රට­වල් 76 ක් පැරදු ලංකාවේ සුමදු | සිළුමිණ

රට­වල් 76 ක් පැරදු ලංකාවේ සුමදු

 

 

ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය මෙවර පැවැත්වූවේ 32 වැනි වරටය.ඒ පෘතුගාලයේ ලිස්බන් නුවරදීය. මෙම තරගාවලිය පසුගිය 18 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලයේදී කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පෘතුගාලයේ සිට Online විභාගයක් ලෙස පැවැත්විණි. මේ සඳහා රටවල් 76ක් නියෝජනය කරමින් තරගකරුවන් 304 දෙනකු සහභාගි වූහ. මෙම තරගාවලියේදී කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සුමදු සේනාධීර ශිෂ්‍යාව ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්නාය.

 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ තරගකරුවන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික විභාග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ඉකුත් ජූලි 19 සහ 21 දිනවල පැවැත්විණි.

ඒ සඳහා දිවයිනේ විවිධ පාසල් නියෝජනය කරමින් පසුගිය වසරේ පැවැති අපොස උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටි සිසු සිසුවියන් දොළොස් දෙනකු තෝරාගෙන තිබිණි. ඔවුන් අතරින් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සුමදු සේනාධීර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මෙත්මා විජේසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ පමෝද පෙරේරා සහ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ රුවිනි නිවර්තනා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූහ.

උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් සියලු ම විෂයයන් සඳහා “ඒ“ සාමාර්ථ හිමිකර ගත් සුමදු සේනාධීර එම අංශයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හා සමස්ත ලංකා 21 වැනි ස්ථානය ලබාගෙන ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්ය සුදන්ත සේනාධීර සහ කෑගල්ල දිස්ත්‍රික් ක්ෂය රෝග මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරි ධනෝජා පුණ්‍යසෝමගේ එකම දියණිය වන ඇය තම දෙමාපියන් සමඟ කෑගල්ල බෙලිගල පදිංචිව සිටින්නීය. ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් අනතුරුව අප ඇයගේ නිවසේදී පිළිසඳරේ යෙදුනෙමු.

“මම ඉපදුනේ 2001 වසරේ සැප්තැම්බර් 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ. පළමුවෙනි පන්තියේ සිට උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ. පහ ‍ෙශ්‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මම ලකුණු 173ක් ලබාගෙන සමත් වුණා. 2017 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයේදීත් “ඒ“ සාමාර්ථ නවයක් ලබාගෙන මම දිස්ත්‍රික් ප්‍රථමයා වුණා. හයවෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම මම අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

ප්‍රාථමික අංශයේ සිටම විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේත්, පාසලේ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක ලෙසත් මම විෂය බාහිර කටයුතුවලට සම්බන්ධ වුණා. ඉංග්‍රීසි භාෂා දින තරග, විවාද තරගවලින් ජයග්‍රහණය කළා. පාසලෙන් ඉදිරිපත් කළ සමස්ත ලංකා දෙවන ස්ථානය දිනාගත් ඉංග්‍රීසි නාට්‍යයකත් රඟපෑවා. පාසලේ ඉංග්‍රීසි නිවේදන කටයුතු කළා.ඉංග්‍රීසි මාධ්‍ය සංගමයට ඡායාරූප සංගමයට සම්බන්ධව ක්‍රියා කළා.

සුමදු මව හා පියා සහ විදුහල්පති මල්ලිකා රණසිංහ සමඟ

මම ප්‍රාථමික පන්තිවලදී ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් ගණිත තරගවලටත් සහභාගි වුණා. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන අතරතුර පාසලෙන් ලබා දුන් අවස්ථාව මත මෙම තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට මට අවස්ථාව ලැබුණා. ඒ සඳහා අවස්ථාව ලබාදුන් මල්ලිකා රණසිංහ විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනා මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා.“

මෙම තරගාවලිය සඳහා ලංකාවෙන්ම තෝරාගත් සිසුන් දොළොස්දෙනා අතරින් අවසන් වටයට තෝරාගත් සිසුන් හතර දෙනා අතරින්ද වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ඇය විසිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර ඇතුළු මහාචාර්යවරුන්ගේ මගපෙන්වීම ඔවුන්ට ලැබී තිබිණි. ශ්‍රී ජයවර්ධනපුර,කොළඔ හා කැලණිය විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ද මේ තරගය සඳහා අවශ්‍ය පුහුණුව මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඔවුන්ට ලබාදී ඇත.

“පෘතුගාලයේ ලිස්බන් නුවර පැවැති මෙම තරගයට අපට පෘතුගාලයට යාමට තිබූ අවස්ථාව නම් කොරෝනා නිසා නැති වුණා. විභාග සියල්ලම පැවැත්වුණේ මාර්ගගත ක්‍රමයට. තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරාගත් අපත් එකිනෙකා හමුවී නැහැ. විදේශීය තරගකරුවන් හමුවුණෙත් Zoom තාක්ෂණය ඔස්සේ.

