කොවිඩ් තවමත් පාලනයෙන් ‌තොරයි ලොව පුරා රටවල එන්නත්කරණය දිගටම | සිළුමිණ

කොවිඩ් තවමත් පාලනයෙන් ‌තොරයි ලොව පුරා රටවල එන්නත්කරණය දිගටම

එන්නත් කිරීම මඟින් කොවිඩ් අවසන් කිරීමට ලෝකය දඟ දැමූවද තවමත් කොවිඩ් අවසන් වන බවක් නම් පෙනෙන්නට නැත. මේ වන විට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඇතුළු රටවල් ස්වල්පයක් තම ජනගහනයෙන් සියයට හැත්තෑව ඉක්මවා එන්නත් කර තිබුණද සංචරණ සීමා ඉවත් කර ජනතාවට නිදහසේ හැසිරීමට ඉඩ ලබා දීමට එම රටවල් තවමත් පසුබාමින් සිටිනු දැක ගත හැකිය.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පසුගිය ජූලි 21වැනිදායින් ඉවත් කිරීමට නියමිතව තිබූ සංචරණ සීමා තවත් මසක කාලයක් සඳහා දිගු කරමින් පවසා සිටියේ රට ආරක්ෂා කර ගැනීමට තවත් කල් ගතවනු ඇති බවයි.

එමෙන්ම ඉදිරි ශීත ඍතුවද තම රට වැසියන්ට දරුණු ශීත ඍතුවක් වනු ඇති බව පැවසූ අගමැතිවරයා විදේශයන්හි සංචාරය කිරීම කල් දැමීමෙන් රට ආරක්ෂා කර ගැනීමට දායක වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ වන විට බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව එකක් හෝ දෙකක් තරමට අවම වුවද දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දසදහස ඉක්මවින් තිබේ.

ඇමරිකාවේ මේ වන විට තරුණ පිරිසටද එන්නත් ලබා දෙමින් සිටියද වැඩිවයස් පුද්ගලයන්ට සාපේකෂව තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීමට පෙලඹීම ඉතා අවම බව වාර්තා වෙමින් තිබේ.

පසුගිය වසරේදී කොවිඩ් හේතුවෙන් කඳුළු ගඟක ගිලුණු ඉතාලිය මේ වන විට දෛනික මරණ 20 ආසන්නයේ පවතිමින් තත්ත්වය තරමක් පාලනය කර ගැනීමට සමත් වී තිබේ. දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද දහස ට වඩා පහළ අගයක් ගනිමින් තිබේ.

මේ අතර රුසියාවේ කොවිඩ් ආසාධිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගියදා පවසා සිටියේය.

මොස්කව් නගරයෙන් පමණක් ආසාදිතයන් නවදහස ඉක්මවා වාර්තා වූ අතර තවත් ප්‍රදේශ කිහිපයකම තත්ත්වය පාලනයෙන් ගිලිහෙමින් පවතින බව වාර්තා වේ. ඒ හේතුවෙන්ම එන්නත්කරණය කඩිනම් කිරීමට රුසියානු බලධාරින් කටයුතු කරමින් කරමින් සිටිති.

එන්නත්කිරීම දිගින් දිගටම ක්‍රියාත්මක කළද බ්‍රසීලය සහ ඉන්දියාව තවමත් ආරක්ෂිත ස්ථානයන්හි සිටින බව පැවසිය නොහැකිය. මේ වන විට දෙරටේම දෛනික ආසදිතයන් පනස් දහසක් පමණ වාර්තා වෙමින් සිටින්නේ රෝගීන් වාර්තා වීමේ කිසියම් අඩුවක් පෙන්වමිනි. එහෙත් දෛනික රෝගින් පනස් දහසක් වාර්තා වනවා යන්නෙන් අදහස් වන්නේ රෝගය පාලනය වී ඇති බව මිස ජනතාව ආරක්ෂිත බව නොවේ යැයි විචාරකයන් පෙන්වා දේ.

පිලිපීනයේ ජනතාව කොවිඩ් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බැවින් එන්නත් ලබා නොගන්නා ජනතාව සිර දඬුවම්වලට ලක් කරන බවට ආණ්ඩුව මඟින් නීති පනවමින් ජනතාව එන්නත් ලබා ගැනීමට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා කොවිඩ් එන්නත්කරණය බටහිර රටවල මාෆියාවක් බවට පත්ව ඇතැයි පසුගියදා චෝදනා කර සිටියේය. ජනතාවගේ ජිවිත සමඟ සෙල්ලම් කරමින් බටහිර රටවල් එන්නත්කරණය තමන්ගේ අතට ගෙන ඇතැයි පැවසූ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඒ හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම අනතුරුදායක වාතාවරණයකට පත්ව ඇතැයි පවසා තිබේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු කුසලානය හේතුවෙන්ම කොවිඩ් නීති දැඩිව පවත්වා ගනිමින් රට ඉතාම ආරක්ෂිතව පවත්වා ගැනීමට උත්සාහ දරන කටාර් රාජ්‍ය තම රටට ඇතුළු වීමට අවසර ලබා දෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට පමණක් බව පසුගියදා නිවේදනය කර සිටියේය.

ජපානයේ ඔලිම්පික් තරග සඳහා සහභාගී වීමට පැමිණි උගන්ඩාවේ ක්‍රීඩකයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර ඔහු එනනත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයකු බවද වාර්තා වීම බොහෝ දෙනාගේ සිත් අසහනයට ද හේතු විය.

චීනයේ ග්වැන්ගොඩන්ග් පළාතෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් පීසීආර් පර්යේෂණ වැඩි කිරීමටත් ප්‍රදේශයේ සංචරණ සීමා පනවමින් වයිරසය පැතිර යෑම පාලනය කිරීමටත් බලධාරින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සියල්ල මෙසේ වන විට ආසියාවේ තත්වය නම් තවමත් පවතින්නේ අවනිශ්චිත තත්ත්වයක බව පෙනේ.

ඉන්දියාවේ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ හතරට ඉතා ආසන්න වී තිබේ. තවමත් රටවල් රාශියක් ප්‍රමාණවත් එන්නත් තම ජනතාවට ලබා දී නොමැති අතර වයිරසයේ ව්‍යප්තිය පාලනය කිරීමටද අසමත් වී තිබේ. කෙසේ වුවද මේ සියල්ල අනුව පෙනී යන්නේ 2021 වසරද කොවිඩ් වයිරසයටම සින්න කිරීමට ‌ලෝකයට සිදු වනු ඇති බවය.

 

Comments