ඔලිම්පික් ගිය ක්‍රීඩකයන්ට මාසික දීමනාවක් දෙන්නයි | සිළුමිණ

ඔලිම්පික් ගිය ක්‍රීඩකයන්ට මාසික දීමනාවක් දෙන්නයි

එදා හරි දුෂ්කරයි. දැන් වගේ කිසිදු පහසුකමක් නැහැ. කොහොම හරි මම ක්‍රීඩා තුනක ජාතික සංචිතයේ හිටියා.

මගේ පුහුණුකරු ඩර්වින් පෙරේරා මහතායි. මම පස් වතාවක් දකුණු ආසියා ක්‍රීඩා රන් පදක්කම් දිනුවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභිනියක්.

ඔලිම්පික් තරගාවලිය ආරම්භවී තිබේ. එය මෙවර පැවත්වෙන්නේ තිස් දෙවැනි වතාවට ය. ඒ ජපානයේ ටෝකියෝ පුරවයේ ය. ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පුරාජේරුව කියැවීමට සමත් ක්‍රීඩකයන් ගේ වත්මන් භාරකාරිත්වය හිමිකරගෙන සිටිනුයේ ඔලිම්පියන්ස් සංගමයට ය.

නිලධාරී බලයෙන් තොර ජාත්‍යන්තර ඔලිම්පික් සංගමය සමඟ සම්බන්ධතාවක් දක්වන සෑම රටකම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් මෙම සංගමය සකස් වී ඇත. ශ්‍රී ලංකාවේ එම සංගමය ශ්‍රියානි කුලවංශ‌ නමැති මෙරට බිහිකළ විශිෂ්ටතම කඩුලු පැනීමේ ශූරිය ගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක වෙයි. ඔලිම්පික් උළෙලක් ආරම්භ වීමට ඇති මොහොතක ‘ක්‍රීඩා’ ඔලිම්පියන්ස් හි ශ්‍රියානිය සමඟ සංවාදයකට පිළිපන්නේ ය. මේ ඒ සංවාදයෙන් උපුටා ගැනෙන සටහනකි.

මොකක්ද මේ ඔලිම්පියන්ස් සංගමය කියන්නේ?

මේ සංගමයේ සාමාජිකත්වය තියෙන්නේ ඔලිම්පික් වරම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ම පමණයි. වර්ෂ 1948 දී තමයි අපි මුලින් ම ඔලිම්පික් ගියේ. ඒත් අදටත් ඔලිම්පික් වර්ණ දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සොයා ගන්න බැරිව ඉන්නවා. වර්ෂ 2016 වන විට 96 දෙනෙකුගේ විස්තර සොයා ගන්න අපට හැකි වුණා. දැනට ඉන් 67දෙනෙක් ජීවතුන් අතර නැහැ. 47 දෙනෙක් මේ වන විටත් අපේ රට තුළ ජීවත් වෙනවා. එතැන ඉන්න වයස්ගතම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයා තමයි සුමිත් ලියනගේ කියන්නේ. ඔහුට‌ අද වන විට වයස අවුරුදු 84 ක්. වාසනාවකට ඔහු නම් තවම නිරෝගී භාවය රැක ගෙන ජීවත් වෙනවා.

සංගමයක් විදියට ඔලිම්පියන්ස්ලාට උපන්දින උත්සවයට කේක් එකක් දෙන එක තමයි අපි නම් ඔබේ සංගමයේ ලොකුම වැඩේ විදිහට දැකලා තියෙන්නෙ ?

ඇත්තටම අපි අවුරුදු දෙකක් හැම සාමාජිකයකුගේ ම උපන්දිනයට කේක් එකක් ගෙනිහින් දුන්නා. නමුත් දැන් අපි ඒක කරන්නේ නැහැ. මොකද ගොඩක් අය වයසයි. ඒ අයගේ දරුවොත් සමඟයි ඉන්නේ.ඒ වුණත් වයසට යෑමත් සමඟ කාත් කවුරුවත් නැති වී අන්ත අසරණ වෙනවා. ඒ නිසා බොහෝ අවස්ථා හරි සංවේදීයි. කේක් එක ගෙනියන ක්‍රීඩකයාව බදාගෙන අඬන්න ගන්නවාලු. ඒ නිසා අපි ඒක නවතා දැමුවා.

එහෙනම් ඔබේ සංගමයෙන් මොනවද වෙන්නේ?

