
කොවිඩ් නිසා සමස්ත ලෝක ආර්ථිකයටම දැඩි බලපෑම් එල්ල වී තිබේ. මේ වන විට කොරෝනා නව ප්‍රභේද ගණනාවක් පිළිබඳ ව ද තොරතුරු වාර්තා වන අතර, මෙම වසංගතය සමඟ තවත් වසර කිහිපයක් සටන් කිරීමට සමස්ත ලෝක වාසී ජනතාවට සිදු වනු ඇති බවටද අනාවැකි පළ වී ඇත. කොරෝනා පැතිර යාමත් සමඟ මෙරට ආර්ථිකයටත් බලපෑමක් එල්ල වුණිද? එය කෙතරම් විශාල බලපෑමක්ද? ආර්ථිකයට සිදුවී ඇති එම බලපෑම් හමුවේ සිදු වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමය කළ යුත්තේ කවර නම් සැලසුමක්ද? අප ඒ පිළිබදව කාලීන සිදුවීම් හා මාතෘකා පිළිබඳව නිරන්තරයෙන්ම අදහස් දක්වන විද්වතුන් කීප දෙනෙකුගේම අදහස් විමසීමට තීරණය කළෙමු.
එහිදී අප පළමුවෙන්ම අදහස් විමසන ලද්දේ මේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාද වන ප්‍රවීණ මාධ්‍යවේදියකු ලෙස මෙන්ම විචාරකයකු ලෙසද කටයුතු කරන මොහාන් සමරනායකයන්ගෙනි.
ගෝලීය ව්‍යසනයක් ලෙස මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සිදු වී මේ වන විට වසර එකහමාරක පමණ කාලයක් ගත වී ඇති නමුත් එම රෝග ව්‍යාප්තියේ නැවතීමක් තවමත් පෙනෙන්නට නැති බවත් සිදු වන්නේ කුමක්දැයි වටහා ගත නොහැකිව ජනතාව තුෂ්නීම්භූතව බලා සිටින බවත් සඳහන් කළ මොහාන් සමරනායකයන් කොරෝනා මෙරට තුළ ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වාම එය පාලනය කිරීම සඳහා අප රට ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති නමුත් මෙරට ආර්ථික වර්ධනය අඩාළ කිරීම සඳහා කොවිඩ් වයිරසය හේතු වී ඇති බව අවධාරණය කර සිටියේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මොහාන් සමරනායකයන් සඳහන් කර සිටියේ මේ වන විට අප මුහුණ දී සිටින මෙම කොරෝනා වසංගත ව්‍යාප්තිය මානව ඉතිහාසයේ විටින් විට සිදුවන තවත් ගෝලීය ව්‍යසනයක් පමණක් බවයි.ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී මෙවැනි ගෝලීය ව්‍යසන වලට එක් එක් යුග වලදී ලොව ජීවත් වූ ජනතාව විටින් විට මුහුණ දී තිබේ. සමහර විට එම ව්‍යසන එක්කෝ වසංගත රෝග ලෙස එසේත් නැතිනම් යුද, කැරලි, කෝලාහල ලෙස ජනතාවට පීඩා ගෙන දී ඇත.
පසුගිය අවුරුදු එකහමාරක පමණ කාලය ඇතුළත කොරෝනා හි බලපෑම අප රටේ සමස්ත ආර්ථිකයටම එල්ල කර ඇති බලපෑමද සුළු පටු නැත. එම කාලය තුළ ඇඳිරි නීතිය පැනවීම්, රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදු වුණු ප්‍රදේශ හුදකලා කිරීම් මෙන්ම සංචරණ සීමා පැනවීම් ද අවස්ථා කීපයකදීම සිදු වුණු අතර එහි ප්‍රතිඵල ලෙස රටේ ආර්ථිකය ඉදිරියට ඇද ගෙන යාමේ බරපතළ අභියෝගයකට මේ වන විටත් අපි මුහුණ දෙමින් සිටිමු.
විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය, ඇගලුම් කර්මාන්තය මෙන්ම ආනයන,අපනයන වෙළෙඳ කටයුතු මෙන්ම මෙරට ආර්ථිකයේ වර්ධනයට ජීවය පිඹි ප්‍රමුඛ ක්ෂේත්‍ර අතර වේ. කොරෝනා ව්‍යාප්තිය හා එහි බලපෑම මෙම සියලුම ක්ෂේත්‍ර වෙත මේ වන විටත් දැනී ඇති අතර ඒ නිසාම මේ වන විටත් දැවැන්ත විදිහට ආර්ථිකය සංකෝචනය වී ඇති ආකාරයද අප හැමටම දැනෙන්නට පටන් ගෙන තිබේ.
