
ජනප්‍රිය බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිගේ සැමියා වන, ප්‍රකට ව්‍යාපාරික රාජ් කුන්ද්රා අසභ්‍ය විඩියෝ ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම මේ දිනවල ඉන්දීය මාධ්‍ය ඔස්සේ විශාල අවධානයක් දිනා ගත් පුවතක්. මෙය පසුගිය දිනවල අන්තර්ජාතික මාධ්‍ය තුළ පවා කතාබහට ලක් ව තිබෙනු දැකිය හැකි වුණා. බොහෝ දෙනකු තුළ කුතුහලයක් ඇති කර තිබූ කාරණයක් ව තිබුණේ මෙම ජාවාරමට ශිල්පා ෂෙට්ටිත් සම්බන්ධ ද යන්නයි.
ඉහත කී ජාවාරමට යොදාගෙන තිබූ තරුණියන් ඒ සඳහා පොලඹවාගෙන තිබුණේ ඔවුන්ට සිනමාවේ සහ රූපවාහිනියේ අවස්ථා උදා කරදෙන බව පවසමින්. මේ නිසා ශිල්පාත් මෙයට සම්බන්ධ ද යන සැකය ඇතැමුන් තුළ ඇති වීම පුදුමයක් නොවෙයි. රඟපෑම සඳහා වරම් ලබා දෙන බව පවසමින් පළ කරන ලද දැන්වීම් හරහා යි මෙම තරුණියන් සොයාගෙන ඇත්තේ. ඔවුන් යොදාගෙන රූපගත කරන ලද විඩියෝ දර්ශන ඉන් පසු එක්තරා ජංගම යෙදවුමක් (App එකක්) හරහා බෙදා හැර ඇති බව පැවසුණා. මෙය ලන්ඩන් නුවර පිහිටි සමාගමකට අයත් යෙදවුමක් බවයි වාර්තා වෙන්නේ.
කෙසේ නමුත් පසුගිය දිනවල මුම්බායි පොලිසිය පවසා තිබුණේ ඔවුන් මෙතෙක් කර ඇති විමර්ශනවලට අනුව ශිල්පා ෂෙට්ටි මෙයට සම්බන්ධ බවක් නොපෙනෙන බවයි. එසේ වුවත් පොලිසිය මේ සම්බන්ධයෙන් ශිල්පාගෙන් ද ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබුණා. එහි දී ඇය පවසා ඇත්තේ ඉහත කී ජංගම දුරකතන යෙදවුමේ අන්තර්ගත වන විඩියෝ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.
අත්අඩංගුවට ගෙන සිටින තම සැමියා නිර්දෝෂී බව ද ඇය පැවසූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා. එමෙන් ම අසභ්‍ය නිර්මාණ සහ ශෘංගාරාත්මක නිර්මාණ අතර වෙනසක් ඇති බවක් ද ඇය පවසා තිබුණු බව සඳහන්. රාජ් කුන්ද්රා අසභ්‍ය විඩියෝ නිෂ්පාදනයට කිසිසේත් සම්බන්ධ නැති බවක් ද ශිල්පා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණා. ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ ඉහත කී ජංගම දුරකතන යෙදවුමෙහි කටයුතු මෙහෙයවන ලද්දේ ලන්ඩනයේ වෙසෙන, රාජ්ගේ මස්සිනා කෙනකු වන ප්‍රදීප් භක්ෂි නම් පුද්ගලයා විසින් බවයි.
කෙසේ වෙතත් පොලිසිය සිතන්නේ 45 හැවිරිදි රාජ් කුන්ද්රා මෙම ජාවාරමේ මහ මොළකරුවකු බවයි. මෙම විඩියෝ ප්‍රදර්ශනය කළ ජංගම යෙදවුම්වලට ග්‍රාහකයන් (subscribers) ලක්‍ෂ හතරක පමණ සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටි බවත්, ඔවුන් මාසයකට ඉන්දීය රුපියල් 200-400 (ලංකා රුපියල් 530-1070 අතර) මුදලක් ගෙවා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
රාජ් කුන්ද්රා පසුගිය 20 වැනි දින පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ මුම්බායිහි පිහිටි ඔහුගේ සුවිසල් නිවහනේ සිටියදී යි. යම් හෙයකින් ඔහු මෙම චෝදනාවලට වැරදිකරු වුව හොත් උපරිම වශයෙන් වසර හතක සිර දඬුවමකට යටත් කළ හැකියි.
රාජ් කුන්ද්රා සහ ශිල්පා ෂෙට්ටි විවාහ වුණේ 2009 වසරේ යි. ශිල්පා සමඟ විවාහය රාජ් ගේ දෙවැනි විවාහය යි. ඊට පෙර ඔහු කවිතා නම් කාන්තාවක සමඟ විවාහ වී සිටියා. එම විවාහයෙන් ඔහුට දියණියක ද සිටිනවා. 2009 වසරේ රාජ් කවිතා ගෙන් දික්කසාද වූ අතර එම වසරේ ම ශිල්පා සමඟ යුග දිවියට එළැඹුණා. එම විවාහයෙන් ඔවුන්ට වියාන් නමින් පුතකුත්, සමීෂා නමින් දියණියකුත් සිටිනවා. පුතාගේ වයස මේ වනවිට අවුරුදු 9 ක් වන අතර දියණිය උපන්නේ පසුගිය වසරේ යි. ඇය උපන්නේ අන්වාදේශ (surrogacy) ක්‍රමයට යි. එනම් කලලය වෙනත් කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කිරීම හරහා යි. එයට හේතු වුණේ ඒ වනවිට ශිල්පා කිහිප වරක් ගබ්සාවීම්වලට ලක්ව සිටීම යි. රාජ් සහ ශිල්පා ඉතා ප්‍රීතිමක් විවාහ ජීවිතයක් ගත කළ බවයි පැවසෙන්නේ.
මුදල් හදල් අතින්ද ඔවුන් ට කිසි අඩුවක් නැහැ. මුම්බායිහි වෙරළාසන්න ප්‍රදේශයක ඉතා විශාල සුඛෝපභෝගී නිවෙසක් ඔවුන් සතුවන අතර ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි පිහිටි බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලේ ද ඔවුන් සතු නිවෙසක් ඇති බව සඳහන්. ඊට අමතරව ලන්ඩන් නුවර ද ඔවුන්ට නිවෙසක් තිබෙනවා. මිල අධික වාහන ඇතුළු සියලු සැප සම්පත්වලින් අනූන ජීවිතයක් ඔවුන් ගත කරන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, දැන් එල්ල වී ඇති අසභ්‍ය විඩියෝ ජාවාරම පිළිබඳ චෝදනාව ඔවුන් ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.