කොරි­යාවේ ‘සියොල්’ නුවර දස වද විඳි ළඳ | සිළුමිණ

කොරි­යාවේ ‘සියොල්’ නුවර දස වද විඳි ළඳ

 

රුසියානු ලේඛක පියදෝර් දොස්තයෙවිස්කි ගේ අපරාධය හා දඬුවම (Crime and Punishment කෘතියේ අපරාධකරු වූ ‘රස්කොල්නිකොව්’ තම කුඩම්මාගේ දරුවන් පෝෂණය කිරීමට ගණිකාවක ලෙස කටයුතු කරන ‘සෝනියා’ ඉදිරියේ දණින් වැටී, ඇගේ පා සිඹ මෙසේ පවසයි.

“මා වැඳ වැටෙන්නේ ඔබට නොව ඔබේ වෙසින් දුක් විඳින මිනිසත් බවටයි.”

ප්‍රබන්ධයකදී සඳහන් වන මෙම කරුණ සිහිගන්වන සැබෑ සිදුවීමක් දකුණු කොරියාවේ ‘සියොල්’ නුවරින් වාර්තා විය. එනම් 1941 සිට දෙවන ලෝක යුද්ධය නිමාවන තෙක් ජපන් රාජකීය හමුදාවේ සෙබළුන්ගේ ලිංගික වහලියක (sx.sl) ලෙස කටයුතු කිරීමට සිදු වූ කිමිබොක්-ඩොංග් (Kim Bok - dong) ගේ මෘත දේහය ඉදිරියේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි-ඉන් (Moon Jai-in) දණ ගසා වැඳ වැටීමයි. මේ ඇයගේ ශෝචනීය කතාවයි.

කිමි බොක් - ඩොංග් (1926.04.19-2019.01.28) දකුණු කොරියාවේ ග්යොංනාමි (Gyeongnam) හි යැංග්සාන් (Yangsan) ග්‍රාමයේ දියණියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක සිවුවැනියාව උපත ලැබීය. ඇය කුඩා කල දෙමව්පියන් ධනවත් වුවත්, ඇයට අවුරුදු 08 ක් වන විට පියා මියගිය නිසා ආර්ථිකයද කඩාවැටී ඇගේ අධ්‍යාපන කටයුතුද අතරමග නතර කිරීමට සිදුවිය. මේ දුෂ්කර අවධියේ වැඩිමහල් සොයුරියන් තිදෙනාම විවාහව පිටව ගොස් ඇත. 1941 වන විට කිම් බොක් ඩොංග් අවුරුදු 14 ක හැඩකාර නව යොවුන් යුවතියකි. එවකට කොරියාව ජපන් අධිරාජ්‍යයට නතුව තිබුණකි. ඒ අනුව ඇගේ නිවසට පැමිණි ජපන් බලධාරින් දුවනිය හමුදා නිල ඇඳුම් කර්මාන්තශාලාවක සේවයට යා යුතුයයිද, ඊට අකමැති වීම රාජද්‍රෝහී ක්‍රියාවක් යයිද බිය ගන්වා, ව්‍යාජ ලියවිල්ලකටද අත්සන් ලබාගෙන වංචනික ලෙස මව රවටා ඇය රැගෙන යන ලදී.

