ලිංග පරීක්ෂාවෙන් ලෝකයෙන් සැඟවුණු රුසියාවේ ටමාරා සහ අයිරිනා | සිළුමිණ

ලිංග පරීක්ෂාවෙන් ලෝකයෙන් සැඟවුණු රුසියාවේ ටමාරා සහ අයිරිනා

 

‘ඔලිම්පික් පිටියේ සොහොයුරු දස්කම් අපූරු ය. ඔවුහු තම සොහොයුරු දස්කමෙන් පදක්කම් පිට පදක්කම් දිනූ හ. එහෙත් එයට කණකොකා හැඬුවේ ලිංග පරීක්ෂා කිරීමේ නීතියක් හඳුන්වා දීමත් සමඟ ය. මේ ඒ ගැන කතාවකි.’

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉතිහාසයට එබී බලන විට සෝවියට් දේශයට ද හිමිවන්නේ ගෞවරනීය ඉතිහාසයකි.

එම ඉතිහාසයට එක්ව සිටින ටමාරා ප්‍රෙස් හා අයිරිනා ප්‍රෙස් නමැති සොයුරියන් දෙදෙනා පිළිබඳ ව සඳහන් නොකර සිටීම ද කළ නොහැක්කකි.

මේ දෙදෙනා එකට එක්ව 1960 රෝම හා 1964 ටෝකියෝ යන ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකේ දී ම සෝවියට් දේශය රනින් සරසන්නට සමත් වූහ.

ටමාරා 1937 වසරේ දී ද අයිරිනා 1939 වසරේ දී ද උපත ලබා තිබූ අතර මේ දෙදෙනො ම පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභගී වී තිබුණේ 1960 වසරේ දී ය.

එහි දී කාන්තා යගුළිය විසි කිරීම ඉසව්වේ රන් පදක්කම සමඟ කාන්තා කවපෙත්ත විසි කිරීමේ රිදී පදක්කම ද දිනාගෙන තිබුණේ ටමාරා ය. එවර අයිරිනාට හිමිවූයේ මීටර් 80 කඩුලු මතින් දිවීමේ රන් පදක්කමය.

මීට අමතරව 1964 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ටමාරා යගුළිය හා කවපෙත්ත යන ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගනිද්දී අයිරිනා පංච ප්‍රයාම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කියා තිබිණ.

සෝවියට් දේශයට ඔලිම්පික් රන් පදක්කම් දිනා දුන් පළමු සොහොයුරියන් ලෙස මේ දෙදෙනා ඉතිහාසටය එක්ව සිටිය ද ඔවුන්ගේ හැකියාවන් සැකයට භාජනය කරන ලද අවස්ථා ද වරින් වර මතුවනු දක්නට ලැබුණි.

වඩාත්ම බරපතළ චෝදනාව බවට පත්ව තිබුණේ සෝවියට් රජය මේ ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ශක්තිය ඉහළ නැංවීම සඳහා පිරිමි හෝමෝන ශරීර ගත කරන ලදැයි යන්නය.

අදාළ චෝදනාව වේගයෙන් සමාජ ගත වීමට මෙම සොහොයුරියන් දෙදෙනාගේ පෙනුමද බලපෑවේ ය. දෙදෙනාගේම බාහිර පෙනුමට පිරිමි හැඩරුව ද යම් පමණකට එක්ව තිබීම ඊට හේතුව ය.

ඔවුන් දෙදෙනා ක්‍රීඩා පිටියේ දී ප්‍රදර්ශනය කළ දස්කම් කිසිවෙකුට හෝ ගැටලුවක් නොවූවද බොහෝ දෙනකුට ගැටලුවක් වී තිබුණේ මේ දෙදෙනාගේ ලිංගිකත්වය ය.

ඒ වන විට යගුළිය විසි කිරීම ඉසව්ව වෙනුවෙන් ලෝක වාර්තා 6 ක් හා කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව සඳහා ලෝක වාර්තා 5 ක් බිහි කරන්නට ටමාරා සමත් වෙද්දී අයිරිනාද ඊට නොදෙවෙනි වෙමින් මීටර් 80 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ඔස්සේ ලෝක වාර්තා කිහිපයක් ම බිහි කරන්නට සමත්ව සිටියා ය.

යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාව 1966 වසරේ පැවැත්වීමට ආසන්නව තිබිය දී ජගත් මලල ක්‍රීඩා සංගමය විසින් හඳුන්වා දුන් නවතම නීතියක් ටමාරාට හා අයිරිනාට ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට මඟ සලසනු ලැබීය.

කිසියම් අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වීමට අවස්ථාව ලබා දීමට පෙර සැක සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට එම නව නීතිය හඳුන්වා දී තිබුණි.

මේ නිසා 1966 වසරේ යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීමට සූදානම්ව සිටි ටමාරා හා අයිරිනා ක්‍රීඩා පිටියෙන් සමුගත්තේ තමන් දෙදෙනා සොහොයුරියන් ද සහෝදරයන් ද යන්න ලෝකයා හමුවේ තහවුරු වීම වළකාලමිනි.

සීවලී එදිරිවීර

Comments