
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ කළුතර පසුකොට හමුවන කටුකුරුන්ද හන්දියෙන් වමට හැරෙන්නේ මතුගම මාර්ගයටය. මතුගමින් අළුත්ගම පාරේ ගොස් හමුවන හොරවල හන්දියෙන් වමට හැරෙන්නේ පැලවත්ත මාර්ගයටය. එම මාර්ගයේ ලිහිණියාව හා මීගහතැන්න පසු කොට පැලවත්ත නගරයට ගිය විට පිටිගල මාර්ගය හමු වේ.
පිටිගල මාර්ගයේ ගොස් මිරිස්වත්ත හන්දියේ ඇති යුද හමුදා මුර කපොල්ල ළඟින් වමට හැරෙන්නේ නෙළුව මාර්ගයටය. එම මාර්ගයේ කිලෝ මීටර් 16ක දුරක් ගිය විට යට්ටපාත ගම්මානය හමු වේ. ඉන් එහා ගම කිනියාවලයි. ඉන් කළුතර දිස්ත්‍රික්කය අවසන් වන අතර ඒ සිංහරාජ වනාන්තරයේ මායිමයි. මේ යට්ටපාත ගම්මානය පිළිබඳව මීට අඩ සියවසකට එහා ඉතිහාසයට ගිය කතාවකි.
එක්සත් ජාතික පක්ෂ රජය පෙරළා 1970 බලයට පත්වූයේ සමගි පෙරමුණු රජයයි. ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එ් රජයේ අගමැතිනිය වූ අතර එහි වැවිලි කර්මාන්ත හා ක්‍රම සම්පාදන ඇමතිවරයා වූයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ ඒ මහතා අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ද වූවේය. වමට බර දිස්ත්‍රික්කයක් වූ කළුතර දිස්ත්‍රික්කය එදා රතු බළකොටුව වශයෙන් හැඳින්වූ අතර ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා එහි පතාක යෝධයෙකු විය.
තරුණ විරැකියා ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඇමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ සැලසුමකට කළුතර දිස්ත්‍රික්කයේ විශේෂ ව්‍යාපෘති දෙකක් ආරම්භ විය. ඉන් එක් ව්‍යාපෘතියක් වූයේ යට්ටපාත ප්‍රදේශයේ වැල් දොඩම් වගාවයි. අනෙක් ව්‍යාපෘතිය පැලවත්ත යුධ හමුදා කඳවුර ඇති ප්‍රදේශයේ පට පණුවන් මඟින් සේද නිෂ්පාදනයයි. එක් අයෙකුට අක්කර 3 1/2 බැගින් ඉඩම් ලබාදී වැල් දොඩම් වගා කිරීම සඳහා තරුණයින් 500 ක් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවූයේ 1970 වසරේදීමය.
මේ සඳහා කළුතර දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ කොට්ඨාසයෙන් 50 දෙනා බැඟින් තෝරාගත් අතර ඇමති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සංවිධායකත්වය දැරූ අගලවත්ත ආසනයට වැඩි විශේෂත්වයක් දැක්විණි. ඒ එම ආසනයේ තරුණයන් 150 කට අවස්ථාව ලබා දෙමිනි.
මෙරට සුවිශේෂ දේශපාලන පෙරැළියක් සිදු වූයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඒ 1971 වසරේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නැගිටීමය. මෙම කැරැල්ල හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම 1971 වසරේ සැප්තැම්බර් මාසය දක්වා පස්සට ගියේය. එදා 1971 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදාය. කළුතර දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ කොට්ඨාසවලින් තෝරා ගත් තරුණයන්ට මේ සඳහා පිටත්ව යාමට ආරාධනා කර තිබුණි.
එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා බස් රථයක් හා ලොරි රථයක් බැගින් ද ලබාදී තිබුණි. සෑම අයෙකුම ගමන සඳහා බූරු ඇඳක්, කොට කලිසමක්, කැත්තක් හා සතියකට සරිලන හාල් තුනපහ ඇතුළු වියළි ආහාර මල්ලක් බැගින් සූදානම් කර ගත යුතු විය. පිරිස බස් රියටත්, භාණ්ඩ ලොරි රථයටත් පටවන ලදි. සවස 2.30 වන විට බස් හා ලොරි රථ ගමන් ආරම්භ කළේය.
රාත්‍රි අඳුර වැටෙන්නට පෙර බස් හා ලොරි රථ පැමිණියේ කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික් මායිමේ පිහිටි යට්ටපාත ගම්මානයටය. මහා ඝන වනාන්තරයේ තැනින් තැන කඳවුරු ඉදිකර තිබුණි. රාත්‍රිය එළි ගැන්වුණේ ලාම්පුවලින්. ඉවුම් පිහුම් උපකරණ රජයෙන් සපයාදී තිබූ අතර කඳවුරු තුළ ‘කල්දේරම් බත්‘ ඉදෙන්නට විය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සැප්තැම්බර් මස 03 වැනිදා එහි පැමිණියාය. අගමැතිනිය පැමිණි හෙලිකොප්ටරය නතර කරන ලද්දේ දැනට යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලය පිහිටි භූමියේය.