එහෙත් සැබවින්ම සිදු වූයේ කුමක්ද? එවකට ජපන් යටත් විජිතයක් වූ චීනයේ ගුවන් ඩොංග්, හොංකොං, සිංගප්පූරුව, ඉන්දුනීසියාව හා මැලේසියාව යන රටවල රැඳී සිටි ජපන් සෙබළුන්ගේ ලිංගික වහලියක් ලෙස කටයුතු කිරීමට කිමි බොක්-ඩොං ට සිදුවීමය. 1930 සිට දෙවන ලෝක යුද්ධය නිමාවන තෙක් ජපන් හමුදාව මෙසේ ලිංගික වහලියන් ලෙස ඔවුන්ගේ යටත් විජිතයන්ගෙන් බඳවා ගත් අවුරුදු 10-18 දක්වා වූ යුවතියන්ගේ සංඛ්‍යාව හාරලක්‍ෂ දසදහස ඉක්මවා ඇත. ඉන් 52 ක්ම කොරියානු යුවතියන් විය. යුද්ධයකදී ජපන් සෙබළුන්ගේ ශාරීරික සෞඛ්‍ය තීරණාත්මක සාධකයක් ලෙස සැලකූ ජපන් නිලධාරින් මෙම යුවතියන් ‘සනසන ගැහැනු’ (comfort women) නමින් හැඳින්වූ හමුදා සංචිතයක් පිහිටුවා ඒ යටතේ රඳවන ලදී. මෙම යුවතියන්ගේ සේවය හැම දිනකම, විශේෂයෙන් ඉරිදා දිනවල උදේ 8 සිට සවස 5 දක්වා ජපන් හමුදා සෙබළුන් විසින් ලබාගන්නා ලදී. ආත්මීය බැඳීමකින් තොරව අඛණ්ඩව නන්නාඳුනන පිරිමින් සිය ගණනක් සමඟ සිදුකිරීමට බලකෙරුණු මෙම ‘රාජකාරිය’ රොබෝවකු ලෙසින් විඳදරා ගැනීමට සිදුවීම, සියුමැලි ළඳකට කෙසේ නම් ඔරොත්තු දෙන කරුණක් විය හැකිද?

දෛනිකව, අඛණ්ඩව සිදු වූ මෙම දුෂ්කර පීඩාකාරි තත්වය විඳදරා ගත නොහැති වූ ඇය තවත් තරුණියන් දෙදෙනකුද සමඟ සිහිසුන්වන ලෙස මධ්‍යසාර පානය කොට දිවි නසා ගැනීමටද වරක් උත්සාහ කර ඇත. එහෙත් එම තරුණියන් රෝහල් ගත කරන ලදුව දින 10 කට පසුව යළි ප්‍රකෘති තත්වයට පත් වූහ. සුවය ලැබීමෙන් පසුව කිම් බොක් - ඩොංග්, කිසියම් දිනක මෙම ලිංගික සූරාකෑම ලොවට හෙළිකිරීමට තමා ජීවත් විය යුතු බවට අධිෂ්ඨාන කරගති. තමාගේ පියා ජීවත්ව සිටියේ නම් තමා අසරණව මෙසේ පැහැරගෙන යාමට ඉඩ නොලැබෙන බවද, කඳුළු සලා හදවතින් නැඟෙන ඉකිබිඳුම සඟවා ගන්නවා හැරෙන්නට කළ හැකි කිසිවක්ව නොමැති බවද ඇයට පසක් විය.

