වේහැල්ල සංඝ පර­ම්ප­රාවේ නිර්මාතෘ වේහැල්ලේ ධම්ම­දින්න නාහි­මියෝ | සිළුමිණ

වේහැල්ල සංඝ පර­ම්ප­රාවේ නිර්මාතෘ වේහැල්ලේ ධම්ම­දින්න නාහි­මියෝ

වර්තමානය තෙක් විහිදී ආ ධර්ම ශාස්ත්‍ර පුනස්ථාපන කර්තව්‍යයට උර දුන් පහත රට භික්ෂු පරපුරේ ආදිකර්තෘ ලෙස තිස්සමහාරාමාධිපතිව වැඩවාසය කළ කදුරුපොකුණේ නවරත්න බුද්ධරක්ඛිත තෙරණුවෝ ගෞරව බහුමානයට ලක් වෙති. වැලිවිට සරණංකර හිමියන් කන්ද උඩරට කේන්ද්‍ර කොට ගනිමින් ධර්ම ශාස්ත්‍ර පුනර්ජීවන කටයුතු ආරම්භ කරන අවස්ථාවේ උන්වහන්සේගේ සද්ධිවිහාරික ලෙස ධර්ම ශාස්ත්‍ර ඥානය ව්‍යාප්ත කිරීමට ප්‍රතිෂ්ඨා වූ සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරයන් කදුරුපොකුණේ හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ අතර ඒ් වන විට පහත රට ව්‍යාප්තව පැවති ධර්ම ශාස්ත්‍ර ඥානය සිටිනාමළුවේ සාමණේරයන් වහන්සේ මනා ලෙස උකහා ගෙන තිබුණා පමණක් නොව උන්වහන්සේගේ පාණ්ඩිත්‍යය කන්ද උඩ රට කරාද පැතිර තිබිණ. වැලිවිට සරණංකර හිමියන් ධර්ම ශාස්ත්‍ර පුනස්ථාපන පරිශ්‍රමය ආරම්භ කරන අවස්ථාවේ උන්වහන්සේගේ සද්ධිවිහාරිකව උඩරට වෙසෙමින් ඒ් සත් ක්‍රියාවට දායක වූවන්ගේ ප්‍රමුඛස්ථානය සිටිනාමළුවේ හිමියන්ට අත් වූයේ එබැවිනි. සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරනම උපසම්පදාව ලබන විට 81 වැනි වියේ පසු වූ අතර උපසම්පදාවෙන් පසු පහතරටට වැඩම කළ සිටිනාමළුවේ හිමියෝ ඇත් බන්ධනේ සහ ගිරුවාපත්තුව භාරව කටයුතු කළ සෙනරත් සෙනෙවිරත්න කහඳාවේ මුදලිතුමා තනවා පූජා කළ කහඳාව ආරාමයේ වැඩවාසය කරමින් ලෝක සාසන වර්ධනයෙහි නිමග්නව සිට අවසන ඒ ආරාමයේදීම අපවත් වූහ.

කදුරුපොකුණේ හිමියන්ගේ නැගණියන් කෙනෙක වූ කදුරුපොකුණේ නවරත්න පොඩි මැණිකේ විවාහ වූයේ වේහැල්ල බෙත්ම වලව්වේ විසූ විජේසිරි ගුණතිලක වික්‍රමරත්න දිශානායක ලොකු මහත්මයා සමඟය. ඔවුන්ට දරුවන් තිදෙනකු සිටි අතර 1679 වර්ෂයේ මැයි මස 29 වැනි දින ජන්ම ලාභය ලද විජේසිරි ගුණතිලක වික්‍රමරත්න දිශානායක අප්පුහාමි නමැති වැඩිමහල් දරුවා දොළොස් හැවිරිදි වියේදී තිස්මහාරාමයේදී කදුරුපොකුණේ හිමියන් වෙත පැවිදිව සිටිනාමළුවේ හිමියන්ගෙන් ධර්ම ශාස්ත්‍ර ඥානය උද්ග්‍රහණය කළේය. සිය උපාධ්‍යායයන් වහන්සේ සේම වැඩි දුර ධර්ම ශාස්ත්‍ර ඥානය සහ උපසම්පදාව ලබා ගැනීමට රිසි වූ වේහැල්ලේ ධම්මදින්න සාමණේරයෝ 1728 වර්ෂයේදී කන්දඋඩරට බලා වැඩම කළහග වේහැල්ලේ ධම්මදින්න ස්වාමීන්ද්‍ර ශාසන ඉතිහාසය නමින් ග්‍රන්ථයක් සම්පාදනය කළ කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ ඒ් පුවත මෙසේ විස්තර කරති. දුටුවන් පහදනා ආරෝහ-පරිණාහ සම්පත්තියකින් හා තේජාන්විත රූප සෝභාවකිනුත් යුත් වේහැල්ලේ සාමණේරයන් දුටු වැලිවිට සරණංකර ගණනායකයෝ හේ සාදරයෙන් පිළිගෙන තමා ඇතුළු ලෙව්කේ රාළහාමි සහ වටබුළුවේ පල්කුමුරේ අත්ථදස්සි කදිරාගොඩ, සිටිනාමළුවේ (ධම්මජෝති), හීනටිකුමුරේ (සුමංගල), තිබ්බටුවාවේ, (සිද්ධාර්ථ බුද්ධරක්ඛිත), කොබ්බෑකඩුවේ (සිරිනිවාස), පොල්පිටිගම (සිද්ධාර්ථ) හා ගිනිගත්පිටියේ යන සද්ධිවිහාරික සාමණේරවරුන්ගේ සහභාගිත්වයෙන් අරඹා ඇති ශාසනික කටයුතු සඳහා වේහැල්ලේ ධම්මදින්න සාමණේරයන්ද සහභාගි කරගත්හග ඉක්මනටත් ලක්ෂණටත් පුස්කොළ ලිවිමෙහි මෙන්මල සාරගර්භ ධර්මදේශනා පැවැත්වීමෙහිද අතිදක්ෂයෙක් වූ උන්වහන්සේ ජනාදර ගෞරවයට පාත්‍ර වූහ.”

