
කීර්තිමත් ඉතිහාසයක් හිමි කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයේ ඉතිහාසය වසර 175 අතීතයකට දිවෙන්නකි. වර්ෂ 1846 ජූලි 20 වැනිදා එංගලන්තයේ බැප්ටිස්ට් මිෂනාරි සංගමයේ ඩේවිඩ් ජේකබ් මිෂනාරිතුමාගේ බිරිය වූ එලිසා ඩේවිඩ් මැතිනියගේ මූලිකත්වයෙන් කොළඹ මෝදර දී සිසුවියන් 12 දෙනකුගෙන් ආරම්භ කරන ලද ‘බැප්ටිස්ට් විදුහල’ 1961 වසරේ දෙසැම්බර් 01 වැනිදා රජයට පවරා ගැනිණි. එය යසෝදරා බාලිකා විද්‍යාලය බවට පත්වන්නේ 1964 වසරේදී පාසල් සංවර්ධන සමිතිය විසින් ගත් තීරණයකට අනුවය. පසුගිය ජූලි 20 වැනිදා විද්‍යාලය 175 වැනි සංවත්සරය සපුරන ලදී.
175 වසරක් පුරාවට දක්ෂ දියණියන් රැසක් රටට දායාද කළ යසෝදරා විදුහල් මාතාව ඉදිරියටත් ගුණනැණ බෙලෙන් යුතු දියණියන් සමාජගත කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරමින් සිටී. අනූෂා කාරිවසම් නමැති යසෝදරා දියණිය 1987 සිට පිට පිට වර්ෂ දෙකක්ම ලංකාවේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වර්ණ ලැබුවා පමණක් නොව ජාත්‍යන්තර තරග ජයග්‍රහණවලට පවා හිමිකම් කීවාය. ඇය එදා ඒ දස්කම් දැක්වූයේ යසෝදරා විදුහලට ක්‍රීඩා පිටියක් හෝ නොතිබුණු අවධියකදී වීම විශේෂත්වයකි. එදා අනූෂා කාරියවසම් මෙන් වර්තමානයේදීද එවැනි ශූරියන් රැසක් යසෝදරාවෙන් බිහිවී ඇත. එදාටත් වඩා අද විවිධ ක්‍රීඩා ඉසව් සහ ක්‍රීඩා සඳහා සහභාගී වීමට යසෝදරා දියණිවරුන්ට අවස්ථාව සලසා තිබෙන අතර හොකී, බැඩ්මින්ටන්, වොලිබෝල්, චෙස්, මලල ක්‍රීඩා, පිහිනුම්, නෙට්බෝල්, මේස පන්දු වැනි ක්‍ෂේත්‍රයන්හි සම්මාන රාශියක් ලබා ගනිමින් ඔවුහු පාසලට කීර්තියක් ගෙන දී ඇත. යසෝදරා විද්‍යාලයේ සිසුවියන් දෙනෙකු 2012 දී බැඩ්මින්ටන් වර්ණ දිනාගත්හ.
විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවන් අතර ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චි, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී දීපිකා ගුණසේකර, ප්‍රවීණ මාධ්‍යවේදිනියන් වන ශිරෝමි ප්‍රියදර්ශනී සහ බුද්ධිනී ජයවර්ධන, රංගන ශිල්පිනී ලක්ෂ්මි දමයන්ති, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වේශ නිරූපණ අංශ ප්‍රධානී තුසිතා රණවීර සහ සහකාර අධ්‍යක්ෂ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (විශ්‍රාමික) ලලිතා ගුණවර්ධන ද වේ.
