දහමේ නොපමා වන්න | සිළුමිණ

දහමේ නොපමා වන්න

 

ඒ ශිෂ්‍යයා තක්ෂිලා නුවර අධ්‍යාපන ආයතනයෙන් සියලු සිප් සතර හදාරා, ආපසු ගමට එමින් සිටියේ ය.

ඔහු යා යුත්තේ සිය මාපියන් සිටින අවන්ති රටට ය. ඒ රටේ බමුණු පවුලක උපන් ඔහු ධම්මපාල නම් විය.

ධම්මපාල කුමරු අතරමග දී රමණීය විහාරයක් දුටුවේ ය. එහි එක් භික්ෂුවක් දහම් දෙසමින් සිටියේ ය.

ඒ වන විට බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා කලක් ගත වී තිබිණ. ඒ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැනත්, උන්වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳවත් වදාළහ. ධම්මපාල කුමරු ගේ සිත බුදු සසුනේ පැහැදිණ.

ගමට යෑම අමතක කළ ඔහු පැවිදි විය.

ධම්මපාල හිමියෝ විදසුන් වඩා ෂඩ් අභිඥාලාභි රහතන් වහන්සේ නමක් බවට පත් වූහ.

උන්වහන්සේට දිනක් ගඟ අද්දර ගසක මුඳුනේ මල් නෙළන සාමණේර භික්ෂූන් දෙනමක දක්නට ලැබිණ. එක් සාමණේර භික්ෂුවක සිටි අත්ත කඩාවැටෙණු ධම්මපාල හිමියන්ට පෙනිණ. උන්වහන්සේ ඍද්ධි බලයෙන් වහා ම ඒ සාමණේරයන් අතට ගත්හ. නිරුපද්‍රිතව බිම තැබූහ. ඉන්පසු ඒ දෙනමට මෙසේ අවවාද කළහ.

“අවිද්‍යාව නමැති නින්දේ වැටුණු බොහෝ දෙනා අතර නොනිදා සිටිමින්, ශ්‍රද්ධාවෙන්, සීලයෙන් යුක්තව යම් තරුණ භික්ෂුවක් වයසට ගොස් ධර්මය අවබෝධ කරමියි නොසිතා අප්‍රමාදව ශාසනයේ ප්‍රතිපත්ති පුරනවා නම් උන්වහන්සේ හිස් නොවූ, වඳ නොවූ ජීවිතයකට උරුමකම් කියනවා.

“උන්වහන්සේ කර්මඵල අදහන ශ්‍රද්ධාවෙන් යුක්තයි. ශ්‍රද්ධාව හා බැඳුණු ශීලයෙන් යුක්තයි; චතු පාරිශුද්ධි ශීලයෙන් යුක්තයි. බුද්ධ - ධම්ම - සංඝ තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. විදර්ශනා ඥාන දියුණුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමේ හැකියාවෙන් යුක්තයි; බුදුන්ගේ අනුශාසනා අනුව යමින් මැදුම් පිළිවෙතේ යෙදෙනවා. වීර්යයෙන් යුතුව නිවන සඳහා වෙහෙසෙනවා.“

ඒ අවවාද අනුව හැඩගැසුණු සාමණේර භික්ෂූහු විදර්ශනා භාවනා මාර්ගයට වැටුණහ.

පසු කලෙක ධම්මපාල රහතන් වහන්සේ සිය උදානය පළ කළේ ඒ හිමිවරුන්ට දුන් අවවාද ඇතුළත් කරමිනි.

අවිඳු නින්දේ නිදන්නන් මැද

සැදැහැයෙන් නොනිදා සිටි

තුරුණු හිමි නොපමාය දහමෙහි

ඔහුගෙ දිවි මඟ හිස් නොවේ.

නැණැති හිමිසඳ බුදුන් ඔවදන්

සිහි තබා සැඳැ සිල් වඩයි.

තුනුරුවන් පැහැදුමේ සිව්සස්

දහම් දැකුමේ වෙහෙස වෙයි.

 

Comments