මනා ලෙස බණ දහම් ප්‍රගුණ කළ ධම්මදින්න සාමණේරයෝ විචිත්‍ර ධර්මකථිකභාවය හේතු කොට ගෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ විශේෂ අවධානයට පාත්‍ර වූහ. බණදහම් මනා සේ උගෙන සිය ගම රට බලා පිටත් වීමට සූදානම්ව ඒ් බව රජතුමාට සැල කිරීම සඳහා සඟරජ හිමියන් සමඟ මහ වාසලට වැඩම කළ අවස්ථාවේ ධම්මදින්න හිමියන්ගේ සමත්කම් ගැන පැහැදුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා 1751 වර්ෂයේදී සමනළගල ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය උන්වහන්සේට පිරිනැමූ බව වේහැල්ලේ තඹ සන්නසෙහි මෙසේ සඳහන් වේ.

“උතුම් වූ පනිඋඩ පණත නම්෴ වේහැල්ලේ ධම්මදින්න ගණවොලින් මහ වාසලට හොඳ හිතින් පක්ෂ පිරමානකම් ඇතුව දුක් ගැණ හිටින නිසා සපරගමු දිශාව බද සමනලගල විහාර පදවිය සහ මෙම විහාර පදවියට අඩුත්තු ගොඩ මඩ වල විල් ඉම් ගම ඇතුළුව භුක්ති විඳිනා පනතටත් දිසාවෙන් දෙවොලෙන් පැමිණි කෙනෙකුන්නේ අවුලයක් උද්ධරණයක් නැති වගට෴ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් දෙසිය අනූ හතරක් වූ වෙසඟ පුර පසළොස් වක් ලත් කිවි දින මෙ දවසැ දෙවා වදාළ පනතත්෴මෙසෙම පනිඋඩ පනතයි෴ “

ශ්‍රී පාද නායක පදවියට පත් කෙරෙන අවස්ථාව වන විට ධම්මදින්න සාමණේරයන් උඩරට වැඩම කොට අවුරුදු විසි තුනක් ගත වී ඇති අතර තෙසැත්තෑ වියට එළඹ සිටි සාමණේරයන් මේ කාලය ඇතුළත විශිෂ්ට ධර්ම ශාස්ත්‍ර ඥානයකින් සමෘද්ධව සිටි බව සිතිය හැකිය. 1753 වර්ෂයේ උපසම්පදාව ලද ධම්මදින්න හිමියන්ට මුල් වරට ඇති කෙරුණු පහතරට නායක පදවිය ඇතුළු සබරගමු නායක පදවියද කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පවරන ලදී. ධම්මදින්න හිමියන් තමන්ට ලැබුණු නායක පදවිවලින් බැබළීමට කිසිවිටෙකත් තැත් නොකොට බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා දහමත් ශාස්ත්‍රයත් බැබලවීමට නිබඳවම කටයුතු කළ බව උන්වහන්සේගේ කාර්ය සාධනය විමසන කල පැහැදිලි වෙයි. තමන්ගේ නායක පදවියට අයත් විහාරාරාම සතු දේපළවලින් ලැබෙන මහත් ආදායම යොදවා තම පාලනයට නතු ප්‍රදේශවල පිහිටි ජරාවාසව පැවති විහාරාම රැසක් පිළිසකර කොට භික්ෂූන්ගේ වාසයට සුදුසු පරිදි දියුණු කිරීම ධම්මදින්න හිමියන් ඉටු කළ ප්‍රමුඛ කාර්යයකි. එසේ විහාරාම පිළිසකර කොට ඒ විහාරවල වැඩ විසූ මාතර සබරගමු දෙදිසාවේ සාමණේරවරුන් හතළිස් දෙනමක් උපසම්පදා කිරීමෙන් ධර්ම ශාස්ත්‍ර පුනස්ථාපනයට අවශ්‍ය මූලික පදනම සැකසීමට ධම්මදින්න හිමියෝ සමත් වූහ. පහත රටින් ඇරඹී රත්මලානෙන් කූටප්‍රාප්ත වූයේ උන් වහන්සේ විසින් පදනම දමන ලද ශාස්ත්‍ර මහෝඝය යි.