දෙවන ලෝක යුද්ධයෙන් පරාජයට පත් ජපානය 1947 වසරේදි අවුරුදු 8 කට පසුව ඇය නැවත නිවසට ගෙන ගොස් මවට භාරදීමට කටයුතු කර ඇත. ඒ වනවිටත් ඇගේ වයස අවුරුදු 21 ක් පමණි. දැන් විවාහවීමට සුදුසු කාලය යැයි ඇගේ මව කීවේ මේ කිසිවක් නොදැනය. එවිට සිදු වූ සියලු ව්‍යසනයන් ඇය මවට හෙළි කළාය. මෙයින් මහත් සේ ශෝකයටත් කම්පනයටත් පත් වූ මව හෘදයාබාධයක් වැලඳී හදිසියේ මිය ගොස් ඇත. පසුව ඇය වැඩිමහල් සොයුරිය සිටි බුසාන වෙත ගොස් ආපන ශාලාවක් සාර්ථකව පවත්වාගෙන ගොස් ඇත. තමා විඳි කායික හා මානසික වදයෙන් මිඳීමට නිරන්තරව බෞද්ධ ආරාම ඇසුරේ ගත කළාය. සිතුවම් ඇඳීමටද යොමුවිය. මෙයින් ඇය බලාපොරොත්තු වූ එකම දෙය තම ඔද්දල් වූ සිතට යම් මානසික සහනයකි. පසුව ඇයට හමු වූ කෙනෙකු සමඟ මිතුරුව විවාහ දිවියටද එළැඹුනි. ඇය ඉතාමත් ප්‍රඥාගෝචර ලෙස අතීත තොරතුරු කිසිවක් සැමියාට නොකීමටත් දරුඵල අහිමිවීම ප්‍රශ්නයක් කර නොගැනීමටත් වග බලාගත්තාය. කලක් ගත වී ඇයගේ ස්වාමිපුරුෂයා මිය යාමෙන් පසු මෙතෙක් තමා වසන් කර ගෙන සිටි යුධ සමයේ ජපන් රාජකීය හමුදාවෙන් සිදු වූ ලිංගික වහල් සේවයේ පිළිකුල් සහගත ක්‍රෑරත්වය ගැන කොරියානු පුවත්පතකට හෙළි කළාය. බුදු දහමින් ශික්‍ෂණය ලැබූ දකුණු කොරියානු සමාජයට මෙය මහත් වේදනාකාරි එමෙන්ම අභිමානයට හානිකර වූ කරුණක් විය. තමා මෙන්ම ලිංගික හිංසනයට ගොදුරු වූ කිමි හක්-සන් (Kim Hak sun) සමඟ එකතුව කාන්තාවන් වශයෙන් තමන් විඳි වද වේදනා හා දුක් ගැහැට පිළිබඳ විස්තර සමාජයට මුදා හැරියාය. ඇය රට වෙනුවෙන් අධිරාජ්‍යවාදයට එරෙහිවත් කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් හා දකුණු කොරියාව තුළ මිත්‍රශීලි සහයෝගිතාවය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරන ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක්ද විය. ඇය, ජපන් රජය රාජ්‍ය තාන්ත්‍රිකව සමාව ගැනීම, ඊට සාධාරණ වන්දියක් ලබාගැනීම හා “සනසන ගැහැනු” පිළිබඳ ජපන් ඉතිහාස පොත්වල සඳහනක් කිරීම යන කරුණු ත්‍රිත්වය ජපන් රජය වෙත ඉදිරිපත් කළාය. එසේම අනිකුත් ‘සනසන ගැහැනු’ සංචිතයේ සිටි අයද මෙම උද්ඝෝෂණ සඳහා ඒකරාශී කර ගත්තාය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ජපන් රජය දකුණු කොරියානු වින්දිතයන් සඳහා යෙන් බිලියනයක් කොරියානු ගිණුමක තැන්පත් කළේය. ඇය ‘වියානා’ හි ලෝක මානව හිමිකම් සමුළුවට ද සහභාගි වී මෙම නින්දිත අවමන් සහගත ලිංගික සූරාකෑම ගැන සියලු තතු හෙළි කර විවිධ රටවල්ද දැනුම්වත් කළාය. ජපානය ප්‍රදානය කළ වන්දි මුදල් ගිණුම දකුණු කොරියානු රජය 2015 දී නිෂ්ක්‍රිය කරන ලද පසු එතැන් පටන් 2018 වර්ෂය තෙක් හැම බදාදාවකට ජපන් තානාපති කාර්යාලය ඉදිරිපිට අනෙකුත් ශේෂව සිටි වින්දිතයන් හා ජනතාවද සමඟ එක්ව “ජපන් රජය සමාව ගත යුතුය” යි උද්ඝෝෂණය කළාය. මෙය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නොව ලක්‍ෂ සංඛ්‍යාත කොරියානු කතුන්ගේ ජීවිත හා ඔවුන්ගේ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවත් තවමත් එවන් කතුන් 21 දෙනෙකු ජීවත්ව සිටින බැවින් ජපන් රජය රාජ්‍ය තාන්ත්‍රිකව සමාව ගත යුතු බවටත්, වන්දි මුදල් ලබා දිය යුතු බවටත් රජයද කරුණු ඉදිරිපත් කරන ලදී. වන්දි මුදල් ප්‍රදානය කිරීමෙන් සමාව ගැනීමක් සිදු වී ඇතැයි සඳහන් කළ ජපන් රජය නිහඬ විය.

