2020 වාර්ෂික ආර්ථික වාර්තාව ජන­තාව අතට... | Page 2 | සිළුමිණ

2020 වාර්ෂික ආර්ථික වාර්තාව ජන­තාව අතට...

 

 

වසර 2020 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මුහුණ දීමට සිදු වූ බරපතළ අභියෝග ගණනාවකි. ඒවා අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ රටේ සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑම් එල්ල වූයේය. ඊට පෙර වසරේ (2019) අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ද රටේ ආර්ථිකයේ වර්ධන ගමනට බාධා ඇති කළේය. ගෝලීය ආර්ථිකයන්ගේ සංකෝචනය වීම් ද අප රටේ ආර්ථිකයේ ඉදිරි ගමනට දැඩි ලෙස අහිතකර බලපෑම් එක් කළේය. මේ අන්දමේ අභියෝග මැද වසර 2020 ආර්ථිකයේ සිදු වූයේ කුමක්දැයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය 71 වැනි වාර්ෂික වාර්තාව මඟින් මේ වනවිට රට හමුවේ තබා ඇත. අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ වාර්ෂික වාර්තාව පිළිගැන්වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් විසිනි. මහ බැංකු අධිපතිවරයා අගමැතිවරයාට පිළිගැන්වූ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු මොනවාදැයි මේ ලිපියෙන් සලකා බැලේ.

 

වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය වාර්තා කරමින්, 2020 වසරේ දී ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය විය. කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණ ඇතිව දේශීය හා ගෝලීය වශයෙන් පැනවූ සංචරණ සීමා සහ අනෙකුත් ක්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකයේ සෑම අංශයකම මූර්ත ආර්ථික කටයුතුවලට බාධා එල්ල විය.

ඉදිකිරීම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස පසුබෑමකට ලක්වීම හේතුවෙන් වසර තුළ දී කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම්වල තියුණු පහළ යෑමක් දක්නට ලැබුණි. වසංගතය හේතුවෙන් ප්‍රවාහන, වෙනත් පෞද්ගලික සේවා සහ නවාතැන් හා ආහාරපාන සැපයීමේ සේවාවල සිදු වූ පහළ යෑමත් සමඟ සේවා අංශයෙහි ක්‍රියාකාරකම්වල ද සැලකිය යුතු සංකෝචනයක් වාර්තා විය.

කාලෝචිත ප්‍රතිපත්ති තුළින් ලද සහාය සහ හිතකර කාලගුණික තත්ත්වයන්හි ධනාත්මක බලපෑම ඉක්මවා වසංගතයෙහි බලපෑම ඉස්මතු වීම හේතුවෙන් කෘෂිකාර්මික අංශය ද වසර තුළ දී සංකෝචනය විය. ආයෝජක අපේක්ෂා මන්දගාමී වීම පිළිබිඹු කරමින්, 2020 වසරේ දී ආයෝජන වියදම් සංකෝචනය වූ අතර, පරිභෝජන වියදමෙහි සුළු වර්ධනයක් දක්නට ලැබුණි. ජාතික ඉතුරුම්වල පහළ යෑම ඉක්මවා ආයෝජන වියදම අඩු වීමෙහි ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේ දී ඉතුරුම් - ආයෝජන පරතරය අඩු විය.

මේ අතර, වසංගතය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතා මධ්‍යයේ, ශ්‍රම බළකා සහභාගිත්ව අනුපාතය පහත වැටුණු අතර, 2009 වසරින් පසුව ප්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය සියයට 5 ඉක්ම වීය. පවත්නා වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) පහළ යෑමේ සහ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ ඒකාබද්ධ බලපෑම පිළිබිඹු කරමින්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 3,852 සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් 3,682ක් දක්වා පහළ ගියේය. සමස්ත ආර්ථිකයේ ප්‍රමාණය, 2019 වසරේ එ.ජ. ඩොලර් බිලියන 84.0ක සිට 2020 වසරේ දී එ. ජ. ඩොලර් බිලියන 80.7ක් දක්වා පහළ යෑමට ද වසංගතය හේතු විය. සමස්තයක් ලෙස ආර්ථිකය සංකෝචනය වුව ද, රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති යන දෙඅංශයෙන්ම ක්‍රියාවට නැංවූ වර්ධනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින්, 2020 වසරේ දෙවන භාගයේ දී ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කළේය.

රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, විදේශීය අංශය 2020 වසර තුළ දී මුහුණ දීමට සිදු වූ ප්‍රබල බාධකයන්ට එරෙහිව ක්‍රියාත්මක විය. ශ්‍රී ලාංකීය අපනයන කරුවන්ගේ අවදානම්වලට මුහුණ දීමේ හැකියාව පිළිබිඹු කරමින්, සංචරණ සීමා පැනවීම සහ සමාජ ආර්ථික කටයුතු සීමා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් අඩු වූ වෙළඳ භාණ්ඩ අපනයන කඩිනමින් යථා තත්ත්වයට පත්විය.

