ජීවිතය සුවපත් කරගන්න පළිඟුවක් තෝරන අයුරු | සිළුමිණ

ජීවිතය සුවපත් කරගන්න පළිඟුවක් තෝරන අයුරු

 

 

 

පළිඟු පිළිබඳ මූලික අවබෝධය පසුගිය ලිපි කීපය හරහා ලබාදුන් අතර මෙවර ලිපියෙන් පළිඟු භාවිත කළ හැකි ආකාර හා තමන්ගේ භාවිතය සඳහා පළිඟු තෝරා ගන්නා ආකාරය ගැන සාකච්ඡා කෙරේ. සෑම පළිඟුවකම පුද්ගලයකුගේ ශාරීරික, මානසික, චිත්තවේගී හා ආධ්‍යාත්මික සුවයේ සමබරතාවට හා දියුණුවට පිටුවහලක් වන ශක්තීන් ගණනාවක් ගැබ්ව ඇති බව දැන් ඔබ දන්නා කරුණක්. මෙම ශක්තීන් අපගේ ජීවිතයට එක්කර ගැනීමට පළිඟු තෝරා ගන්නේ කෙසේ ද? ඉන් අනතුරුව ඒවා භාවිතයට ගනු ලබන්නේ කුමණ ආකාරයට ද යන්න අවබෝධ කරගත් පසු, එම අවශ්‍යතාවයට ගැළපෙන අයුරින් විශාල නිධි කැබලි, ආභරණ, විවිධ හැඩතල අනුව ඔප දැමූ කුඩා පළිඟු ආදී වශයෙන් අද වෙළෙඳ පොළෙන් මිල දී ගත හැක.

 

පළිඟු මිලදී ගැනීමෙන් පසු පළිඟු පිරිසිදු කිරීම අත්‍යවශ්‍යය. ඉන්පසු පළිඟුව අතැතිව ඔබ එම පළිඟුවෙන් බලාපොරොත්තු වන දෙය අධිෂ්ඨාන කිරීම පළිඟුවක් භාවිතයට ගැනීමට පෙර කළ යුතු වතාවතක් ලෙස පිළිගැනෙයි.

ඔබ ඒ බලාපොරොත්තු වූ කාර්ය සපල වීමෙන් පසු, වෙනත් කරුණකට වුවද අධිෂ්ඨාන කළ හැක.

 

පළිඟු තෝරා ගැනීම

පළිඟුවක් තෝරාගැනීමේදී ඔබ කුමක් සඳහා මෙම පළිඟු භාවිත කරන්නේද යන්න ප්‍රධාන කාරණයයි. ඔබේ මානසික හෝ ශාරීරික අපහසුතාවක්, අසනීප තත්ත්වයක් වෙනුවෙන් පළිඟු භාවිත කරන්නේද, ඔබගේ ආධ්‍යාත්මික වර්ධනය සඳහා භාවිත කරන්නේද, ඔබ සිටින නිවෙසේ හෝ කාර්යාලයේ ධනාත්මක ශක්තී වර්ධනය කිරීමට, ඍණාත්මක ශක්තීන් ඉවත් කොට ධනාත්මක ශක්තීන් ආකර්ෂණය කර ගැනීමට භාවිත කරන්නේද ආදී වශයෙන් ඔබගේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්.

නමුත් යම් අවස්ථාවලදී ඔබට යම් පළිඟුවක් සඳහා දැඩි ආසාවක්, ආකර්ෂණයක් ඇතිවේ නම් එම පළිඟුව ද ඔබට ඉතා හොඳින් ගැළපෙන අතර මෙවැනි අවස්ථාවලදී එම පළිඟුව ඔබගේ ජීවිතයට එක් කර ගැනීම වඩාත් සුදුසු බව පළිඟු පිළිබඳ අධ්‍යයනයයේදී පවතින පොදු පිළිගැනීමයි. පළිඟු පිළිබඳ අධ්‍යයනයය කරන පර්යේෂකයන්ගේ පොදු අදහසට අනුව ඔබට පළිඟුව පිළිබඳ ආකර්ෂණයක් ඇති වනුයේ පළිඟු විසින් ඔබව තෝරාගනු ලැබ ඇති නිසයි.

පළිඟු එදිනෙදා ජීවිතයේ දී භාවිත කළ හැකි ආකාර ඔබගේ අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත් පසු ඒ අනුව පළිඟු භාවිතය සිදු කළ හැකියි.

 

ආභරණ ලෙස පැලඳීම

 

අලංකාරය සඳහා පළිඟු ආභරණ ලෙස බහුලව භාවිත කරනවා මෙන්ම ශාරීරික හෝ මානසික දුබලතාවක් සුව කරගැනීම වෙනුවෙන් භාවිත වන පළිඟුව ශරීරය සමඟ ස්පර්ෂ වීම වැදගත් වන බැවින් එය ආභරණයක් ලෙස පැලඳීම ද බහුලව දැකිය හැකියි.

