කලා­පීය සහ­යෝ­ගී­තාවේ පෙර­ග­මන්කරුවා බිම්ස්ටෙක් | Page 2 | සිළුමිණ

කලා­පීය සහ­යෝ­ගී­තාවේ පෙර­ග­මන්කරුවා බිම්ස්ටෙක්

 

 

ලොව සෑම කලාපයකම කලාපීය වශයෙන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා රටවල් එකතු වී සංවිධාන පිහිටුවා ගැනීම නූතන ප්‍රවණතාවයකි. එලෙස අප්‍රිකානු රටවල්, අරාබි රටවල්, උතුරු හා දකුණු ඇමෙරිකානු රටවල්, ආසියානු රටවල් හා යුරෝපියානු රටවල් කලාපීය වශයෙන් පිහිටුවාගත් සංවිධාන බොහොමයක් වේ. මෙලෙස රටවල් කලාපීය වශයෙන් එකතු වී සංවිධාන පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණු දෙකකි. ඉන් පළමු වැන්න නම් කලාපීය වශයෙන් තමන් මුහුණපාන ගැටලුවලට සංවිධානාත්මකව මුහුණ දීමය. දෙවැන්න රටවල් අතර තාක්ෂණික හා ආර්ථික දැනුම හුවමාරු කරගනිමින් ආර්ථික වාසි ළඟා කරගැනීම ය.

 

සාමාන්‍යයෙන් කලාපීයව රටවලට මුහුණ දීමට සිදුවන්නේ එක හා සමාන ගැටලු වලටය. ඒ සඳහා සංවිධානාත්මකව මුහුණ දීම එ් ගැටලු‍ නිරාකරණය කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ. ඒ අනුව තම රටවලට මුහුණදීමට සිදුවන ගැටලුවලදී කලාපීය අනෙකුත් රටවල් සමඟ එකතු වී කටයුතු කිරීමෙන් ඒවාට ශක්තිමත්ව මුහුණ දිය හැකි පරිසරයක් නිර්මාණය වේ. මෙකී අරමුණ සාක්ෂාත් කර ගනුවස් 1997 වසරේ දී ශ්‍රී ලංකාව ඇතුළු බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් හතරක් එකතු වී පිහිටුවාගත් සංවිධානය බිම්ස්ටෙක් නමින් හඳුන්වයි. අද වන විට මෙහි සාමාජික රටවල් සංඛ්‍යාව හතකි. 1997 වසරේ ජූනි මාසයේ දී යි. බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, හා තායිලන්තය මෙහි ආරම්භ සාමාජිකයන් වූ අතර, ආරම්භයේ දී මෙම සංවිධානය හැඳින් වූයේ BIST-EC (Bangladesh, India, Sri Lanka, and Thailand Economic Cooperation) නමිනි. පසුව එම වසරේ දෙසැම්බර් මාසයේ දී මියන්මාර ද, 1998 වසරේ දී නේපාලය ද, 2004 වසරේ භූතානය ද මෙම සංවිධානය හා එකතු විය. 2004 වසරේ සංවිධානයේ නම බිම්ස්ටෙක් ලෙස වෙනස් කරන අතර එහි තේරුම වන්නේ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්කේ එකඟතාව (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation) යන්නයි. මේ තුළ සාමාජිකත්වය දරන්නේ දකුණු ආසියානු රටවල් හා ගිනිකොණදිග ආසියානු රටවල්ය. එක් රටක සමුළුවක් පැවැත් වූ පසු ඊළඟ සමුළුව සඳහා රටක් තෝරාගන්නා අතර, එම තෝරාගත් රටේ රාජ්‍ය නායකයා ඊළඟ සමුළුව පැවැත්වෙන තුරු බිම්ස්ටෙක්හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඒ අනුව මෙවර එහි සභාපතීත්වය දරන්නේ ශ්‍රී ලංකා ‍ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ය.

ඒ අනුව පසුගිය 06 වැනිදා පැවති බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සුභාශිංසන එක්කරමින් කියා සිටියේ “බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ 24 වන සංවත්සරය සමරන අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව වෙනුවෙන් සුභාශිංසන එක් කිරීමට ලද මෙම අවස්ථාව තමන් ඉතා ගෞරවයක් ලෙස සලකන බවයි. එසේම වර්ෂ 1997 දී ශ්‍රී ලංකාවට මෙම ගෞරවාන්විත සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වීමට ලැබීම මහත් අභිමානයට ද හේතු වූ බවයි.

තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා " බිම්ස්ටෙක් සංවිධානයේ වර්තමාන සභාපතිවරයා වශයෙන්, 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම ඇතුළුව ප්‍රධාන බිම්ස්ටෙක් රැස්වීම් අටක් ශ්‍රී ලංකාව විසින් පවත්වන ලද අතර මෙම රැස්වීම්වල ප්‍රතිඵලයන් ලෙස සමාජික රටවල් සාමුහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත්, බිම්ස්ටෙක් සංවිධානයේ අංශ සහ උප අංශ වඩාත් විධිමත්කරණය සිදු කිරීම උදෙසා එකඟත්වයක් ඇතිකර ගැනීමටත්, බිම්ස්ටෙක් සමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික විද්‍යාතන/පුහුණු ආයතන අතර සහයෝගීතාවට ද්විපාර්ශ­්වික අවබෝධතා ගිවිසුමකට එළැඹීමටත් හැකි වූ අතර, මේ තීරණ 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවයි. මෙම ප්‍රතිඵල ලබා ගැනීමට මහ ලේකම් කාර්යාලය ප්‍රශංසානාත්මක සහයක් සහ අවශ්‍ය පහසුකම් සැලසීය. කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කරන ආකාරය සහ සාමාජික රටවල සංචරණ සීමා ලිහිල්වන ආකාරය අනුව ශ්‍රී ලංකාව 5 වැනි බිම්ස්ටෙක් සමුළුව, මේ වසරේ අගභාගයේ දී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව පැවසීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි" යි කියා සිටි ජනාධිපතිවරයා, බිම්ස්ටෙක් සංවිධානය ලෝක ජනගහනයෙන් 22% ක ප්‍රමාණයක් නියෝජනය කළ ද එය ලෝක දළ දේශීය නිෂ්පාදනයට සපයන දායකත්වය 4 %ක් එබැවින්, කලාපීය අභියෝග හඳුනාගැනීමට සහ සහයෝගී සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා පවතින බොහොමයක් අවස්ථා ග්‍රහණය කර ගැනීමට, සාමාජික රටවල් තවදුරටත් සහයෝගීතාව වර්ධනය කළ යුතු බව පැවසීය.

පෙර ලෙසම සියලු බිම්ස්ටෙක් මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාව තම උපරිම කැපවීම ලබා දෙන බවට සහතික වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් "අපගේ ජනතාවට සෞභාග්‍යය සහ සාමය උදා කරනුවස් බිම්ස්ටෙක් සංවිධානයේ සියලු සාමාජික රටවල් හා එකමුතුව ක්‍රියාත්මක වෙමු යැයිද පැවසීය.

මෙතෙක් පවත්වා ඇති රැස්විම්වල ප්‍රතිඵල ලෙස සාමාජික රටවල් සාමූහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත්, බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවට ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකි වූ බවත් පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එම තීරණ පස්වෙනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහ විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන

කලාපීය අභියෝග හඳුනා ගැනීමට සහ සහයෝගී සංවර්ධනයක් ළඟා කරගැනීම සඳහා පවතින බොහොමයක් අවස්ථා ග්‍රහණය කරගැනීමට සාමාජික රටවල් තවදුරටත් සහයෝගීතාව වර්ධනය කරගත යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් සිය බිම්ස්ටෙක් දින පණිවුඩය මඟින් පවසා සිටියේ "බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහය යෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ බිම්ස්ටෙක් (BIMSTEC)24 වැනි සංවත්සරය පිළිබඳ විශේෂ අවස්ථාව වෙනුවෙන්, සියලුම සාමාජික රටවල් සහ එම සංවිධානය වෙත තම සුබ පැතුම් පිරිනැමන බවයි. පසුගිය වසර 24 තුළ දී අපයේ කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධි සඳහා බිම්ස්ටෙක් සංවිධානය විසින් විශාල දායකත්ව ක් ලබා දී තිබේ. අපගේ ජනතාවන්ගේ යහපත උදෙසා ඉදිරි වසරවලදී අපගේ මිත්‍රශීලී සබඳතාව සහ සාමාජික රටවල් සහ මහලේකම් කාර්යාලය අතර පවත්නා යහපත් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර වැඩි දියුණු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හෙතෙම පැවසීය.

එසේම කොවිඩ්-19 වසංගතය නිසා මිනිස් ජීවිතවල සිදු වූ පෙර නොවූ විරූ විනාශය හේතුවෙන් ලෝකය විශාල ආර්ථික හා සමාජ අර්බුදයක් සමීපයේ සිටින බැවින්, සාමාජික රටවල විශේෂඥතා ක්ෂේත්‍රවල සහයෝගීතාවයෙන් සාමාජික රටවල ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා කලාපී සහයෝගීතාවක් ලෙස බිම්ස්ටෙක් සංවිධානය වැදගත් සහයෝගී භූමිකාවක් ඉටු කළ යුතු බවත්, මෙහි ආරම්භක සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව, වසංගත කාලයක දී පවා බිම්ස්ටෙක්හි ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යෑම සඳහා අඛණ්ඩව දායක වූ සියලුම සාමාජික රටවලට සිය ආචාරය පිරිනමන බවත් පැවසීය.

