ෆෙස්බුකියේ අමුතුම සංගමේ | Page 2 | සිළුමිණ

ෆෙස්බුකියේ අමුතුම සංගමේ

 

අපේ රටේ ඇතැම් අයගේ ජීවිත පිටතින් පෙනෙනවාට වඩා හාත්පසින්ම වෙනස්ය. මතුපිටින් නොපෙනුණත් ඔවුහු අභ්‍යන්තරයෙන් කුමක් හෝ පීඩනයකින් නැතිනම් අසහනයකින් පෙළෙති. එලෙසින් ලෝකයාට යහපත් පවුල් පරිසරයක් ගෙවමින් වැදගත් රැකියාවන්හි නිරත වෙමින් යහපත් කල්ක්‍රියාවෙන් ජීවිතය ගෙන යන බව පෙන්වූ කිහිප දෙනෙක්ම පසුගිය දිනවල පොලිස් අත්අඩංගුවට පත්විය. එවැනි වැදගත් අය පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඇයිද යන්න සොයා බැලූ විට පොලිසියෙන් එහි තතු හෙළි විය. පසුව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ එකී පුද්ගලයන්ගෙන් බොහොමයක් දෙනා විවිධාකාරයේ ලිංගික අසහනවලින් පෙළෙන අයවලුන් බවයි.

 

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් රොෂාන් නමැත්තාද එවැනි ලිංගික අසහනයකින් පෙළුණු අයෙකි.

45 හැවිරිදි රොෂාන් කුලියාපිටියේ වෙසෙන වැදගත් පවුල් පසුබිමකට හිමිකම් කියන දෙදරු පියෙකි. සිය බිරිය සමඟද යහපත් පවුල් දිවියක් ගතකරමින් සිටි රොෂාන් මීගමුවේ පෞද්ගලික ආයතනයක රැකියාව කළ විධායක නිලධාරියෙකි. දිනපතා සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් රැකියාවට යන රොෂාන් කලෙක සිටම බිරියටද නොදැනුණු කිසියම් ලිංගික අසහනයකින් පෙළෙමින් සිටි අයෙකි.

තමා විඳින ලිංගික අසහනයට පිළියමක් සොයමින් සිටි රොෂාන්ට දිනක් සිහිපත් වූයේ,

“ෆේස්බුක් එකේවත් පෝස්ට් එකක් දැම්මනම්හරි... මගේ අවශ්‍යතාව ලේසියෙන්ම ඉටුකරගන්න තිබුණා...“ එහෙත් ඊට මඳක් රොෂාන් අදිමදි කළේ තමාගේ අසහනය සිය ෆේස්බුක් මිතුරන්ද දැනගන්නා හෙයිනි. ඉන් තමන්ට මහත් අපහසුතාවන් රැසක්ම අත්විඳින්නට සිදුවන බවටද ඔහුට ඒත්තු ගියේය. එහෙත් ඔහු කෙසේ හෝ සිය අසහනය දුරු කරගැනීමට අදිටන් කරගත්තේය.

ඒ අනුව රොෂාන් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කළේ සිය අසහනකාරි අවශ්‍යතාව සඳහාමය. ගිණුම විවෘත කළ සැණින් රොෂාන් එහි ‘පෝස්ට්ටුවක්‘ පළ කළේ දුරකථන අංකයද සඳහන් කරමිනි. එම ෆේස්බුක් පෝස්ට්ටුව තනිකරම ‘කුණුහරුපයකි.‘

කෙසේ වුවද රොෂාන් පළ කළ පෝස්ට්ටුව සැකෙවින් සඳහන් කළහොත් ඔහු විවාහ ජීවිත ගතකරන අඹුසැමියන් සමඟ එකට සිටිමින් ලිංගිකව හැසිරීමට ආරාධනා කර තිබිණි. එම පෝස්ට්ටුව පළවී ගතවී තිබුණේ පැය කිහිපයකි. මතුපිටින් නොපෙනුණත් ලිංගික ජීවිතයේ අවුල්වියවුල් අඹුසැමියන් කිහිප දෙනෙක්ම රොෂාන් ඇමැතූහ.

ඒ බොහොමයක් දෙනා මීගමුව සහ ගම්පහ ප්‍රදේශයේ අසහනයට පත් අඹුසැමියන්ය. අනතුරුව ඔවුහු සමඟ නොයෙක් ස්ථානවලදී මෙකී විවාහක තරුණයාද සිය අසහනය සංසිඳුවා ගැනීමට කටයුතු කර තිබුණේය.