කිමි බොක් - ඩොංග් හා ගිල් ඔන් - ඔක් එක්ව දෙවන ලෝක යුද සමයේ දූෂණයට ලක් වූ හා බලහත්කාරයෙන් ලිංගික හිංසනයට ගොදුරු කළ ‘සනසන ගැහැණු’ වෙනුවෙන් පමණක් නොව ලොව පුරා වෙසෙන ලිංගික වින්දිතයන් වෙනුවෙන් සමනල අරමුදල The Butterfly Fund නමින් ගිණුමක් ස්ථාපිත කරන ලදී. මෙම නම ඊට යෙදීමට හේතුවූයේ සිර වී සිටි කෝෂයෙන් නික්මෙන ලස්සන සමනලුන් මෙන් පීඩාකාරි, දුක්බර අතීතයෙන් මිදුන අයගේ සංවිධානයක් ලෙස සලකාගෙනය. පුද්ගලික මූල්‍ය පරිත්‍යාගවලින් ඇරඹූ මෙම අරමුදලට පසුව විශාල වශයෙන් මුදල් ආධාර ලැබී ඇත. මෙහි ප්‍රථම පරිත්‍යාගය කළේ තමා මෙන් පීඩාවට ලක් වූ ගැහැනුන් වෙනුවෙන් නිවස්නයක් පවත්වාගෙන යන ‘රෙබෙකා මසිකා කට්සුවා’ වෙතය. එපමණක් නොව වෙනත් රටවල ලිංගික වින්දිතයන්ට මෙන්ම 1964-1973 කාලය තුළ වියට්නාම් යුද්ධයේදී දකුණු කොරියානු සොල්දාදුවන් අතින් දූෂණයට ලක් වූ වියට්නාම් කතුනටද මෙම අරමුදලින් මුදල් ප්‍රදානයන් කරන ලදී.

2019.01.28 දින කිම් බොක්-ඩොංග් අවුරුදු 92 ක් ආයු වලඳා රජයේ රෝහලකදී මිය ගියාය. එරට ජනාධිපති මූන් ජායි-ඉන් ඇයගේ දේහය ඉදිරිපිට දණ ගසා වැඳ, මුළු මහත් ජාතියේම ගෞරවනීය ආචාරය පුද කළේ ඒ අවස්ථාවේදීය.

“ඔබ අභීතව ඉදිරියට පැමිණ ඉතිහාසයෙන් වැළලී යාමට ඉඩ තිබූ මෙම සාපරාධි, නින්දිත ක්‍රියාව ලොවට හෙළි කළා. එහෙත් ඔබට සිදු කළ අවමානයට, අසාධාරණයට නිසි වන්දියක් නොලබාම විසඳුමකින් තොරවම ඔබ අපගෙන් සමුගෙන නික්ම යාම පිළිබඳව අපගේ සාතිශය සංවේගය පුදකරන්නෙමු.”

තම රට ජපන් අධිරාජ්‍යයට නතුවීම නිසා පැහැරගෙන යනු ලැබ, ජපන් යුද භටයන් අතින් ‘සනසන ගැහැනියක’ ලෙස ලිංගික හිංසනයට ලක්ව දුක්විඳි ඒ අසරණ ගැහැනියට දකුණු කොරියානු ජනතාව සමුදුන්නේ එලෙසිනි.

 

Comments