අපූ­ර්ව­තම ගීත රැස­ක­ට ජන්ම දායා­දය ලබා දුන් අපූරු මිනිසා | සිළුමිණ

අපූ­ර්ව­තම ගීත රැස­ක­ට ජන්ම දායා­දය ලබා දුන් අපූරු මිනිසා

 

 

සත් විසි වසක් පුරා කැලණිය ගුරුකුල විද්‍යාලයේ උසස් පෙළ සිසුන්ට සිංහල විෂය තොල ගෑවූ එක් නිහතමානී ගුරුවරයෙක් විය. දිගු කාලීන සේවයකට පසු කැලණිය ගුරු කුලයෙහි කලා අංශයෙහි ප්‍රධානියා වශයෙන් විශ්‍රාම ලැබූ මේ අපූරු ගුරු පිතෘවරයා භාෂාව සාහිත්‍ය ඇසුරේ සිටි තවත් එක් සාමාන්‍ය ගුරුවරයකු නොවන්නේ ඔහුගේ අතින් ලියැවුණු සොඳුරු සිංහල වචන, සිංහල ගීත ශ්‍රාවකයන් දහස් ගණනකගේ හදවත්වල තැන්පත් කරන්නට තරම් සුමට සහ සෞන්දර්යාත්මක වූ නිසාය. අමරසේන කංකානම්ගේ නම් වූ ඒ අපූරු සිංහල ඇදුරුතුමන්ගේ අතින් ලියැවුණු ගීත රාශියක් අදත් සිංහල ගීත රස විඳින හදවත් රසාලිප්ත ඉසව්වක් වෙත රැගෙන යයි.

 

‘නිල් නුවන් පෙඟෙන අඳුර ගලා‘, ‘රජ්ජුරුවෝ උඩයි උඩයි‘, ‘පින්න මලේ සුද‘ ආදී ගීත රැසක් ගීත සාහිත්‍යයට තිළිණ කර ජීවන ගමන් මගේ හැත්තෑ නව වසක් පැමිණි ගමන නිමා කර අමරසේන කංකානම්ගේ නමැති ඒ අපූරු සාහිත්‍යය ගුරුවරයා, ගී පද රචකයා ජීවන ගමන නිමා කළේය.

දකුණු පළාතේ මාතර අපරැක්කේ උපන් අමරසේන කංකානම්ගේ හැදී වැඩුණේ කලාවෙන් පරිපූර්ණ වූ ගැමි පරිසරයකය. පන්සලේ පින්කම් පොළෙහි රඟ දැක්වූ නාටකවල ගයමින් රඟමින් ගෙවූ කාලයේ ඔහු වරෙක සඳකිඳුරු නාටකයේ කිඳුරා බවට පත් වන්නේ එවකට ඔහු සතු වූ ගායන හැකියාව නිසාය. පාසලේ කවිමඬු වලට සවන් දෙමින් ගමේ තොවිල් පොළවල් නරඹමින් ගෙවූ ඒ ළමා වියේ කලාව ජීවිතයට බද්ධ වූ බව ඔහු වරක් සඳහන් කළේය.

අපරැක්කේ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන්නට අත්පොත් තැබූ අමරසේනයන් පසු කාලීනව කොළඹ ලංකාසභා විද්‍යාලයේ ද මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ද අධ්‍යාපනය හදාරා තිබේ. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් ඔහු මුලින්ම ගුරුවෘත්තිය ප්‍රවිෂ්ට වන්නේ ත්‍රිකුණාමලයේ මහවැලිගම මහා විද්‍යාලයට මුල්ම පත්වීම ලබමිනි.

පාසල් වියේ දී සුනිල් සරත් පෙරේරා වැනි මහා සාහිත්‍යධරයන්ගේ ගේ සමකාලීන සගයකු වූ අමරසේනයන් තුරුණු වියේ දී පෙරළිකාර අදහස් දැරූවෙකි. එ නිසාම පළමු ගුරු පත්වීම ලද ආසන්න කාල වකවානුවක බන්ධනාගාර ගත වන්නට ද සිදුවිය. සිරබත් කන්නට තරම් වරදකරුවකු වීම නිසා රැකියාවට පවා ගැටලු මතු විය. ළමා ගීතය සහ ළමා කාව්‍ය ඔහුගේ ජීවිතයටම බද්ධ වී තිබූ බැවින් 2008 වසරේදී සංස්කෘතික අමාත්‍යාංශය මඟින් ප්‍රශස්තම ළමා කාව්‍ය රචකයා ට ලබා දෙන සම්මානය හිමිකර ගන්නට ද ඔහු සමත් විය.

