
• චිත්‍රාරත්න කළුආරච්චි
හිදෝගම සමූහ
මාධ්‍යවේදියකු, ගත් කතුවරයෙක්, ලෙස වසර පනහට අධික කාලයක් ලේඛන කලාවට සම්බන්ධ වී සිටි රත්න. බී. ඒකනායක මැයි 30දා හදිසි හෘදයාබාධයකින් මිය ගිය පුවත රජරට පුරාම පැතිර ගියේය.
රත්නගේ අප්පච්චි වෙල් විදානේ හෙවත් වෙල් විදානේ ඒකනායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩාය. මව ශ්‍රී නාරායන බ්‍රාහ්මණ මුදියන්සේලාගේ ඩිංගිරි අම්මාය. රදළ පෙළපතත් බ්‍රාහ්මණ පෙළපතත් එකුට එකතු වී මෙන් පසු රත්න උපත ලබයි. එදා කිරි අම්මා ආදරේට කියු නම තමයි රංගා. අද රත්න මිය යන විට ඔහු රජරට පමණක් නොව මුළු රට පුරාම කවුරුත් ආදරය කරන රත්න. බී. ඒකනායක විය.
රත්නායක බණ්ඩාර ඒකනායක තමයි රත්න බී. ඒකනායක වුණේ. රත්න ඉපදුණේ කුරුණෑගල මොරගොල්ල ගමය. පවුලේ පස්දෙනෙක් සමඟ වැඩුණු රත්න එදාත් ටිකක් දගකාරය. අයුක්තියට ගරු කළේම නැත.
රත්න අවුරුදු හතේදි මුලින්ම හුණුපොල විද්‍යාලයට ඇතුළත් වෙයි. මොරගොල්ලේ ඉඳලා හුණුපොළ ඉස්කෝලෙට කිලෝ මීටර් තුනම පයින් එයි. පුංචි කාලේ ඉදලාම අපේ කම, අපේ රට, අපේ දේ කියන හැඟීම තිබුණ නිසා රජරට ගැන පුදුම සහගත ආදරයක් ඔහුට තිබුණි.
අම්මා සරම අන්දවලා පාසලට යවයි. ඉස්සර පාසලට අඳින්නේ සරම කමීසයයි. ගල් ලෑල්ලයි, ගල් කූරයි අරගෙන ඒ දවස් වල රංගා තම සහෝදරයන් සමඟ පාසල් යනවිට මාදං ගස්, වලට නැගලා මාදං කඩාගෙන දවල් වෙලා පාසලට ගිහිල්ලා ගරුතුමාගෙන් ගුටි කාපු වාර අනන්තයි.
අප්පච්චි සහ අම්මා හැම විටම කීවේ රං කොල්ලෝ උඹ තමයි කවදා හරි මගේ නම තියන්නේ කියලාය. පුංචි එකා වුණත් රංගාට හිතුණේ නම්බු නාමයක් ලැබුණා කියලාය. පාසලට ගිහිල්ලා ගෙදර ආවාම රංගාට මී හරක් පට්ටිය බලා ගන්න ඕන; වැවේ ඇළේ නාන්න ඕන; මී හරක් තණ කොළ කන අතරේ රංගා කෝන් ගස්වලට, මාදං ගස්වලට, පලු වීර ගස් වලට, දිවුල් ගස් වලට නැගලා ඒ ගෙඩි රස බලයි. රංගා තම සහෝදරයන් එක්ක කුඹුරු වැඩත් කරයි. පෝරු ගාන්න, නියර බඳින්න, වැපිරීමට යන කොට අමුඩ කෙටියක් දාගෙන ඒ කරපු වැඩ ජීවිතයට ලොකු පන්නරයක් වුණි.
ඔහොම ඉන්න කොට රත්න ගේ අප්පච්චි අසනීප වෙයි. රත්නට අම්මාත් බලා ගෙන සහෝදරයනුත් බලා ගෙන ඉන්න සිදුවුණි. රංග ගේ අප්පච්චි ඒ අතරේ මිය යයි.
මේ සියලු කරදර සමඟ රත්න බී .ඒකනායක උස්සාපිටිය පිරිවෙනේදි අධ්‍යාපනය ලබන්න වාසනාව ලබනවා.
සිංහල,පාලි, සංස්කෘත, හොඳට ඉගෙන ගත් රත්න .බි. ඒකනායක ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය එකවරම සම්මාන ඇතිව පාස් වී ගුරු විද්‍යාල ප්‍ර වේශ විභාගයට මුහුණ දී වයස අවුරුදු 19 දී ගුරුවරයෙක් විදියට පළමු රාජය සේවය සඳහා යොමු වෙයි.
පළමු පත්වීම ලෙස පෙරියකඩුව නෑලව ඉස්කෝලයට පත්වීම ලැබෙයි. පුහුණු ගුරුවරයෙක් විදියට රුපියල් හැත්තෑ දෙකක් වැටුප ලෙස ලැබෙයි. මාසයකට රුපියල් දහය බැගින් ගෙවීමට රත්න. බී. පාපැදියක් ගනියි.
වසර දෙකක් යන විට ඒ ගුරුවරයා වූ රත්න. බී ගේ දක්ෂතාව මත රන්කිරිමඩ විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වීමක් ලැබෙයි.
ජනප්‍රියතාව වැඩි ගුරුවරයෙක් නිසා රත්න බී. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස ලියා පදිංචි වීමට අවස්ථාව උදා වුණි. කලා උපාධිය ලබා ගත් හෙතෙම පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ රැකියාවකට යයි.
