බයිඩ්න්ගේ අලුත්ම හිසරදය ඉරානයේ රයිසි | Page 2 | සිළුමිණ

බයිඩ්න්ගේ අලුත්ම හිසරදය ඉරානයේ රයිසි

ඇමරිකානු මිසයිල ප්‍රහාරයකින් මියගිය ඉරාන හමුදා ප්‍රධානී කාසිම් සුලෙයිමානිගේ අවමඟුලට පැමිණ සිටි ජනතාවගෙන් කොටසක්

ඉරානය හෙවත් පර්සියාව සැබවින්ම ලොව සෙසු රටවලින් වෙනස් රටකි. එයට මඳක් හෝ සම කළ හැකි වන්නේ උතුරු කොරියාවයි. එහෙත් උතුරු කොරියාවට වඩා සාමාන්‍ය ජන ජීවිතයක් සමඟ වඩා වැඩි නිදහසක් තම රටේ ජනතාවට ලබා දෙමින් ප්‍රජානත්ත්‍රවාදී මාවතක ගමන් කළද ඉරානය යනු සැබවින්ම හුදකලා විප්ලවවාදියෙකි යන්න බැහැර කළ නොහැකිය. පර්සියාව යනු ලොව දීර්ඝතම ඉතිහාසයක් හිමි රටවල් ස්වල්පයෙන් එකකි. මානව ශිෂ්ටාචාර බිහි වීමේ මූලාරම්භ යුගය දක්වා දිව යන ඉරානයේ ඉතිහාසය සේම වර්තමානයේ ද එරට දේශපාලන තන්ත්‍රය පොහොසත්ය. එරට අධ්‍යාත්මික නායකයාගේ නායකත්වය තිබියදී නියමිත කලට පවත්වන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මඟින් තෝරා ගන්නා ඉරාන පාලකයා සැමවිටම ජනතාවගේ නිවැරදි තීරණයක්ම විය. කවුරු රාජ්‍ය නායකත්වයට පත් වුවද ඉරානය ගමන් ගන්නා විප්ලවවාදී මාවත වෙනස් නොවීමද විශේෂත්වයක්මය.

පසුගියදා ඉරාන නායකයන්ගේ ලැයිස්තුවට තවත් අලුත්ම නායකයකු එක් විය. ඒ ඉබ්‍රහිම් රයිසිය. වර්තමාන ජනාධිපති හසන් රෞහානිගේ පාලන කාලය මේ වසරේ අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර ඉන් පසු රයිසි බලයට පත් වනු ඇත. රයිසි ගැන කිව යුතු දේ බොහොමයකි. එහෙත් ඒ සියල්ලට පෙර පැවසිය යුතු වන්නේ නිසැකයෙන්ම රයිසි ඇමරිකාවේ ජෝ බයිඩන්ගේ අලුත්ම හිසරදය වනු ඇති බවයි.

ලෝකයේ බොහෝ රටවල ඉරණම තීරණය වීමේ සන්ධිස්ථානවලදී විසි වැනි සියවසින් අඩක් පුරා පැතිරුණු ඇමරිකා රුසියා සීතල යුද්ධයේ බලපෑම දැකගත හැකිය. ඉරානය සම්බන්ධයෙන්ද මෙය එසේමය. ඉරානය දීර්ඝ කාලීනව පාලනය කළ ‘ෂා’ රජ පෙළපතට පසුව රුසියාවේ දේශපාලන හෙවණැල්ල වැටුණු අතර ෂා රජු බලයෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමේදී ඉස්ලාම් මූලධාර්මවාදී බලපෑම මෙන්ම රුසියානු බලපෑමද එකසේ ලැබුණු බව පැහැදිලිය.