ඒ අනුව, කෙටි කාලපරිච්ඡේදයක් තුළ දී අපනයන ඉපැයීම් වසංගතයට පෙර පැවති මට්ටමට නැවත ළඟා විය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ලෝක වෙළඳපොළෙහි ඛනිජ තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතීම, 2020 වසරේ ආනයන වියදම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. ගෝලීය වශයෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක්විය.

වසංගතය මධ්‍යයේ වැඩ කිරීම සම්බන්ධයෙන් නිර්මාණය වූ නව්‍ය වාතාවරණයේ සහාය ලබමින්, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම (IT/BPO) යන අංශයට අදාළ සේවා වෙළඳාම මත විදේශ විනිමය ඉපැයීම් සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. වසංගතය ආරම්භ වීමත් සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල පහළ යෑමක් දක්නට ලැබුණ ද, 2020 වසර තුළ දී ප්‍රේෂණ ලැබීම් සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් විය. වසර තුළ දී අතිශයින්ම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන ලදී.

මීට අමතරව, වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධනය සැපයීම ඉලක්ක කරගනිමින් මහ බැංකුව විසින් සහනදායී ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනු ලැබීය. තවද, තෝරා ගත් මූල්‍ය උපකරණවලට අදාළ ණය අනුපාතිකය පහළ යෑම වේගවත් කිරීම සඳහා මහ බැංකුව විසින් ඍජු ක්‍රියාමාර්ග මෙන්ම ශිෂ්ට ප්‍රයෝග ද යොදා ගන්නා ලදී.

ඒ අනුව, 2020 වසරේ දෙවන භාගයේ සිට පෞද්ගලික අංශයට සපයන ලද ණය යථා තත්ත්වයට පත්වීම ආරම්භ විය. මේ අතර, මහ බැංකුව සහ බැංකු අංශය විසින් වසංගතය මධ්‍යයේ අවහිරතාවකින් තොරව රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍යන පහසුකම් සපයන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, අනෙකුත් අංශ සඳහා වූ ණය ප්‍රසාරණයට අමතරව, බැංකු අංශය විසින් රජයට ලබා දුන් ශුද්ධ ණය 2020 වසර තුළ දී සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, එමඟින් පුළුල් මුදල් සැපයුමෙහි සැලකිය යුතු ප්‍රසාරණයක් ඇති විය. මේ අතර, වසංගතය හේතුවෙන් ආර්ථිකයට අවශ්‍ය වන සුවිශේෂී සහාය සැපයීම සඳහා මූල්‍ය අංශය සවිබල ගන්වන අතරම, මූල්‍ය ආයතනවල අභිප්‍රාය සුරක්ෂිත කිරීම මෙන්ම, ඒ ආයතනවල තැන්පත්කරුවන් ආරක්ෂා කරගැනීම ඉලක්ක කර ගනිමින් විවිධ ක්‍රියාමාර්ග හඳුන්වා දීම හරහා මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතියෙහි ස්ථායීතාව පවත්වා ගැනීම තහවුරු කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සම්පාදනය කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වාර්ෂික වාර්තාව 2020 එහි අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් විසින් අප්‍රේල් 30 අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වීම සිදු කර තිබේ.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වාර්ෂික වාර්තාව නිකුත් කරයි. මෙය මහ බැංකුව මඟින් නිකුත් කළ 71 වැනි වාර්ෂික වාර්තා වෙයි.

අප පෙර සඳහන් කළාක් මෙන් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කළමනාකරණය අසීරුම හා අභියෝගාත්මක වූ වසර 2020 ඇතිවූ අහිතකර බලපෑම්වලින් මිදී පෙරට යෑමට ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හා යෝජනා ගණනාවක් ද මෙවර වාර්ෂික වාර්තාවෙන් මහ බැංකුව අවධාරණය කර ඇත. ඒවා මෙරට ආර්ථිකයේ ජීවනාලිය යළි පණ ගැන්වීම සඳහා කරනු ලබන බෙහෙත්හේත් ලෙස නම් කළ ද වරදක් නැත. එම යෝජනා සංඛ්‍යාත්මකව 17ක් මෙවර ඉදිරිපත් කර ඇත.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉතා ඉක්මණින් බලගන්වා, ඒ දෙසට කඩිනමින් හා ඉතා පහසුවෙන් විදේශීය හා දේශීය නව ආයෝජන කැඳවාගෙන ඒමට යාන්ත්‍රණයක් සකස් කිරීම හා පහසුකම් සැපැයීම කළ යුතුය. ඊට අමතරව අප රටේ මානව සම්පත ලෝක ශ්‍රම බල අවශ්‍යතා සපුරාලන ආකාරයේ හැකියා හා නිපුණතාවයන්ගෙන් බල ගැන්විය යුතුය. රජයේ ආදායම් ඉහළ නංවා ගන්නා අතර, අයවැය පරතරය, වෙළඳ හිඟය අඩුකර ගත යුතුය.

එපමණක් නොව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රතිශතය අඩුකර ගත යුතුය. ආර්ථිකයේ වර්ධනයක් ඇති කර ගැනීමට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ යුතුමය යන්න මහ බැංකු වර්තාව රටට ලබා දෙන පණිවුඩය වේ.

Comments