වසර සඳහා ආනයනය සඳහා අනුමැතිය ලබා දී තිබෙන්නේ අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වූ වාහන පමණකි. ඒ අනුව මහා භාණ්ඩාගාරය විසින් සිදු කරනු ලබන නිර්දේශයන්ට අනුව ට්‍රැක්ටර්, ට්‍රක් රථ, ගිලන් රථ, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වාහන සහ වෙනත් අත්‍යාවශ්‍ය වාහන පමණක් සීමා සහිත ලෙස ආනයනය කෙරෙනු ඇත.

නව චක්‍ර ලේඛනයත් සමඟ මෙරට වාහන ආනයනය සමඟ කටයුතු කරන වාහන ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවයට පත් ව ඇති අතර ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. මේ සම්බන්ධව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ජ්‍යේෂ්ඨ උප සභාපති චාරක පෙරේරාද සිය හඩ අවදි කළ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ මෙලෙස වාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණයත් සමඟ සිය කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක් වුණු බවයි. තම සංගමය සමඟ තිස් දහසකට වැඩි පිරිසක් සම්බන්ධව සිටියද පවතින වාතාවරණය තුළ ඉන් දස දහසකට වැඩි පිරිසක් ඉවත් වී ඇති බවද හෙතෙම සඳහන් කළේය. දැනට ක්‍රියාත්මක වාහන අලෙවි කරන ආයතන පවා ඉතා අසීරුවෙන් සිය මෙහෙයුම් පවත්වා ගෙන යන බවද විස්තර කළ චාරක පෙරේරා මහතා එම ආයතන වල සේවක සේවිකාවන්ගේ වැටුප් හා දීමනා ගෙවීමේදී මෙන්ම එම ව්‍යාපාර ආයතන ලබා ගත් බැංකු ණය ගෙවීමේදී ද බරපතළ ගැටලු රැසක් මතු වී ඇති බව සදහන් කළේය.

පවතින තත්ත්වය ඉතා ඉක්මනින් කළමනාකරණය කර ගත නොහැකි වුවහොත් වාහන ආනයනය හා සම්බන්ධව කටයුතු කරන ආයතන රැසක් ඉතා ඉක්මනින්ම වසා දැමීමට සිදු වනු ඇති බවත් ඉන් දහස් සංඛ්‍යාත පිරිසකට රැකියා අවස්ථා අහිමි වී යනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ජ්‍යේෂ්ඨ උප සභාපති චාරක පෙරේරා මෙරට විදේශ මුදල් සංචිතද නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් වාහන ආනයනය යම් නියාමනයක් යටතේ සිදු කිරීමට අවස්ථාව හිමි විය යුතු බවද පැහැදිලි කළේය.

සමහර ආර්ථික විශ්ලේශකයින් කරුණු නිසි ලෙස අවබෝධ කර නොගෙන මෙරටටට මෝටර් වාහන ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කෙරෙන බවට චෝදනා කළද 2019 වසරේ දී මෙරටට අලුත්ම brand new වාහන ආනයනය කිරීම සඳහා වැය වී ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 400ක් පමණක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වුවත් එම වසරේදී මෙරට සමස්ත ආනයන වියදම (ආනයනික සෑම ක්ෂේත්‍රයකටම අදාළව ) ඇමරිකන් ඩොලර් මිලියන දහසය දහසක් වී තිබේ. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතාද පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක් වූ අතර එහිදී ඔහු අවධාරණය කර සඳහන් කර සිටියේ සියලුම පාර්ශ්වයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ගැඹුරින් සොයා බලා සියල්ලන්ටම සාධාරණයක් වන පරිදි නැවතත් වාහන ආනයනය ක්‍රමානුකූලව සිදු කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවයි. රජයද අපහසුතාවයට පත් නොවන පරිදි මෙහිදී අනුගමනය කළ යුතු උපාය හා උපක්‍රම පිළිබදව තම සංගමය මේ වන විටත් රජය වෙත යොජනා ගණනාවක් ඉදිරිපත් කර ඇති බවද පැවසූ මෙරෙංචිගේ මහතා වාහන ආනයනය කර එම වාහන අලෙවි කරමින් සිය ජීවිකාව පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයින්ගෙන් 75% කටත් වඩා වැඩි පිරිසක් මේ වන විටත් බංකොළොත් වී අන්ත අසරණ වී ඇති බවද පැහැදිලි කළේය.දැනට පවතින තත්ත්වයට ඉක්මන් විසඳුම් ලබා දීමට නොහැකි වුවහොත් මෙරට වාහන ආනයන කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ලක් වනු ඇති බවද පැරණි වාහන වල මිල ගණන්ද අසීමාන්තික ලෙස ඉහළ ගොස් මෙරට ජනතාවට ඉදිරියේදී මිලදී ගැනීම සදහා සුදුසු වාහන හිඟ වනු ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මෝටර් වාහන ආනයනය තහනම පිටුපස සිටින ප්‍රධානතම පාර්ශ්වය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බවට බොහෝ පිරිසක් චෝදනා එල්ල කරන අතර අප ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින්ද අදහස් විමසුවෙමු.එහිදී "සිළුමිණ" සමඟ අදහස් දැක්වූ මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ මෙලෙස වාහන ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ තනි තීරණයක් නොව ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් වූ බවයි. මෙම තීරණය නිසා මෙරටින් විදේශ රටවලට ඇදී යාමට තිබුණු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වුණු බවද සඳහන් කළ එම ප්‍රකාශකයා තවමත් රට තුළ ආනයනය කරන ලද නවීන වාහන විශාල ප්‍රමාණයක් ඇති බවද ඉදිරි වසරක කාලය තුළදීද මෙරට ජනතාවගේ වාහන අවශ්‍යතාව සපුරා ලීමට එම වාහන වලට හැකියාව ඇති බවද සඳහන් කළේය.

Comments