ඔලිම්පික් දිනූ ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ සුබ සාධන වැඩසටහන් ඉටු කරනවා. අපි ඔලිම්පික් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 45 දෙනකුට රන් පදක්කම් පිරිනැමුවා. ඒ රන් පදක්කමේ ඔලිම්පියන්ස් සංගමයේ නිල ලාංඡනය සටහන් කළා. ඒ උත්සවයට පැමිණීමට නොහැකි වූ පිරිස් වෙත අපි ඉදිරියේ දී ඒ සමරු තිළිණය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි මේ සංගමය නියෝජනය කරන සියලු දෙනාට උත්සවයකට ඇඳීමට අවශ්‍ය ඔලිම්පික් කබාය බැගින් ලබා දුන්නා. වසරකට වරක් පවුලේ සාමාජිකයන් හමුවක් පවත්වා වැඩමුළු සංවිධානය කරනවා. එතැන දී විද්වත් දේශන මඟින් ඔලිම්පික් ගියපසු කතා කරන විදිය හැසිරෙන විදිය ඇතුළු අවස්ථානුකූල ව රට නියෝජනය කරමින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කරනවා. සෑම වසරකම වාර්ෂික මහ සමුළුව පවත්වනවා. පසුගිය කාලේ සංගමය මඟින් මුහුදු වෙරළේ කඩොලාන ශාක හැදුවා. පාසල් 67 ක ගස් රෝපණය කළා. ඒක 2020 පෙබරවාරි 28 අවසානය දක්වා කළා. ඔලිම්පික් රිදී පදක්කම දිනූ ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහිවූ ඩන්කන් වයිට් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2500 ක පමණ සහභාගිත්වයෙන් චිත්‍ර හා ඡායාරූපකරණ තරගයක් පැවැත්තුවා. 2019 අන්තවාදී ප්‍රහාරයට ලක්වුණු කටුවාපිටිය දේවස්ථානයේ දී අසරණභාවයට පත් දූවා දරුවන්ගේ හා එම දෙමාපියන්ගේ මානසික සෞඛ්‍ය ගොඩනැඟීම සඳහා කාදිනල්තුමා සහ කටුවාපිටිය, මීගමුව මීසම්වාසී පියතුමන්ලා එකතු වී සුළු ඔලිම්පික් සැමරුමක් පවා අපි සංවිධානය කළා. ඒක කළේ ඔවුන්ගේ මානසික සුවතාවය වෙනුවෙනුයි.

2018,2019 වසර දෙක අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ‘සූම් තාක්ෂණය’ ඔස්සේ ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රියාකාරකම් 100 ක් අත්හදා බැලුවා.

ප්‍රධාන වශයෙන් මේ රටේ ඔලිම්පික් දිනා දැනට ජීවතුන් අතර සිටින 47 දෙනාට රක්ෂණාවරණයක් හා මාසික දීමනාවක් ලබා දීමේ අරමුණෙන් තමයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා රජයෙන් තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී නැහැ. අලියන්ස් ඉන්ෂුවරන්ස් ආයතනය හා සාකච්ඡා කර විශාල වෙහෙසක් සිදු කර 2020 ජූලි 01 දින ජීවිත රක්ෂණාවරණයක් ලබා දුන්නා. ඒක විශේෂිත වන්නේ අවුරුදු 84 ක් වන අපේ ඔලිම්පික් දිනූ ක්‍රීඩකයකුටත් ලබා දීමට කටයුතු කිරීමයි. ඉදිරියේ දී මාසික දීමනාව ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා සමඟ සාකච්ජා කරනවා.

සංගමය නිර්මාණය කළ සමයේ ඔලිම්පියන්ස් සංගමයට රජය මඟින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලැබුණා. ඒක භාරකාර අරමුදලක් වශයෙන් වැඩිදියුණු වෙනව ද?

ලක්ෂ 50 ම නම් නැහැ. මොකද අපි ගොඩක් වැඩ කළ නිසා. ඔලිම්පික් ළමයින්ගේ සැමරුම් උත්සව වෙනුවෙන් කබාය බැගින් දුන්නා. කාර්යාලයක් හැදුවා. පසුගිය කාලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසනීප වුණා, හෘදයාබාධ වැනි හේතූන් මත සැත්කම් කරන්න සිදුවුණා. නිවාස සුළි සුළඟින් විනාශ වුණා. මේ දේවල් වෙනුවෙන් අපට මුදල් වැය කළ යුතු වුණා.

ඇයි ජාත්‍යන්තර ඔලිම්ක් සංගමයෙන් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයට ප්‍රතිපාදන ලැබෙන්නේ නැද් ද?

වාර්ෂික මහ සමුළුවට ඩොලර් 1000 ක් දෙනවා. වසර 3 ක ට වරක් දීමනාවක් දෙනවා. අපි මොන ප්‍රශ්න තිබුණත් කොහොම හරි වැඩ කරනවා. අපි ආසියාවේ වැඩියෙන්ම වැඩ කරපු රට. ලෝකයෙන්ම 4 හෝ 5 ස්ථානයේ වැඩ කරපු රට ලෙසත් ශ්‍රේණිගත වුණා.

දැන් ඔබේ ජීවිතය දෙසට හැරෙන්න කැමැතියි. ඔබගේ පාසල් ජීවිතය තුළ ඔලිම්පික් සිහිනයක් දුටුව ද?