ඇමරිකාවද ඉරානය සම්බන්ධව දැඩි අවධානයෙන් පසු වූයේ ඉරානයේ භූමිය අභයන්තරයේ තිබූ ඛනිජ තෙල් සම්පත හේතුවෙනි. එහෙත් මේ දෙරටේම දේශපාලන බලපෑම්වලට නතු වුවද තමන්ටම අනන්‍ය පාලන තන්ත්‍රයක් ස්ථාපිත කර ගැනීමේ වාසනාව ඉරානයට විය. එමෙන්ම වඩාත් වැදගත් වන්නේ එය රුසියාවට හෝ ඇමරිකාවට ගැති නොවූ පාලන තන්ත්‍රයක් වීමය.

 

ඉරානය ලෝක සිතියමේ අතළොස්සක් වන හිතුවක්කාරයන් අතරට එක් වන්නේ එසේය. අධ්‍යත්මික නායකයා ඉහළින් සිටින අතර ඔහුගේ උපදෙස් මත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජිතයන් ක්‍රියාත්මක වීමේ ඉරාන ක්‍රමය එරටටම අනන්‍ය වූවක් විය. එමෙන්ම වඩාත් වැදගත් දෙය වූයේ මැතිවරණවලින් ජනතා ඡන්දයෙන් තේරී පත්වන කිනම් පාලකයකු වුවද ඉරාන ක්‍රමවේදයේ වෙනසක් කිරීමට කටයුතු නොකිරීමය.

දැන් මේ ඉරාන න්‍යායපත්‍රය අලුතින්ම ලැබී තිබෙන්නේ ඉබ්‍රහිම් රයිසි අතටය. පසුගියදා පැවති මැතිවරණය දැඩිව පාලනය කරන ලද්දක් බවට බටහිර මාධ්‍ය පැවසුවද ඉරාන ජනතාව සතුව නම් ඒ සම්බන්ධව ගැටලු පැවති බවක් දක්නට වූයේ නැත.

ඇමරිකාව ඉතා සංවිධානාත්මකව සිදු කරන ලද ඩ්‍රෝන ප්‍රහාර මඟින් ඉරානයේ ‘සංඛේතාත්මකව වැදගත් පුද්ගලයන්’ මරා දැමීම සම්බන්ධව ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඒ සම්බන්ධව හොඳම උදාහරණය ලෙස 2020 වසරේදී ඇමරිකානු මිසයිල ප්‍රහාර මඟින් ඉරාන හමුදා ප්‍රධානී කාසිම් සුලෙයිමානි ඝාතනය කිරීම දැක්විය හැකිය. කාසිම් සුලෙයිමානි යනු ඉරානයේ හෘද ස්පන්දනය විය. ඉරානය ඉදිරියට ගන යමින් තිබූ න්‍යෂ්ටික වැඩපිළිවෙළේ යතුර වූයේ ඔහු අතය. තම ආරක්ෂකයන් පිරිවරා ගනිමින් ඉරාකය දේශසීමාවට ඇතුළුව නිල රාජකාරිවල නියැළෙමින් සිටි සුලෙයිමානිගේ මෝටර් රථ පෙළ ඉලක්ක කර ගනිමින් ඍජුව එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ඔහු එතනදීම ජිවිතක්ෂයට පත් වූයේය.

මේ ඝාතනයෙන් වියරු වැටුණු ඉරානය පළි ගන්නා බවට සපථ කරමින් සැණෙකින් ඉරාකයේ ස්ථාපිත කර තිබූ ඇමරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කර සිටියේය. ඒ සමඟින් ඉතා අවාසනාවන්ත ලෙස යුක්රේන මගී ගුවන් යානයකටද මිසයිල ප්‍රහාර එල්ල වූයෙන් සාමාන්‍ය මිනිසුන් රැසකගේ ජිවිත අහිමි විය. පහසුවෙන්ම යුද්ධයක් ඇරඹීමට අවස්ථාව පැවතියේ නමුදු ඉරානය විසින් ක්‍රමයෙන් තත්ත්වය පාලනය කර ගනු ලැබීය.