සිරකරුවන්ගේ හැසිරීම පිළිබඳව විදේශීය පුහුණුවක්ද ලබන රත්න බී. හික්කඩුවේ ළමා පුනරුත්ථාපන ආයතනයේ ප්‍රධාන අධිකාරි ලෙස සේවය කරයි. රත්න බී.හැමවිටම කීවේ හැදි නොගා හදන කැඳ කවදාවත්ම රස වන්නේ නැහැ, නොතලා හදන දරුවත් එහෙමයි කියලා.
දඬුවම් කරලා අවසන ඔහු දරුවන් ළඟට ගොස් ඒ දරුවන් හුරතල් කරයි. ඒ නිසා දරුවන් වැඩිපුර රත්න බි ට ආදරය කරන්න පටන් ගති.
අයුක්තිය අසාධාරණය, වංචාව, හොරකම වෙනුවෙන් හැම විටම සටන් වැදුණු රත්න බී. මුලින්ම ලේක් හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතට ජීවිතයේ ප්‍රථම කෙටිකතාවක් ලියූ අතර එය අම්මා නමින් පළ වෙයි.
එම කෙටිකතාව සමස්ත ලංකා කෙටි කතා අත් පිටපත් තරගයෙන් ප්‍රථම ස්ථානයට තේරෙයි. රත්න බී .ඒකනායක සිය ලේඛක ජීවිතය ආරම්භ කළේ සිළුමිණ පුවත් පතෙනි.
එදා සිට මිය යන තෙක්ම විවිධ පුවත්පත්වලට රත්න බී. ලිපි සපයමින් කළ සේවය මුළු රටම දනියි. ඒ නිසා ඔහුට රජරට ප්‍රවීණ මාධ්‍යවේදියා ලෙස සම්මාන ලැබෙයි.
ලේඛන කලාව වෙනුවෙන් කලා භූෂණ, කලාශූරී, කලා කීර්ති, සාහිත්‍ය ශූරී, රාජ රට්ඨාභිමානි සම්මාන ලබා ඇති අතර, මාධ්‍ය ජිවිතයේ ද ඇත්ත එළි කිරීම නිසා තර්ජන,ගර්ජන, ඇනුම්, බැණුම්, වගේම මරණීය තර්ජනවලට පවා ඔහු ලක්විණි. ඒ කුමන තර්ජන ආවත් ඇත්ත ලිවීමට ඔහු බිය වුණේ නැත.
රජරට පුරාවට මහා සංඝ රත්නය , පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් ,මාධ්‍ය සහෘදයන් , රජරට ජනතාව ඔහුට ළෙන්ගතු ආදරයක් දැක්වීය.
රත්න බී. රජරටට නැතිවම බැරි මාධ්‍ය වේදියෙක් වූයේ එපරිද්දෙනි.
රත්න බී. ඒකනායක සහෘදයා හැම විටම කීවේ අපි මැරෙන එක ඇත්ත නම් ,ඉපදෙන එක ඇත්ත නම්, මේ ඉන්න ටික කාලෙට රට තුල , ආගම තුළ, ජනතාවට යමක් කළ යුතුම බවයි.
ලේඛකයා වගේම ඊටත් එහා ගිය මාධ්‍යවේදියා කියන්නේ සමාජයේ පතුලටම ගොස් සමාජයේ හරි වැරදි දකින්නට වෑයම් කරන සමාජ ශූධාරකයෙකි.
රත්න බී.ඒකනායක විවාහ වන්නේ 1970 දි කුසුම් ඒකනායක සමඟිනි. ඒ දෙපළට එක් දියණියක් සිටී. ඒ නිරාෂා ඒකනායක ය.
කෙටිකතා, නවකතා, ඇතුළු ලේඛන 40 ක් පමණ සමාජයට ලබාදුන් ඔහුට ඒ සඳහා ලැබුණු සම්මාන ගණන කිව නොහැකි තරම්ය.
රත්න බී. හැම විටම තම පවුලට, ගමට, දේශීය දේට, ගහ කොළට, සතා සිවුපාවුන්ට, කාබනික ගෙවත්තට, රජරටට මෙන්ම මාධ්‍ය සහෘදයින්ට දැඩි ලෙස ආදරය කරපු හිතවතෙකි.
රත්න. බී. ඒකනායක කියලා තිබුණේ දුවේ මම මළ පසු මා ලියපු පොතක් මගේ මරණය බලන්න එන හැමෝටම දෙන්න කියාය.
වී නිෂ්පාදනයේදි ගොවියා මුහුණ දෙන ගැටලු, රසායනික පොහොර,කෘෂි නිෂ්පාදන, කාබනික පොහොර, දේශීය කිරි නිෂ්පාදනය, ආයතන සේවා විවේචන, කෘෂි අධිකාරිය, වී අලෙවි මණ්ඩලය, ආදි සැම ආයතනයකම අඩු පාඩු වෙනුවෙන් තම පෑන හැසිර වූ ලිපි නිතරම පුවත් පත් වල පළ විය.
එප්පාවල පොස්පේට් නිධිය, තුරුවිල වැවේ උද්ඝෝෂණය,ආදී රජරටට සෘජුවම බල පෑ කරණු වෙනුවෙන් හෙතෙම සටන් වැද ජයග්‍රහණ ලබා ගත්හ.
මිය ගිය පසු අරටුව ඉතිරි වන්නාක් මෙන් ජීවිතයේ හරය සමාජය තුළ රැදී තිබිය යුතු බව හැම විටම රත්න.බී.ඒකනායක අපට පැවසුවේය.