මම කුඩා කාලයේ ගියේ උදකෙන්දවෙල කනිෂ්ඨ විද්‍යාලයට යි. පසුව ඉබ්බාගමුව මැදි විදුහලේ අධ්‍යාපනය ලබා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාගෙදර, මැල්සිරිපුර ප්‍රදේශයේ හැදී වැඩුණු කෙල්ලක්. මම කෑවේ බීමේ ගැමි කෑම. ඒක තමයි මට ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න උපකාර කළේ.

අනික මගේ නිවෙස පිහිටා තියෙන්නේ කුඩා කඳු ගැටයක් උඩ. මම තමයි නිතරම කඩයට යන්නේ. නියරේ වී කුරුල්ලන් එළවන්නේ. මම ගොඩාක් වෙලාවට ඇවිදින්නේ නැහැ. මොකද හැමදේම කළේ දුවලාම තමයි. හෙමින් ගමන් නෑ. පොල්ගස් නඟිනවා ,කොස් ගස් නඟිනවා. එදා මම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා, කලාප, දිස්ත්‍රික්, පළාත් සහ සමස්ත ලංකා වගේ ජයග්‍රහණ ලබද්බදී අවුරුදු 17 දී තමයි ඔලිම්පික් සිහිනය දැක්කේ.

පාසල් කාලේ නියැළුණේ මලල ක්‍රීඩාවේ විතර ද?

මලල ක්‍රීඩාවලට අමතර ව දැල්පන්දු, වොලිබෝල්, උස පැනීමේ ක්‍රීඩාවෙන් ද දස්කම් දැක්වූවා. එදා අපිට පුහුණුකරුවෙකු හිටියේ නැහැ. මගේ නැන්දාගේ දුව සෝමා සමඟ තරගවලට පැමිණෙනවා. හරි දුෂ්කරයි. දැන් වගේ කිසිදු පහසුකමක් නැහැ. කොහොම හරි මම ක්‍රීඩා 3 ක ජාතික සංචිතයේ හිටියා.

එදා සහ අද ක්‍රීඩකයන්ට තිබෙන පහසුකම් ගැන මොකද ඔබ හිතන්නේ ?

අහසට පොළොව වගේ වෙනස්. මම දියුණුම රටවල් සතු පහසුකම් ගැන නොවෙයි කතා කරන්නේ. නමුත් අපි ක්‍රීඩා කළ කාලයේ තිබුණු පහසුකම් හා අද පහසුකම් ගැන සිතද් දී හරිම දියුණුයි. එදා මට උස පැනීමේ ඉසව්වට මෙට්ටයක් තිබුණේ නෑ. ඒ වෙනුවට භාවිත කළේ කොහු. මම දිනුවාම තමයි මගේ පාසලට මෙට්ටයක් හා බාධක කඩුලු කීපයක් ලබා දෙන්න බලධාරීන් කටයුතු කළේ. නමුත් දැන් තත්ත්වය වෙනස්. ඒත් වර්තමාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ සැබෑ ඉලක්කයක් ගොඩනඟාගෙන නෑ. ඒ නිසා දැනට පවතින පහසුකම් නිදහසේ ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී ඇති බව නම් පේනවා.

මහවැලි ක්‍රීඩා උළෙලේ ඔබේ විශේෂ ක්‍රීඩා මතකයක්?

ඔව්.මහවැලි ක්‍රීඩා දෙකකින් දක්ෂතම මලල ක්‍රීඩිකාව වෙන්න මට හැකිවුණා. ඊට පසුව තමයි මම උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටෙව්වේ.

ඔබගේ පුහුණුකරු කවුද? එසේම ඔබගේ ඔලිම්පික් ජයග්‍රහණ මොනවා ද ?

මගේ පුහුණුකරු ඩර්වින් පෙරේරා මහතා. මා පස් වතාවක් දකුණු ආසියා ක්‍රීඩා රන් පදක්කම්ලාභිනියක්. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභිනියක්. මගේ හොඳ ම පෞද්ගලික කාලය තත්පර12.91, 1996 ඇට්ලන්ටා ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ දී පිහිටෙව්වා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 1988 ක්වාලාලාම්පූර් මීටර් 100 කඩුලු පැනලා රිදී පදක්කමක් ලැබුවා. ආසියානු ශුරතාවයේ දී රිදී පදක්කමක්, 1993 මැනිලා මීටර් 100 කඩුලු පැනීමේ රන් පදක්කමක්, 1995 ජකර්තා මීටර් 100 කඩුලු පැනීමෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. ඒ වගේම 1998 ෆුකෝකා හි දී කඩුලු පැනලා රිදී පදක්කමක් දිනුවා. මගේ ශ්‍රී ලංකා වාර්තාව අවුරුදු 16 ක් තිබුණා. දකුණු ආසියානු වාර්තාව තවම තියෙනවා

උදුලා පීරිස්

Comments