බිම්ස්ටෙක් හි ප්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල, තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීමය. ඒ අනුව මෙම රටවල් අතර සිදුවන ආනයන-අපනය වෙ‍ෙළඳාම තීරුබදු රහිතව කරගෙන යාම මෙහි මූලික අරමුණු අතර වේ. මීට අමතරව රටවල් පොදුවේ මුහුණ පාන ප්‍රශ්න හා ස්භාවික විපත්වලදී ඊට සාමූහිකව මුහුණ දීම සහ තීරණ ගැනීම ද මෙමඟින් සිදු වේ.

මෙහි දී ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර දහහතරක් ඔස්සේ මෙකී අරමුණු ක්‍රියාවට නැංවේ. එවා නම් වෙළඳාම හා ආයෝජනය, ප්‍රවාහනය හා සන්නිවේදනය, බලශක්තිය, සංචාරක කර්මාන්තය, තාක්ෂණය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, මහජන සෞඛ්‍ය, දුප්පත්කම අවම කිරීම, ත්‍රස්තවාදය මැඬ පැවැත්වීම, ස්භාවික විපත් කළමනාකරණය, මහජන සම්බන්ධතා, සංස්කෘතික සම්බන්ධතා හා දේශගුණික වෙනස් වීම් ආදී ක්ෂේත්‍රයන්ය. නමුත් වර්තමානය වන විට එය ක්ෂේත්‍ර හතක් දක්වා අඩු කර රට රටවලට එහි නායකත්වය ලබාදී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව විද්‍යාව, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයට නායකත්වය ලබාදෙන අතර ඊට අමතරව සෞඛ්‍ය සහ මානව සම්පත් සංවර්ධනය සඳහා සහයෝගීතාවය ලබා දේ.

බංග්ලාදේශය වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයටත්, භූතානය පරිසර හා කාලගුණික විපර්යාස ක්ෂේත්‍රයටත්, මියන්මාරය කෘෂිකර්ම හා ආහාර සුරක්ෂිතතා ක්ෂේත්‍රයටත්, ඉන්දියාව ආරක්ෂාව (ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික අපරාධ, ආපදා කළමනාකරණය සහ බලශක්තිය) සම්බන්ධ ක්ෂේත්‍රයටත්, නේපාලය අන්තර් පුද්ගල සබඳතා (සංස්කෘතිය, සංචාරක, සිතීමේ සංසද, මාධ්‍ය ආදිය) ක්ෂේත්‍රයටත්, තායිලන්තය සබඳතා ක්ෂේත්‍රයටත් නායකත්වය ලබා දේ.

බිම්ස්ටෙක් (BIMSTEC)සංවිධානය හරහා දකුණු ආසියානු හා ගිනිකොණදිග ආසියානු රටවල් අතර මනා වෙළෙඳ හා ආර්ථික සම්බන්ධතාවක් නිර්මාණය වන අතර, මෙම සංවිධානයේ රටවල් සාර්ක් සංවිධානයේ හා අනෙකුත් ආසියානු කලාපීය සංවිධානවලට අයත් රටවල් බැවින් එම සංවිධාන අතර ද සම්බන්ධතාව වර්ධනය කර ගැනීමටද මින් හැකියාව ලැබේ.

බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල බිලියන 1.5ක ජනතාවක් වාසය කරන අතර එය ලෝක ජනගහනයෙන් 22%ක් පමණ වේ. රටවල් හතේ දළ ජාතික නිෂ්පාදිතයේ එකතුව ට්‍රිලියන 2.7ක් පමණ වන අතර, පසුගිය වසර 05 ක කාලය තුළ (කෝවිඩ් වසංගතය පැමිණීමට ප්‍රථම) මෙම රටවල්වල ආර්ථික වර්ධන වේගය 6.5%ක සාමාන්‍යයක් දැකිය හැකි වූ බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය.

බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයට අයත් සියලු රටවල් මුහුණ දෙන අභියෝගයන් අතරින් ප්‍රධානතම අභියෝග වන්නේ රාජ්‍යයන්වල පවතින දූෂණ, වංචා හා අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය ජාවාරම හා ඒ ඔස්සේ සිදුවන මිනිස් ඝාතන, අවි ජාවාරම සහ ත්‍රස්තවාදයයි.

මේ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ අත්දැකීම් හා දැනුම මහත්සේ පිටුවහලක් විය හැකි බව කලාපීය සමාජ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

Comments