එක් එක් අවධීන්හිදී විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් අගනා දායකත්වයක් ලබාදුන් විදුහල්පතිවරුන් පිළිබඳ මේ අවස්ථාවේදී සිහිනොකරම බැරිය. විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් පසු සේවය කළ විදුහල්පතිවරියන් වන විමලා ද සිල්වා, ඩී. එස්. අබේපිටිය, ශ්‍රීමනි ජයසුන්දර, නීලමානි මලවියරාචි, හිමාලි රාජකරුණා සහ අජන්තා පහත්කුම්බුර විසින් විදුහලට සිදුකරන ලද සේවය අතිමහත්ය. 2012 වසරේදී පත්වූ අජන්තා පහත්කුඹුර විදුහල්පති ධුරය දැරූ කාලයේදී යසෝදරා විද්‍යාලය බස්නාහිර පළාතේ පාසල් අතර මුල්තැන ගත්තාය. අබලන් වූ ගුරුවරුන්ගේ විවේකාගාරය යථා තත්ත්වයට පත් කිරීම, සිවුමහල් ගොඩනැඟිල්ලකට අඩිතාලම දැමීම, කඩාවැටුණු කාර්යාල ගොඩනැඟිල්ල නැවත ගොඩනැඟීම සහ පාසල් සන්නිවේදන පද්ධතිය නවීකරණය කිරීම සහ සුන්දර ක්‍රීඩා පිටියක් නිර්මාණය කිරීම ද එකල සිදුවිය.
යසෝදරා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය පී. නිලූකා සමන්කුමාරි එම ධුරයට පත්වන්නේ 2016 මැයි මස 02 වැනිදාය. 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස (සාමාන්‍ය පෙළ), අ.පො.ස.(උසස් පෙළ) ප්‍රතිඵල නඟා සිටුවීමට අමතර පන්ති පැවැත්වීම වැනි අධ්‍යාපන සංවර්ධන කටයුතු රැසක් එතුමියගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ. විෂය බාහිර කටයුතුවලටද ඉඩ සලසා දෙමින් දරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා සංවර්ධනය සඳහා විවිධ ප්‍රසංග පවත්වන්නටද කටයුතු කළ අතර 2016දී පැවැත්වූ ‘යසෝ රූ සර’, 2018 දී‘සරා සඳ’, 2019දී පැවැත්වූ ‘යසෝඝා’ ආදී ප්‍රසංග ඊට නිදසුන්ය. එම සියලු ප්‍රසංග සඳහා සංගීතය සැපයුවේ යසෝදරා වාද්‍ය වෘන්දයයි. එම වාද්‍ය වෘන්දය සහ බටහිර සංගීත කණ්ඩායම ආරම්භ වන්නේ වත්මන් විදුහල්පතිනිය වන නිලූකා සමන්කුමාරි යටතේය. විදුහලට තවත් අඩුවක්ව පැවති වෙස් නැටුම් කණ්ඩායමක් ඇතිකිරීමේ අභිලාෂයෙන් ‘පායිම්පත් මංගල්‍යයක්’ද 2017දී පැවැත්විණි. සිසුවියන්ගේ ලිවීමේ හා රසවිඳීමේ රුචිකත්වය ඔප්නැංවීම වෙනුවෙන් ‘සිතුදය’ නමින් සඟරාවක්ද එළිදුටු අතර ’යසෝ රූ සිත්තම්‘ චිත්‍ර ප්‍රදර්ශනය සහ ‘යසෝ රූ ප්‍රභා ’ නම් ඡායාරූප ප්‍රදර්ශනය පවත්වනු ලැබුවේද සිසුවියන්ගේ කලා හැකියාවන් තවත් දියුණු කරගැනීමට අවස්ථාව සලසා දෙමිනි.
“175 වසරක් පුරාවට සියදහස් ගණනක් වූ දැරියන්ගේ නෙත් පාදමින් යසෝදරා විද්‍යාලය අද වන විට දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා.ඉතිහාසය තුළ පත් වූ සියලුම විදුහල්පතිවරුන් අද මේ පාසලේ තත්වය ඉහළ නංවාලීමට සමත් වුණා. මම විදුහල්පතිනිය ලෙස පත් වූ දා සිටම ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් වගේම මා වටා ඉන්න හැම දෙනෙක්ම පාසල වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. කොළඹ යසෝදරා විද්‍යාලය ලබන සෑම ජයග්‍රහණයක්ම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි මම දකින්නේ”
යසෝදරා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය නිලූකා සමන්කුමාරි එසේ පැවසුවේ විද්‍යාලයේ සාර්ථකත්වය දායක වූ ගුරු මණ්ඩලයට, සිසුන් සහ මවුපියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු සියලු දෙනාට සිය කෘතවේදීත්වය පළකරමිනි.