කොරෝනා සමඟ ආර්ථිකයේ ඇතිවූ ගැටලු පිළිබඳ ව මීළඟට අප හා අදහස් දැක්වූයේ මහාචාර්ය ගාමිණී සමරනායකයන් ය. කොරෝනා සමඟ තව කොයි තරම් කාලයක් අප සැමට ගත කිරීමට සිදු වන්නේ දැයි තවමත් නිශ්චිත ලෙස කීමට නොහැකි නමුත් මෙම වසංගතය පාලනය සඳහා වන හොඳම විසඳුම වැඩිම ජන පිරිසක් ඉතාම ඉක්මනින් එන්නත්කරණයට ලක් කිරීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
මේ වන විටත් එම සංවිධානය නිර්දේශ කර තිබෙන එන්නත් වර්ග කීපයක්ම අප රටේ එන්නත්කරණය සඳහාද යොදා ගෙන ඇති අතර ඉතාම ඉක්මනින් අප රටේ ද වැඩිම ජන පිරිසකට මෙම එන්නත් ලබා දී කොරෝනා අර්බුදයෙන් අප රටට ගොඩ ආ හැකිය. ඒ අනුව මෙම එන්නත්කරණ වැඩපිළිවළ සාර්ථක කර ගැනීම සඳහා සියලු ජන කොටස් කිසිදු බේදයකින් තොරව රජයට සහය දිය යුතු අතර සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින්, ඉතාම වගකීමකින් කටයුතු කළ යුතු තීරණාත්මක හෝරාවක් මෙම අවස්ථාවේ රට හමුවේ එළැඹ ඇති බවත් මහාචාර්ය ගාමිණී සමරනායකයන් වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රකට ජනසන්නිවේදන ඇදුරකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ ජනසන්නිවේදනය විෂය පිළිබඳ ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගෙන්ද අප මේ සම්බන්ධයෙන් කරුණු විමසුවෙමු. කොරෝනා වසංගතය සමස්ත ලෝකයටම බරපතළ තර්ජනයක් වී ඇති නමුත් ශ්‍රී ලංකා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය අපගේම සැලසුම් නොපමාව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින තත්ත්වය අවස්ථාවක් කර ගත යුතු බව එහිදී අදහස් දැක්වීමට එක් වූ ටියුඩර් වීරසිංහයන් අවධාරණය කරන ලදී.
මෙම වසංගතය ස්වාභාවිකව ඇති වූවක්ද, එසේත් නැතිනම් මිනිසා විසින් කෘතිමව නිපදවූවක්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් පළ කළ නොහැකි වුවත්, සමහර පිරිස් කොරෝනා වසංගතය සතුන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වී පැතිර යාම ආරම්භ වූ බවට තර්ක කරත්දී තවත් පිරිසක් මිනිසා විසින් මිනිසාටම එරෙහිව ජීව විද්‍යාත්මක අවියක් ලෙස මෙම වයිරසය නිර්මාණය කළ බවටද කරුණු දක්වති. ඒ කෙසේ වුවත් මේ කොරෝනා වසංගතය ඉතා පැහැදිලි ලෙසම ගෝලීය ව්‍යසනයක් ලෙස හඳුන්වා දිය හැකි අතර මෙම ගෝලීය ව්‍යසනය නිසා සෑම රටකම පාහේ දේශපාලන, ආර්ථික,සමාජයීය ප්‍රශ්න, ගැටලු රාශියක් ඇති වී තවදුරටත් ප්‍රශ්න, ගැටලු නිර්මාණය වෙමින් පවතින බවද පෙනෙන්නට තිබේ.
කොරෝනා බලපෑම හේතුවෙන් පසුගිය 2020 වසරේදී ඩොලර් ට්‍රිලියන මිලියන 30 කට ආසන්න පාඩුවක් ලෝක ආර්ථිකයට සිදු වී ඇති බවට ගණනය කෙරුණු අතර සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය සියයට 4.5 ක ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ. බැංකු හා මූල්‍ය පද්ධතියද බරපතළ ලෙස කඩා වැටීමකට ලක් වී ඇත.
කෙසේ වුවත් කොරෝනා පැතිර යාමේ වේගය තීව්‍ර වත්දී තොරතුරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර වල ශීඝ්‍ර වර්ධනයක් සිදු වී ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි. බොහෝ පිරිසක් අන්තර්ජාලය හා නවීන තාක්ෂණය යොදා ගනිමින් දුරස්ථ වැඩ ක්‍රමයකට හුරු පුරුදු වුණු අතර පෙර පාසැල්, පාසැල්, විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන වල මෙන්ම වෘත්තීය පුහුණු ආයතන වලද ඉගැන්වීම් කටයුතු සඳහා අන්තර් ජාලය ඇතුළු නවීන තාක්ෂණය යොදා ගැනීම සිදු විය.
කොරෝනා වසංගතයේ බලපෑම ඉන් මෙරට ආර්ථිකයේ වර්ධනයට හේතු වුණු තර්ජනය ආදී කරුණු පිළිබඳව ගැඹුරින් විමසා බලත්දී රටක් ලෙස, ජාතියක් ලෙස ශක්තිමත් ලෙස යළි නැගී සිටීම සඳහා අලුතෙන් සිතන්නට හැකියාව ලැබෙන පරිසරයක් ඉන් නිර්මාණය කර දී ඇති බව නම් ඉතාමත්ම පැහැදිලිය. ඒ නිසා එම අවස්ථාව අප උපරිම ලෙසම රටේ ඉදිරිය සුබදායී දිසාවක් වෙත හැසිරවීම සඳහා අප යොදා ගත යුතු වන අතර ශ්‍රී ලංකා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය අපගේම සැලසුම් නොපමාව ක්‍රියාත්මක කිරීම සඳහාද මෙය කදිම අවස්ථාවක් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් 2019 ජනාධිපතිවරණ අවස්ථාවේදී රට හමුවේ තැබූ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම ඒ අනුව ඉතාම පහසු වන අතර කිසිදු විදේශීය රටකට හෝ සංවිධානයකට වහල් නැති ස්වදේශීය ආර්ථික ක්‍රමයක මොඩලය මේ තීරණාත්මක අවස්ථාවේදී අපට ඉතාම පහසුවෙන් සැලසුම් කර ගැනීමට අවස්ථාව උදා වී ඇති බවද ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගේ අදහසයි.