මාව ඇතැම් නිර්මාණකරුවන්ට අමතක වෙලා තිබුණේ | සිළුමිණ

මාව ඇතැම් නිර්මාණකරුවන්ට අමතක වෙලා තිබුණේ

 

 

හිමාලි සිරිවර්ධන නර්තනයෙන් සේම රංගනයෙන් ප්‍රේක්ෂක මතකයේ රැඳුණු ශිල්පිනියක්. මවු පදවිය ලැබීමෙන් පසු කලා කටයුතුවලට විරාමයක් තැබුවත් ඇය කලාවෙන් සමුගත්තේ නැහැ. ‘සිහින සමාගම‘ටෙලි නාට්‍ය‍ෙයන් නැවත රංගනයට එක් වූ ඇය මේ දිනවල වෙනස් වූ භූමිකාවකින් ප්‍රේක්ෂකයාට සමීප වෙනවා. ඒ නර්තනය සම්බන්ධ රියැලිටි වැඩසටහනක විනිශ්චයකාරියක ලෙසයි. විරාමයෙන් පසු අලුත් ඇරඹුම ගැන කියන්න හිමාලි පසුගිය දවසක අප සමඟ එකතු වුණා.

 

හිමාලිගේ විරාමය අවසන් වෙලා නේද?

මවු පදවියෙන් පස්සේ පුතාට වැඩි කාලය යොමු කරන්න අවශ්‍ය වුණා. ඉතින් ටික කාලයක් කලා කටයුතුවලින් ඈත් වෙලා ඉදලා ‘සිහින සමාගම ‘නාට්‍යයෙන් තමයි ආයෙත් වැඩ පටන් ගත්තේ. නර්තනය සම්බන්ධ රියැලිටි වැඩසටහනක විනිශ්චය කටයුතු කරන්නත් මට ආරාධනා ලැබුණා. නර්තනය කියන්නේ මගේ ජීවිතයේ කොටසක් නිසා ඒ ආරාධනය බාර ගත්තේ බොහොම කැමැත්තෙන්. ඒ භූමිකාව නිසා මට දැන් අලුත් ජවයක් ලැබිලා.

 

ඔබේ පෙනුම ගැනත් බොහෝ අය කතා කරනවා ?

ලස්සන වුණු රහස මොකද්ද කියලා කට්ටිය අහනවා. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා කලින් හිටියා වගේම මගේ ඇඟ හදාගන්න. පුතා නිසත් මම හරිම සතුටින්. ඒ සතුටත් මාව ලස්සන කරනවා වෙන්න ඇති.

 

පුංචි තිරයෙන් ඈත් වෙලා හිටපු කාලේ බොහෝ නිර්මාණ මඟහැරෙන්න ඇති ?

පුතා ලැබෙන්න මාස පහක් තියෙද්දි තමයි මම රංගන කටයුතු නතර කළේ. කාලයක් දකින්න ලැබුණේ නැති නිසා මෙහෙම කෙනෙක් හිටියද කියලත් බොහෝ නිර්මාණකරුවන්ට අමතක වෙලා තිබුණේ. ආයෙත් නිර්මාණයකින් දකිද්දී තමයි බොහෝ අය ඇහුවේ ඔයා වැඩ කරන්න ගත්ත කියලා අපි දන්නේ නැහැනේ කියලා. ඒ වචනවලින් තේරුණා සමහර නිර්මාණවලට මාව මඟහැරුණා කියලා.

 

ප්‍රේක්ෂකයන්ටත් ඔබව අමතක වෙලාද තිබුණේ ?

ප්‍රේක්ෂකයන්ට නම් මාව අමතක වුණේ නැහැ. දැන් සමාජ මාධ්‍ය දියුණු නිසා ඒ හරහා මට ඔවුන්ගේ ප්‍රතිචාර නිතරම ලැබෙනවා.

 

දැන් ඉස්සර වගේ කාර්යබහුල වෙන්න පුළුවන්ද?

මම කොහොමත් වැඩ බදාගන්න කැමැති කෙනෙක් නෙමෙයි. මුල් තැන දෙන්නේ මගේ නර්තන කණ්ඩායමට නිසා ඉස්සරත් අවුරුද්දකට එක නිර්මාණයකට වගේ තමයි එක් වුණේ. නිර්මාණ ගොඩක ඉන්නවට වඩා කාලෙකට පස්සේ වුණත් හොඳ එක නිර්මාණයක් කිරීමයි මට අවශ්‍ය.

 

ඔබේ සැමියාගෙන් කලා කටයුතුවලට නිදහසක් ලැබිලද තියෙන්නේ?