ධම්මදින්න හිමියන් රාජ්‍ය අනුග්‍රහය ලැබ බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් කාර්යභාරයක් ඉතා සාර්ථක අයුරින් මාතර සබරගමු දෙදිසාවේ කර ගෙන යාම ඉවසා සිටීමට නොහැකි වූ උඩරට භික්ෂූන් කිහිප නමක් ධම්මදින්න හිමියන් ප්‍රමුඛ පහතරට භිෂූන්ට විවිධ ආකාරයේ බාධා සහ අවමාන සිදු කිරීමට උත්සාහ දැරූ සැටි සමකාලීන වාර්තාවලින් අනාවරණය වෙයි. කුල සාධකය මුල් කර ගෙන සිටිනාමළුවේ සහ වේහැල්ලේ හිමිවරුන් දෙදෙනාටම අවමන් කිරීම මේ අතුරින් කැපී පෙනෙන සිද්ධියකි. ඒ සඳහා තම බල ආධිපත්‍යය සහ තමන්ට පක්ෂපාත උඩරට ලේඛකයන් යොදා ගනිමින් නිර්මාණය කළ ලිඛිත සාධකවලට ප්‍රධාන තැනක් හිමි වෙයි. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් රචිත සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ නමැති කෘතියෙහි මෙබඳු සඳහනක් දැක්වෙන්නේ ඒ නිසාය. “මෙහි කියවුණු සිටිනාමලුවේ මහා ස්ථවිරතුමා දුරාවේ කුලයට අයත් යයිද වේහැල්ලේ නායක හිමිතුමා නැකති කුලයට අයත් යයිද ප්‍රකාශ කරන ලිපි අපට දකින්ට ලැබී තිබේ.” අවස්ථා ද දැකිය හැකිය. මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ස්වකීය ආචාර්ය උපාධිය සඳහා සම්පාදිත Religious Activities and the Development of a New Poetical Traditional Sinhalese 1852-1906 නමැති කෘතියෙහිද වේහැල්ලේ හිමියන් පිළිබඳ ඒ සාවද්‍ය කරුණ එලෙසින්ම සඳහන් වී තිබේ.

වැලිවිට සරණංකර හිමියන් ප්‍රමුඛ උඩරට මුල් පෙළේ උගතුන් උඩ පහතරට භේදය හෝ කුල භේදය හෝ පිළිබඳ තැකීමක් නොකළ අතර උඩරට සිට ශාස්ත්‍ර ඥානය ලැබ පහතරට පැමිණි පුරෝගාමී භික්ෂූන් වහන්සේද මෙබඳු අනර්ථකාරී පටු භේද නොකතා ධර්ම ශාස්ත්‍ර පුනර්ජීවනය සදහා පූර්ණ කැප වීමෙන් කටයුතු කළ බවට සාධක බොහෝය. පසු කාලයේ ආත්මලාභය උදෙසා කටයුතු කළ ඇතැම් භික්ෂූන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් පරමාර්ථ ගවේෂී භික්ෂුන් වහන්සේ විවිධ පීඩාවන්ට ලක් වූ සැටි කරතොට ධර්මාරාම හිමියන්ගේ චරිතය අධ්‍යයනය කරන විට අවබෝධ කර ගත හැකියග තවත් සියවසක් ගත වන විට ධර්ම ශාස්ත්‍ර ඥානයෙන් පිරිපුන් ගිහි පැවිදි පඬි පරපුරක් මෙරටෙහි බිහි කිරීමට තරම් සවිමත් පදනමක් ගොඩ නැංවීමට ධම්මදින්න හිමියෝ සමත් වූහ. කෙතරම් බාධක පැන නැගුණද ඒ කිසිවකින් අධෛර්යයට පත් නොවූ වේහැල්ලේ ධම්මදින්න හිමියෝ සිය මෙහෙවර මනා සේ ඉටු කොට 1775 වර්ෂයේ මැයි මස 28 වැනි දින රත්නපුර කරන්ගොඩ රජමහා විහාරයේදී අපවත් වන විට 96 හැවිරිදි වියේ පසු වූහ.

Comments