එසේ වුවද ඉරානයේ ඉත්තන් ඝාතනය කිරීම ඇමරිකාව නවතා දැමුවේ නැත. යළිත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළේ ප්‍රබලයකු ඇමරිකානු ඉලක්ක ගත මිසයිල ප්‍රාහරයකින් ඝාතනය කරනු ලැබුවේ ඉතාමත් සුක්ෂ්ම අන්දමිනි.

තත්ත්වය මෙසේ වුවද ඉරානය අඩියක් පස්සට ගත්තේ නැත. ඉරාන නායකයන් කවදත් මේ තත්ත්වයට හුරු වී සිටි අතර සෙසු අරාබි කලාපයෙන්ද හුදකලා වී සිටින ඉරානය කිසිදා තම ප්‍රතිපත්ති හකුලා ගත්තේ ද නැත. 1980 ඉරාන විප්ලවයෙන් පසුව බලයට පැමිණි නායකයන් සියලු දෙනාම මෙන්ම විශේෂයෙන් රෆ්සන්ජානි, මොහොමඩ් කටාමි මෙන්ම ඉතා සරල නායකයකු වූ මොහොමඩ් අහ්මඩිනෙජාඩ්ද ඉරානය විප්ලවීය මගේ ගෙනයාමට කටයුතු කළහ. ඒ සමඟ ඔවුන් සතුව ඇමරිකානු විරෝධයද නොඅඩුව විය. තෙල් සම්පත හේතුවෙන් ඇමරිකාව තම රටේ පාලනය ඔවුන්ට නතු කර ගැනීමට කැස කවන බව ඔවුන් හොඳ හැටි අවබෝධ කරගෙන සිටි අතර ඉරාකයට සිදුවූ දේ තම රටට සිදු නොවීමට කටයුතු කිරීමට ඔවුන් සෑම විටම දැඩි උත්සාහයක් ගත්හ.

ඒ සමඟම ඔවුහු ඇමරිකාවේ දැඩි විරෝධය මැද වුවද තම අවි බලය තර කර ගැනීමට ගන්නා උත්සාහය අත නොහැරියහ. ඉරානය සෑම විටම සිටියේ ‘ගැහුවොත් ගහනවා’ ප්‍රතිපත්තියේ වූ අතර න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීමේ යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාමාර්ග ඉරානය විසින් නොකඩවා අත්හදා බලමින් තිබිණි. බලයට පැමිණි සෑම නායකයකුම මේ වැඩපිළිවෙළට සහයෝගය දුන් අතර ඇමරිකාව සමඟ මතබේදාත්මක ගැටුම් පවත්වාගෙන ගියහ. වරක් හිටපු ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා කලක් ඉරානය සමග සමගි සන්ධානයකට එක් වූ අතර එහිදී ඉරානය තම න්‍යෂ්ටික බලගැන්වීම කෙටි කලෙකට නවතා දැමීමට කටයුතු කළහ. එහෙත් එය සාදාකලයට නොවීය.

ඉරානයේ මේ හිතුවක්කාර කටයුතු නිසා ඇමරිකානු සම්බාධක නිරතුරව ඉරානය මත පැටවුණු අතර සම්බාධක ඉරානයට අමුතු දෙයක්ද නොවීය. ඉරානය ඒ සියල්ල මැද තම ගමන යමින් සිටින්නේය.

දැන් ඉබ්‍රහීම් රයිසි බැටනය අතට ගෙන සිටින්නේය. ඔහු ඉරානයේ හිටපු අගවිනිසුරුවරයකු වන්නේය. එබැවින්ම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි ඔහුගේ වැඩි අවධානය එල්ල වනු ඇති බවට මත පළවී තිබෙන්නේය. එමෙන්ම බොහෝ විචාරකයන් පවසා සිටින්නේ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ජනාධිපති බයිඩ්න් හදිසි නොවිය යුතු බවයි.

 

Comments