ටෝකියෝවේ ශ්‍රී ලංකා ඔලිම්පික් වරුණ | සිළුමිණ

ටෝකියෝවේ ශ්‍රී ලංකා ඔලිම්පික් වරුණ

 

'මේ ප්‍රින්ස් ගුණසේකර යි. ඔහු මේ දිනවල 'ක්‍රීඩා' පුවත්පතේ විශේෂ වාර්තාකරුවා වශයෙන් සිටිනුයේ ජපානයේ ටෝකියෝ නුවර ය. ඒ ඔලිම්පික් තරගාවලිය වාර්තා කරමිනි. ඔහුගේ කැමරා ඇසට හසුවූ ඡායාරූප හා ඔහුගේ අත්දැකීම් සම්පිණ්ඩනයකින් මෙම ලිපිය සකස් කරනු ලබයි.'

ටෝකියෝ ඔලිම්පික් උලෙළට බලාපොරොත්තු පොදි බැදගෙන පැමිණි අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලොව ප්‍රබලයන් හමුවේ හිස ඔසවන්නට ලැබුණේ නැත. ක්‍රීඩා උලෙළ ආරම්භවී සතියක් පමණ ගෙවෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5 ක් ටෝකියෝ ඔලිම්පික් කෙළිබිමට පිවිසිය ද ඔවුන්ට එය තවත් එක් අත්දැකීමක් පමණක් විය.

එහිදී ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා මුවහත් කොට මෙතෙක් තිබූ පෞද්ගලික දක්ෂතා හෝ අභිබවා යෑමට සමත් නොවීම කණගාටුවට කරුණකි. කෙසේ වුවද ලොව අති දක්ෂයින් සමග තරග කිරීමෙන් ලද පන්නරය ඉදිරි අනාගත ක්‍රීඩා දිවියට ඉවහල් වන්නේ නම් සතුටට කරුණකි.

බැඩ්මින්ටන් පිටියේ තවදුරටත් දකින්නට හැකිවන්නේ තවත් අවුරුද්දක කාලයක් පමණක් බවත් අනතුරුව වසර 20 ක ඉතිහාසයක් ඇති ක්‍රීඩාවට සමුදීමට අපේක්ෂා කරන බවත් නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උලෙළේ තරග නිමාවෙන් පසුව පැවැසී ය. නිලූක කරුණාරත්න අයර්ලන්තයේ නාහට් නුගයන් සමග හා චීන තායිබේ හී වෑන්ග් වේයි සමග තරග කොට තරග දෙකම පරාජයට පත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චාමර නුවන් ධර්මවර්ධන ජූඩෝ වලල්ලේ තත්පර 29 ක දී බිම ඇද දමන්නට ජිබවුටි රාජ්‍යයයේ අඩේන් ඇලෙක්සැන්ඩර් සමත් වූයේ ය. ඔහු පැවැසූවේ සිදුවූයේ කුමක් ද යන්න සිතාගත නොහැකි බව ය.

රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වට එක්වූ මිල්කා ගිහානී ද සිල්වා ටෝකියෝ අරියාකා ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේ දී ඉන්දියාවට වඩා පියවරක් ඉදිරියෙන් අදියර හතරේ දී ලකුණු 45.798 ක් වාර්තා කළා ය. 18 හැවිරිදි මිල්කා ගිහානී ක්‍රීඩිකාවන් 94 කින් 78 වැනි ස්ථානය ලැබුවා ය. ඇය ආසියානු මට්ටමේ හොදම ක්‍රීඩිකාවන් 10 අතර සිටීමට සමත්වීම හේතුවෙන් අනාගතයට කදිම අයෝජනයක් වනු ඇත.

ටෝකියෝ ඔලිම්පික් කෙළි බිමට පිවිසි පළමු ක්‍රීඩිකාවන් දෙදෙනාම එම මූලික වටයේ ඉසව්වල අවසන් ක්‍රිඩිකාවට කලින් තරගය නිම කළ හ. මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් තරග වැදුණු ටෙහානී එගොඩවෙල ක්‍රීඩිකාවන් 50 කින් 49 වැනි ස්ථානයට පත් වූ අතර මීටර් 100 සමනළ ආර ඉසව්වෙන් තරග කළ අනීකා ගෆූර් ක්‍රීඩිකාවන් 33 ක් අතුරින් 32 වැනි ස්ථානයට තරගය නිම කළා ය. මේ දෙදෙනාම තරගයෙන් අනතුරුව පැවැසූවේ කොරෝනා අර්බුද හේතුවෙන් ක්‍රීඩා උලෙළට සූදානම්වීම තරමක් දුෂ්කර වූ බවයි. 

සටහන හා ඡායාරූප

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා විශේෂ වාරුතාකරු ජපානයේ ටෝකියෝ නුවර සිට

Comments