එලෙස ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් රොෂාන් විසින් පළ කර තිබූ අසැබි පෝස්ට්ටුව ඇස ගැටුණු අයෙක් ඒ පිළිබඳ හෝඩුවාවක් දී තිබුණේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරියෙකුටය.

ඒ අනුව මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලදී.

ස්ථානාධිපතිවරයා විසින් මෙකී අසහනකාරි පුද්ගලයා කොටුකර ගැනීමට සූක්ෂ්ම දැලක් එළීය. එහිදී සිය කාර්යාංශයේ සාජන්වරියක සහ කොස්තාපල්වරයකු විවාහක ජෝඩුවක් සේ රඟපෑමකට යොමු කෙරිණි.

ඔවුන් දෙදෙනා රොෂාන්ගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමේ වූ අසැබි පෝස්ටුවේ සඳහන් දුරකථන අංකයට ඇමැතුමක් ගෙන තිබුණේය. අනතුරුව ඔවුන් දෙදෙනා සිය දුක්ගැනවිල්ල අකුරක් නෑර රොෂාන්ට පැවැසීය. එහිදී රොෂාන් කොන්දේසි විරහිතව ඊට කැමැති වූයේ මීගමුවේම ‘කපල්‘ එකක් බවටද කියූ නිසාවෙනි. සිය රංගනය ‘තිත‘ටම සිදු කරමින් පොලිස් යුවළ රොෂාන්ට කීවේ,

“අපට ටිකක් හදිසියි අයියේ... කොහොමද අයියව ඉක්මනටම හම්බු වෙන්නෙ...“

ඊට ක්ෂණිකවම ප්‍රතිචාර දක්වමින් රොෂාන් සඳහන් කළේ, “මෙහෙමයි මල්ලි... අපි ඉක්මනින්ම හමුවෙමු... මං ඔයාලට උදවු කරන්නම්... මේ වෙනකොට මං බොහෝ දෙනෙකුට උදවු කරලා තියෙනවා...“

ලැබුණු දුරකථන ඇමැතුමෙන් ඉහේ මලක් පිපුණා සේ සිටි රොෂාන් එම ජෝඩුව සමඟ ලිංගිකව හැසිරීමට මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරණ හෝටලයක් යොදාගත්තේ දිනය සහ වේලාවද කතිකා කරගනිමිනි.

ඒ අනුව පසුගියදා එම හෝටලය අසලට රොෂාන් පැමිණියේය. හෝටලය තුළට ‘පොලිස් කපල්‘ එකට අමතරව ඒ අවට සිවිල් ඇඳුමින්ද සැරැසුණු විමර්ශන නිලධාරින් කිහිප දෙනෙක්ම යෙදවීමටද පොලිස් ස්ථානාධිපති සම්පත් දිසානායක කටයුතු කළේය.

රොෂාන් සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් පැමිණියේය. රොෂාන් විවාහකයන් සේ හැසිරුණු පොලිස් ජෝඩුව සමඟ කතාබස් කරමින් දෙදෙනාද මෝටර් රථයට නංවාගෙන වෙනත් ස්ථානයකට යෑම සඳහා සැරැසුණා පමණි. අවට සිටි පොලිස් නිලධාරින් විසින් රොෂාන්ව අත්අඩංගුවට ගත්තේ මෝටර් රථයද සමඟිනි.

පොලිස් ස්ථානයට රැගෙන ආ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී කලෙක සිටම තමා විඳි ලිංගික අසහනයට ලිංගික ගැටලුවලින් පීඩා විඳි බොහෝ අඹුසැමියන් සමඟ හැසිරුණු බව සඳහන් කළේය. එසේම රොෂාන්ගේ බිරිය පොලිස් නිලධාරින් ඉදිරියේ හඬා වැටෙමින් පවසා තිබුණේ, තම සැමියා මෙවැනි අසහනයකින් පෙළුණු බවට කිසිවක් දැන නොසිටි බවයි.

අයාලේ ගොස් පුද්ගලයන් වරදට පොලඹවා ගැනීමේ යන චෝදනාව යටතේ රොෂාන්ව නීතිය හමුවට කැඳවීමට පොලිසිය කටයුතු කළේය. එහිදී අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි. පසුව ඔහුව රුපියල් ලක්ෂ හතරක ශරීර ඇපයක් මත මුදා හැර තිබුණේ දැඩි සේ අවවාද කරමිනි.