රටවල් 76ක් මෙවර තරගාවලියට සහභාගි වුණා. එක් රටකින් දෙදෙනෙක්, තුන්දෙනෙක් හෝ හතරදෙනා බැගින් හෝ සමහර විට ඊටත් වඩා වැඩි තරගකරුවන් පිරිසක් ලෙස 304 දෙනෙක් සහභාගි වුණා.වෙනත් වසරවල රටවල් 42ත් 55ත් අතර රටවල් සංඛ්‍යාවක් තමයි ඊට සහභාගිවී තිබුණේ. Online නිසා තරගකාරිත්වය වැඩි වුණා.

මෙම තරගාවලියට සමගාමීව දෙනු ලබන මාතෘකාවක් ඔස්සේ චිත්‍ර,ඡායරූප හෝ වීඩියෝ තරගයක්ද තිබුණා. එහිදී මම ඉදිරිපත් කළ ඡායාරූපයකට ද ජයග්‍රහණයක් හිමි වුණා. පාසලේ ඡායරුප සංගමයේ අත්දැකීම් මේ සඳහා ඝෘජුවම බලපෑවා. මගේ එකම විනෝදාංශය පොත් කියවීමයි. ඒ හරහා ලබාගෙන තිබූ දැනුමද උපයෝගී කරගනිමින් ඡායාරූපයට හැඳින්වීමක් ලියුවා. “

මෙවැනි දක්ෂතා රැසකින් සමන්විත ඇයගේ ඉදිරි අපේක්ෂා පිළිබඳව ද අපි විමසුවෙමු.

“මෙම තරගයේ මගේ ජයග්‍රහණය වෙනුවෙන් වූ ලෝකඩ පදක්කම පෘතුගාලයේ සිට මට ලැබෙන්න තව මාසයක් දෙකක් ගත වෙයි. රට වෙනුවෙන් මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව මට සතුටුයි. කෑගල්ල නගරයේ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබෙන්නේ මගේ පාසලේ සහ ශාන්ත මරියා විද්‍යාලයේ පමණයි.

හය ශ්‍රේණියේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට මට අවස්ථාව උදා වීම මෙම තරගයේ ජයග්‍රහණයටත් එක් හේතුවක් වුණා. බොහෝ විෂය කරුණු අඩංගු පොත්පත් තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා වෛද්‍යවරියක වී අනුක ජීව විද්‍යා අංශයෙන් වැඩිදුර හදාරා මිනිසුන් වෙනුවෙන් යමක් සිදු කිරීම මගේ අනාගත බලාපොරොත්තුවයි. හැබැයි ඒ වෙනුවෙන් ලංකාවෙන් පිටරටකට යනවාද නැද්ද කියලා නම් කියන්න බැහැ.“

“පාසල් දරුවන් සඳහා විවිධ තරග ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙනවා. මීට වඩා ජයග්‍රහණ අරගෙන එන්න පාසල් යන නංගිලාට මල්ලිලාට ඒවාට ඉදිරිපත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ තරග ගැන ඇත්තටම අපේ දැනුවත්වීම අවබෝධය මදි.

දරුවන්ගේ දක්ෂතාවලට කුඩා කාලයේ සිටම ඔවුන්ගේ දෙමාපියන්ගේ දායකත්වයද අනිවාර්ය වන්නකි. කාර්යබහුල දෙමාපියන් ලෙස තම එකම දරුවාගේ කටයුතු සඳහා කාලය වෙන්කර ගැනීම හා සුමදු ගේ ළමා කාලය පිළිබඳ ඇයගේ මව වන වෛද්‍ය ධනෝජා පුණ්‍යසෝම පවසන්නේ මෙබන්දකි.

“දරුවකුගේ ශරීර වර්ධනය මෙන්ම මානසික වර්ධනයට මව්කිරි දීම ඉතාම වැදගත්. පෝෂණීය ආහාර වේලක් ලබාදීමත් දරුවාට නිර්මාණශීලී පරිසරයක වැඩෙන්න අවස්ථාව ලබාදීමත් ඉතා අවශ්‍යයි. වුවමනාවක් තිබෙනවානම් ඕනෑම කෙනෙකුට වෙලාව ප්‍රශ්නයක් වන්නේ නැහැ. කෙතරම් කාර්ය බහුල වුණත් අපි දෙදෙනාගෙන් කෙනෙක් හැමවිටම දුව සමඟ හිටියා. පොඩි කාලේ සිටම එයාගේ අත්දැකීම් බෙදා ගත්තා.

මමත් මගේ සැමියාත් දෙදෙනාම උසස් පෙළ විද්‍යා විෂයයන් හැදෑරූ අය.අපි ගමනක් යනවිටත් දුව සමහර විෂය කරුණු අපි සමඟ සාකච්ඡා කරනවා.

සුමදු ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මෙම ජයග්‍රණයට මහත් පිටිවහලක්වූ බව නොරහසකි. ඇගේ පියා වන සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්ය සුදන්ත සේනාධිර ද අප හා කතාබහට එක්විය.

“දුවට මෙම තරගයේදී ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳ ප්‍රශ්නයක් මතුවූවේ නැහැ. එයා හුඟාක් පොත්පත් කියවනවා. එයාගේ දැනුම ගොඩාක් ඉහළයි. ලෝකය සමඟ ඉදිරියට යාමට ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගෙනගත යුතුයි. ඉංග්‍රීසි පුළුවන් නම් අන්තර්ජාලයෙන් බොහෝ කරුණු ඉගෙනීමට අවස්ථාව තිබෙනවා.“

 

Comments