දුකක් නොවිඳ මම ලැබු­යෙමි නිවන් සුවය | Page 2 | සිළුමිණ

දුකක් නොවිඳ මම ලැබු­යෙමි නිවන් සුවය

හිමාලය කඳුවැටිය අසබඩ උක්කට්ඨා නුවර ධනවත් බමුණු නිවෙසක උපන් අංගානික භාරද්වාජ කුමරු ත්‍රිවේදය හදාරා, මහ හඬිවරයකු ලෙස ප්‍රකට විය.

ඔහුට ගිහිගෙය එපා විය. පිරිවැජියකු ලෙස පැවිදි වී සසර දුක හමාර කරනු පිණිස විවිධ අයුරින් තපස්කම් කෙළේ ය; වනයට ගොස් නිතර දෙවියන් පිදී ය; අත්තකිලමථානුයෝගයට අනුව සිරුරට විවිධ දුක් දෙමින් සසර අග දකින්නට වෑයම් කෙළේ ය; ඒ සඳහා මඟ පෙන්වන්නකු සොයා දඹදිව පුරා සංචාරය කෙළේ ය.

දිනක් ඔහුට බුදුරජාණන් වහන්සේ හමුවිය. උන්වහන්සේ දුටු පමණින් සිතේ පැහැදීමක් ඇති විය.

‘මා සොයන මඟ මුන්වහන්සේ ළඟ ඇති.‘ මේ පිරිවැජියාට සිතිණ.

බුදුහු දහම් දෙසූහ.

පිරිවැජියාට තමා මෙතෙක් කල් ගිය ගමනේ මිථ්‍යාව පෙනිණ. ඔහු බුදු සසුනේ පැවිදි විය. කමටහන් ගෙන විදසුන් වඩන්නට වූ අංගානික භාරද්වාජ හිමියෝ නොබෝ දිනෙකින් ෂඩ් අභිඥාලාභිව රහත් බවට පත්වූහ.

උන්වහන්සේට සිය නෑදෑයන් ගිනි දෙවියන් පුදමින්, ගඟට බැස පව් සෝදමින් ගෙවන, මිථ්‍යාව පිරුණු ජීවිතය සිහිවිය.

‘ඔවුන්ට සැබෑ දහම හඳුන්වාදීම මගේ යුතුකම ය. මම උක්කට්ඨා නුවරට යමි“යි සිතූ අංගානික භාරද්වාජ මහ රහතන් වහන්සේ නැදෑයන් හමුවූහ.

උක්කට්ඨා නුවර තරුණයෝ මේ විප්ලවීය අලුත් දහම වහා පිළිගත්හ. වැඩිහිටියෝ ද නව දහමේ සත්‍යය දුටු පසු බුදු සමය පිළිගත්හ; තෙරුවන් සරණ ගියහ. ඉන්පසු අංගානික භාරද්වාජ මහ රහතන් වහන්සේ කුරු රට කුණ්ඩිය නම් නියම්ගමේ වූ ආරණ්‍ය සේනාසනයක වැඩ වුසූහ.

දිනක් උන්වහන්සේ උග්ගාරාමයට වැඩියහ. එහි දී උත්තරා පථයෙන් පැමිණි හිතවත් බමුණු පිරිසක් උන්වහන්සේට හමුවිය.

“පින්වත් භාරද්වාජය, ඔබ බමුණු දහම අත්හැර බුදු දහම පිළිගත්තේ කුමක් නිසාදැ?“ යි ඔවුහු ඇසූහ.

උන්වහන්සේ පිළිතුරු දුන්හ.

“භවයෙන් මිදීම පතා වේද ග්‍රන්ථවල සඳහන් පරිදි මම ගිනි දෙවියන්ට පූජා පැවැත්වූයෙමි; ශරීරයට දැඩි දුක් දෙමින් අත්තකිලමථානුයෝගයෙහි යෙදුණෙමි. මේ දුෂ්කර ක්‍රියාවලින් පලක් නොවිණ. මට බුදුරජාණන් වහන්සේ හමුවිය. උන්වහන්සේ දහම අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි, මධ්‍යම ප්‍රතිපදාවෙහි ගමන් කෙළෙමි. මට මා පැතූ භවයෙන් මිදීම, සසර ගමන අවසන් කිරීම දැකගත හැකිවිය. ශරීරයට දුක් නොදී සමථ විදර්ශනාදි භාවනාවල යෙදී සුවදායක ලෙස මම ඒ නිවන් සුවය ලැබුයෙමි.

“බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයේ විශිෂ්ටත්වය, ප්‍රායෝගික අගය, දැනගන්න.

“මම ත්‍රිවිද්‍යාව ලැබුයෙමි. බුදුරජාණන් ගේ අවවාදය අනුව සසර අවසන් කෙළෙමි. පෙර මම බමුණු ගෙයක උපන් හෙයින් නමට ‘බ්‍රාහ්මණයෙක්‘ වීමි. දැන් මම පව්කම් දුරු කළ හෙයින් සැබෑ ‘බ්‍රාහ්මණයෙක්‘ වෙමි. ත්‍රිවේදය හදාරා ලද දැනුම නිසා පෙර මම ‘තේවිජ්ජ‘ වීමි. දැන් මම ත්‍රිවිද්‍යා අවබෝධ කරගත් බැවින්, ‘තේවිජ්‘ වෙමි. පෙර මම ගඟට බැස පව් සේදූ නිසා ‘ස්නාතක‘ වීමි. දැන් මම ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති ජලයෙහි කෙලෙස් සෝදා හළ හෙයින් ‘නහාතක‘ නම් වෙමි. වේද මන්තධරයකු වූ හෙයින් පෙර මම ‘සොත්ථිය‘ නම් වීමි. දැන් මම ධර්මධරයකු වූ හෙයින් ‘සොත්ථිය‘ නම් වෙමි. පව් අත් නොහැර තුන්වේදය හදාළ නිසා පෙර මම ‘වේදගු‘ නම් වීමි. දැන් මම ආර්ය මාර්ග ඥානයෙන් සසර සයුර තරණය කළ හෙයින් ඒ සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබූ හෙයින් ‘වේදගු‘ නම් වෙමි.“

මේ පිළිතුර බමුණු මිතුරන් ගේ සතුටට හේතු විය. ඔවුහු ද බුදු සසුනට එක් වූහ.

අංගානික භාරද්වාජ මහ රහතන් වහන්සේ සිය මිතුරු බමුණන්ට දුන් පිළිතුර ම පසු කලෙක උන්වහන්සේ සිය උදානය වශයෙන් පළ කළහ.

 

අනුවණ ලෙස වන මැද ගිනි දෙවි පිදුවෙ මි

එමගින් මේ සසරෙන් මිදුමක් පැතුවෙ මි

දුක නැසුමට සිරුරට දැඩි දුක් දුන්නෙ මි

එහෙත් විමුක්තිය අසලකවත් නොදිටි මි

බුදු දහමේ උත්තම බව බලනු මැනවි

දුකක් නොවිඳ මම ලැබුයෙමි නිවන් සුවය

ත්‍රිවිද්‍යාව හිමිවිය මට නිවන සමඟ

බුදු රදුන්ගෙ අවවාදය අනුව ගියෙමි

නිකම් මැ මම බ්‍රාහ්මණව සිටියෙමි පෙර

සැබෑ බ්‍රාහ්මණයෙක් දැන් පව් දුරලූ

තෙවිජ්ජ වූයෙමි පෙර මම වේදය දැන

ත්‍රිවිද්‍යාව දැන දැන් මම තෙවිජ්ජවෙමි

පව් සෝදා පෙර ස්නාතක වූයෙමි

කෙලෙසුන් සෝදා අද නහාතක වෙමි

මන්ත්‍ර කියා පෙර මම සොත්ථිය වූයෙමි

දහම් දෙසා අද මම සොත්ථිය වන්නෙමි

තුන් වේදය දැන පෙර වේදගු වූයෙමි

තෙවිදු ලැබ ම දැන් මම වේදගු වන්නෙමි

Comments