පුතාව මඟහරින්නේ නැතිව වැඩ කිරීමයි ඔහුටත් වැදගත් වෙන්නේ. මගේ අක්කා මං නැති වෙලාවට පුතාව බලා ගන්න නිසා බයක් නෑ. දරුවා සහ පවුල මඟහැරගන්නේ නැතිව වැඩ කරන නිසා මට ගැටලුවකුත් නැහැ

 

තවත් අලුත් නිර්මාණයකට එකතු වුණා කියලා ආරංචියි ?

ලක්ෂ්මන් පුෂ්පකුමාර රචනා කරන චන්දික විජේසේන අධ්‍යක්ෂණය කරන ‘ගඟන පියවර‘යන ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. මී කිරි සෑදීම ජීවිකාව කරගත් මාලනි කියන චරිතයයි මම නිරූපණය කරන්නේ. කොරෝනා තත්ත්වය පහව ගියාම එහි ඉතිරි රූගත කිරීම් පටන් ගනිවී.

 

‘සඳගල තැන්න‘ වගේ කලාත්මක නිර්මාණ තෝරා ගැනීමට ඉදිරියටත් උත්සාහ දරයිද?

එවැනි නිර්මාණවලට දායක වෙන්න කැමැත්තෙන් තමයි අවුරුදු තුනකට පස්සෙ ආයෙත් රඟපාන්න ගත්තේ. සමහර අවස්ථාවල අපිට තැනේ හැටියට ඇණේ ගහන්න සිද්ධ වෙනවා. දැන් කලාත්මක නිර්මාණ කෙරෙනවා අඩුයි. මේ තිබෙන තරගකාරීත්වය එක්ක එහෙම නිර්මාණවලට ආරාධනා ලැබෙයිද දන්නේත් නැහැ. මමත් එවැනිම නිර්මාණ හොයමින් හිටියා නම් තවත් කාලයක් මට රංගනයෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වෙයි. ‘සිහින සමාගම‘වගේ මම කලින් කරලා නොතිබුණු විදිහේ නිර්මාණයකට එකතු වුණේ ඒ නිසා.

 

ඔබේ දක්ෂතාවෙන් අධ්‍යක්ෂවරු නිසි ප්‍රයෝජනයක් ගත්තාද ?

මට දැනෙන නිර්මාණ කරන්න ලැබුණේ හරි අඩුවෙන්. රංගනයේ තව දේවල් කරන්න හැකියාව තියෙන වග විශ්වාසයි. මගේ දක්ෂතාවෙන් හරි ප්‍රයෝජනය තවම අරගෙන නැහැ. දැන් නිර්මාණවලට සම්බන්ධ කරගන්න බලපාන විවිධ කාරණා නිසා අපේ හැකියාවට සාධාරණයක් ඉටු වේවිද කියන්න බැහැ. හොඳ සිනමා නිර්මාණවලටත් මට ඉඩ ලැබුණේ අඩුවෙන්. ‘තානාපතිලාගේ ගෙදර‘ සහ ‘බ්‍රේකින් නිවුස්‘කියලා චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණත් ඒ නිර්මාණ තවම තිරගත වුණේ නැහැ.

 

නර්තන කණ්ඩායමට නැවත ජීවය දෙන්න අදහසක් නැද්ද?

නර්තන කණ්ඩායම නැවැත පටන් ගන්න අදහසක් තියෙනවා. නමුත් මම කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මගේ නර්තන කණ්ඩායමට හොඳ ඉල්ලුමක් තිබුණා. තාමත් එහෙමයි. බොහෝ දෙනෙක් දැනන් හිටියෙත් නැහැ මම නර්තන කණ්ඩායම නතර කළා කියලා.

 

නර්තනය සහ රංගනයෙන් වැඩි කැමැත්ත ගැන මම ඇහුවොත්?

දශමයක් හරි නර්තනයට තමයි වැඩි ආදරයක් තියෙන්නේ. මොන ක්ෂේත්‍රයක නියැළුණත් ආදරෙන් කරද්දි ඕනෑම දෙයක් සාර්ථකයි.

 

පුතත් කලාවට ළැදිද?

පුතා නර්තනයට ගායනයට දක්ෂයි. කලාව හරියට කරන කෙනෙක් වැරැද්දට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා පුතා කලාව හරි විදිහට ඇසුරු කරනවට මම කැමැතියි. කොහොම වුණත් ඔහු කැමැති පාර අනාගතයට තෝරා ගනියි.අපි පුතාට ඒ වෙනුවෙන් මඟපෙන්වනවා.

 

ඡායාරූපය - Nexus

Comments