‘තැන තැන රවුමට ඉඳගෙන

ඉඳහිට එබිකම් කර කර

ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා

රවුම වටේ යන විට කවි පද කියවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා‘

 

වත්මන් ළමා පරපුරට කිසිසේත්ම හිමි නොවූ, දශක කීපයකට පෙර උපන් ළමා පරපුරට විඳින්නට හැකි වූ ළමා කාලයේ සොඳුරු අත්දැකීම් කැටි කර ගත් මේ පදමාලාව අමරසේනයන් ගෙවූ ළමාවිය අතිශයින්ම සුන්දර බව අසන්නාට පසක් කරයි. ගම්බද පෙදෙසක ගෙවුණු ඒ සොඳුරු ළමා විය පසු කාලීනව ළමා ගීත කලාව තුළ පෙරැළි කරන්නට ඔහුට මාර්ගෝපදේශනයක් සැපයූවා විය යුතුය. කුඩා කාලයේ ඇසූ ගීත ඇසීමට පමණක් සීමා නොවී රස විඳීමටත් හැකි වූ නිසාම ගීත රචනා කිරීමේ යම් ආශාවක් හිත තුළ ජනිත වූ අමරසේනයන් සිය ළමා වියේ සිටම කැමැත්ත දැක්වූයේ ගුරු වෘත්තියට එක් වීමටය. ගුරුවරයෙක් වන්නට හැකි වීම නිසාම හමුවූ විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීතවේදියානන් ගේ ඇසුර මත ගීත රචකයෙක් ලෙස සිය මුල් පියවර තැබූ අයුරුද අමරසේනයන් නිරන්තරයෙන්ම සිහිපත් කළේ දැඩි සතුටකිනි.

1982 වර්ෂයේ දී සිදුවූ එඩ්වර්ඩ් ජයකොඩි සහ අමරසේන කංකානම්ගේ හමුව සුවිශේෂී වන්නේ එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාගේ මධුර මනෝහර හඬ තවත් ප්‍රභාවත් කරන්නට හැකි පද රචනා රැසක් ඔහු වෙත ලබා දෙන්නට අමරසේන කංකානම්ගේ ගී පද රචකයාට හැකිවූ බැවිනි. රබන් පද ඇසුරින් ලියූ මුල්ම ළමා ගීතයෙන් පසුව තවත් ළමා ගීත මෙන්ම ආදරය විරහව ආදී බොහෝ හැඟුම් කැටි කරගත් ගීත රැසක් අමරසේනයන් ගේ පන්හිඳෙන් එළිදැක්විණි.

ප්‍රසිද්ධිය සහ කැපී පෙනීම පිළිබඳ කිසිඳු අදහසක් නොවූ නිසාම අමරසේන කංකානම්ගේ නමැති ඒ ගී පද රචකයා ඔහු විසින් ලියු ගී රැගෙන කිසි අවස්ථාවක අවස්ථාවක් උදාකර ගැනීමේ අරමුණෙන් අවස්ථා සොයා නොගිය නමුදු ඔහු වෙත පැමිණි අවස්ථා සියල්ලටම උපරිම සාධාරණය ඉටු කරන්නට නම් ඔහු කැපවීමෙන් ක්‍රියා කළේය.

හෙළ බසට චමත්කාරය මුසු කරන්නට හැකි, හෙළ බස සුරකින්නට හැකි ගෝල පිරිසක් බිහි කළ; ශ්‍රී ලාංකේය සිංහල ගීතයේ අනන්‍යතාව සුරකින්නට හැකි අපූර්වතම ගීත රාශියකට ජන්ම දායාදය ලබා දුන් මේ අපූරු මිනිසා තවත් බොහෝ කාලයක් යන තුරු බොහෝ දෙනාගේ හදවත් තුළ මතක සටහනක් වී රැඳී සිටිනු ඇත. ඔහුගේ සංසාර ගමන ද නිවී සැනසුණු සෞන්දර්යාත්මක ගමනක් වේවා !

ඡායාරූප - දයාන් විතාරණ

Comments