මේ අතර මෙවැනිම තවත් අසහනකාරයෙකුද පසුගියදා පොලිසියට කොටු විණි. අසංක නමැති ඔහු කළුතර, බදුරලියේ පදිංචිකරුවෙකි. ගුවන් හමුදා සාමාජිකයෙකු වන 25 හැවිරිදි අවිවාහකයෙකු වන අසංකත් දැඩි ලිංගික අසහනකාරයෙකි. බොහෝ සේ අසභ්‍ය චිත්‍රපට බැලීමට මෙන්ම අසැබි ඡායාරූප ළඟ තබා ගැනීමට ලොල් වූවකු වන අසංකද ෆේස්බුක් ඔස්සේ ලිංගික අසහනයට පිළිතුරු සෙවූ අයෙකි.

කෙසේ හෝ අසංක පෙළුණේද අමුතුම ආකාරයේ ලිංගික අසහනයකිනි. ඒ අනුව අසංක විසින් මීට වසර කීපයකට සිටම ෆේස්බුක්හි ‘බිරින්දෑවරු හා ස්වාමිපුරුෂයන් බෙදාගැනීමේ සංගමය‘ නමින් ‘විවාහකයන් සඳහා පමණි‘ යනුවෙන් සඳහන් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන ගොස් තිබුණේය. එහි සාමාජිකයන්ද 42,500ක් පමණ සිටි බවකි.

එම ෆේස්බුක් සමාජයට එක්වන විවාහක අඹු සැමියන් හට වෙනත් විවාහක අඹු සැමියන් හා ලිංගිකව එක්වීමට අවස්ථාව සලසා දෙමින් මෙකී අසහනකාරයා සිය අසහනයන් සංසිඳුවාගෙන ඇත. ඊට අමතරව එම ෆේස්බුක් පිටුවෙහිම නොයෙකුත් අසැබි ලිපි ‍ලේඛනද ඇතුළත් කිරීමට ඔහු ඊට සම්බන්ධ වූවන්ට අවසර දී තිබුණේද සිය ලිංගික අසහනය දුරු කරගැනීමේ නොතිත් ආශාවෙනි.

කලෙක සිටම එලෙස කටයුතු කරමින් ෆේස්බුක් පිටුව පවත්වාගෙන ගිය අසංක පසුගිය දිනෙක එම ෆේස්බුක් සමාජ පිටුවෙහි කාන්තාවකගේ අසැබි ඡායාරූපයක්ද සමඟ ව්‍යාජ ලිංගික ලියවිල්ලක් පළ කර තිබිණි. ඉන් වැඩ වැරදුණු අසංක පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්විණි. ඒ කාන්තාවන්ගේ අසැබි රුප සහිත ජංගම දුරකථනයක්ද සමඟිනි. අනතුරුව ඔහු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අසභ්‍ය ලිපි ලේඛන ඔස්සේ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මතයි.

මෙලෙස සමාජ මාධ්‍යයන්හි ලිංගික අසහනකාරින් විසින් පළ කරන සහ බෙදාහරින ‘පෝස්ට්‘ පිළිබඳව පොලිසිය දැඩි අවධානයෙන් සිටින බවත් එවැනි පුද්ගලයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය නිරතුරුවම නවීන තාක්ෂණය සමඟ කටයුතු කරමින් සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

සමාජ මාධ්‍ය ප්‍රචලිත වීමත් සමඟින් මෙවැනි ලිංගික අසහනකාරයන් ෆේස්බුක් ඇතුළු බොහෝ සමාජ මාධ්‍යයන්හි නිරත්තරවම සැරිසරති. එම නිසා අන්තර්ජාල සමාජ මාධ්‍යයන්හි සැරිසරන මෙවැනි ලිංගික අසහනකාරයන්ගෙන් ප්‍රවේශම් වීමට සැවොම වග බලා ගත යුතුය. එසේම මෙවැනි ලිංගික අසහනකාරින් විවාහක අවිවාහක බේදයකින් තොරව සියලු දෙනාම තම ගොදුරු කරගැනීමට මාන බලමින් සිටින හෙයින් නැති ප්‍රශ්න ඇතිකර නොගෙන මෙවැනි අසහනකාරින්ගෙන් පරෙස්සම් වීමට වග බලා ගනිමු. තවද මෙවැනි අසහනකාරින්ද කිසියම් මොහොතක හෝ නීතියේ රැහැනට කොටු වන බව හොඳින්ම වටහාගෙන සිටීමද වැදගත්ය.

Comments