 

සාක්කුවේ හෝ පසුම්බියේ පළිඟු තැම්පත් කිරීම

පළිඟු ආභරණක් ලෙස පැලඳීමට අකමැති පුද්ගලයෝ ශරීරයට ආසන්නව ඒවා තබා ගත හැකියි. බොහෝ විට එවැන්නෝ පළිඟු සාක්කුවේ හෝ පසුම්බියේ රැගෙන යති. ධනය ආකර්ෂණය කිරීමේ ශක්තිය ඇති Citrine පළිඟුව වැනි පළිඟු වර්ග පසුම්බියේ, සේප්පුවෙ, මුදල් ලාච්චුවේ තැන්පත් කිරීමෙන් එහි ඇති මුදල් ආකර්ෂණය කිරීමේ ශක්තිය ඉහළ නැන්වෙන බව ප්‍රචලිතය.

භාවනාව සඳහා පළිඟු භාවිතය

ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තුවන පුද්ගලයන් පළිඟු අතැතිව භාවනා කිරීම ද ඉතා බහුලව සිදුවේ. පළිඟු ශරීරයේ විවිධ චක්‍ර හා සබැඳිව කටයුතු කරන බැවින් භාවනාවේදී ඇතැම් චක්‍ර අවදි කිරීමට හා මනසෙහි ඒකාග්‍රතාව වැඩි දියුණු කිරීමට එලෙස පළිඟු යොදා ගනී යි.

 

ස්නානය කරනු ලබන ජලයට පළිඟු දැමීම

මෙය පළිඟු භාවිත වන තවත් ප්‍රචලිත ක්‍රමයක්. ස්නානය කරන ජලයට පළිඟු එක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජලය ධනාත්මක ශක්තියෙන් වැඩි කිරීමයි. බාත් ටබ් එකක ස්නානය කරන්නේ නම් පුරවා ගත් ජලයට පළිඟු එක්කර එහි බැස පැයක් පමණ සිටීමෙන් ඉතා සුවදායි අත්දැකීමක් ලබා ගත හැක.

 

මණ්ඩල තැනීම

පළිඟු භාවිතයෙන් යම් යහපත් අධිෂ්ඨානයකින් යුතුව ජ්‍යාමිතික ස්වරූප නිර්මාණය කිරීම පළිඟු භාවිත කරන්නන් අතර දැකිය හැක. එසේ සැකසෙන මණ්ඩල ඉතා ප්‍රබල ශක්තියක් ගැබ් වන අතර, ඔබ අධිෂ්ඨාන කරනු ලබන කාරණය සපල වීමට පළිඟු භාවිතයෙන් සැකසෙන මණ්ඩල ශක්තිය ද එකතුවේ. මණ්ඩල තැනීමේදී බලාපොරොත්තු වන ප්‍රතිඵලයට ඉවහල්වන ශක්තීන් උපදවා ගත හැකි පළිඟු තෝරා ගැනීම අත්‍යවශ්‍යය.

ජීවත්වන අවකාශය ධනාත්මක ශක්තියෙන් වැඩි කර ගැනීම

පළිඟු භාවිතයෙන් ඔබගේ නිවෙසේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇති ඍණාත්මක ශක්තීන් ඉවත් කිරීමටත්, ධනාත්මක ශක්තීන් ආකර්ෂණය කර ගැනීමටත්, ධනාත්මක ශක්තින් වර්ධනය කර ගැනීමටත් හැක. මේ සඳහා විශාල පළිඟු කැබලි ඔබගේ නිවෙසේ අවකාශයේ තැබිය හැක. නිදසුනක් ලෙස Unakite වැනි පළිඟු පරිගණක, දුරකථන ආදී මෙවලම් වලින් පිට කරනු ලබන විද්‍යුත් තරංග අවශෝෂණය කර මනුෂ්‍ය ශරීරයට හානි පැමිණවීම අවම කරන අතර රෝස තිරිවානා (rose quotes)වැනි පළිඟු ඔබේ නිවෙසේ සාමය, ආදරය, එකමුතු බව වැනි ධනාත්මක ශක්තියෙන් වැඩි කරයි.

 

විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා භාවිත කිරීම

ඈත අතීතයේ පටන් පළිඟු විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා බහුලව භාවිත වේ. මේ සඳහා විවිධ හැඩවලින් යුතු හෝ විවිධ හැඩවලට කැපූ පළිඟු ප්‍රධාන වශයෙන් භාවිත කරයි.

 

(ලබන සතියේ මානසික ආතතියෙන් මිදීමට භාවිත කෙරෙන පළිඟු වර්ග)

Comments