අගමැතිනිය පිරිස අමතන ලද්දේ එම විදුහල අසල දැනට ගොවියෙකුගේ හා ගෙවිලියකගේ පිළිරුවක් ඉදිකර ඇති ස්ථානයේ සිටය. ඉඩම් ලාභි තරුණ පිරිස දෙපස පෝලිම් ගැසී අගමැතිනිය පිළිගන්නා ලදී. පසුවදා සිටම වැඩ ආරම්භ විය. ගෙදරින් ගෙන ආ කැත්තට අමතරව පොරෝ ආදි වගා උපකරණ රජයෙන් සපයා දී තිබිණි. මහා ඝන වනාන්තරයේ හැඩවක, වැලිපිහන්න, කැකුණ, ඇටඹ, අළුබෝ, කැලෑ දෙල් ආදි ගස් පොරෝ පහරින් බිම හෙළන ලදි. එසේ වැඩ කරනවාට ද රුපියල් දෙකක දෛනික වැටුපක් හිමි විය.
ව්‍යාපෘතිය බාරව සිටියේ ඉඩම් සංවර්ධන නිලධාරි නිව්ටන් පෙරේරාය. පිරිසේ සෑම 25 දෙනෙකුටම එක් නායකයෙකු බැගින් පත් කර තිබූ අතර පසුව 7 දෙනා බැගින් වූ කණ්ඩායම්වලට පිරිස යොමු කරන ලදී. සතිපතාම පුහුණු කිරීම හා දැනුවත් කිරීම් පවත්වන ලදි.
මසකට වරක්වත් පිරිස කැඳවා දැනුවත් කිරීම් පැවැති බවත් ඒ සඳහා ඇමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාද පැමිණි බවත් එම ව්‍යාපෘතියේ සාමාජික ගොවියෝ ප්‍රකාශ කරති. දැනට යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලය ඇති ස්ථානයේ පිහිටි ගොඩනැඟිල්ලට මෙම රැස්වීම සඳහා එන ඇමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා රාත්‍රියේ තරුණයන් සමඟ ගීත ගායනා කරමින් විනෝද වෙමින් රාත්‍රිය එහි ගත කර යන බව ද ඔවුහු ප්‍රකාශ කරති.
පසුව පිරිසට අක්කර 3 1/2 බැගින් වෙන් කර මායිම් පෙන්වාදී තිබේ.
ඉන්පසු සෑම අක්කරයකටම වැල්දොඩම් පැළ 450ක්ද, එම වැල් යාම සඳහා කම්බි ද, පොහොර ද ලබාදී තිබුණි. යූරියා, පොටැෂ්, ෆොස්පේට් ආදිය වෙන වෙනම ලැබුණු අතර ඒවා මිශ්‍ර කර ඉතා හොඳ තත්ත්වයේ පොහොර මිශ්‍රණ සාදා ගැනීමට ඔවුහු සමත් වූහ. වැල් දොඩම්වල ඵලදාව ලැබුණේ හය මාසයකට පසුවය. ඒ 1973 වසරේ සිටය. සෑම දිනකම සවස 2 සිට 6 පමණ වනතුරු ඔවුහු වැල් දොඩම් මල් අත ගාමින් පරාගණයට උදව් වූ අතර ඉතා සරු අස්වැන්නක් ලබා ගැන්මට හැකියාව ලැබුණි. පළමුව වැල් දොඩම් රාත්තලක් සත 31කට අලෙවි කළ අතර පසුව එය සත 50 දක්වා වැඩි කෙරිණි. පසුව අන්නාසි හා පැපොල් වගාව ද ඊට එක් කරන ලදි.
වැල් දොඩම් නිෂ්පාදන සඳහා කර්මාන්ත ශාලාවක් යට්ටපාත ප්‍රදේශයට අනුමත වී තිබුණ ද අගමැතිනිය නායකත්වය දැරූ අත්තනගල්ල ප්‍රදේශයට එම කර්මාන්ත ශාලාව පසුව අයිති විය. ඒ අනුව සෑම දිනකම වැල් දොඩම් ලොරි 10 - 15 ක් යට්ටපාතේ සිට අත්තනගල්ල කර්මාන්ත ශාලාව වෙත යවන ලදි. වැල් දොඩම් ගොවීන්ගේ ආදායම ඒ කාලයේ මසකට රුපියල් 700/-ක් පමණ විය.
ක්‍රමයෙන් ගම්වැසියන්ගේ ආදායම වැඩිවීමත් සමඟ මැටියෙන් තනා පොල්අතු සෙවිලි කළ ගෙවල් ගඩොලින් තනා උළු සෙවිලි කළ ගෙවල් බවට පත්විය. යට්ටපාත ගමේ දරුවන් සඳහා යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලය ඉදිවූ අතර එය විවෘත කරන ලද්දේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතායි.
මුලින් ගොවි ගම්මානය අරුත් ගැන්වීම සඳහා ගොවියෙකුගේ හා ගෙවිලියකුගේ පිළිරුවක් ඉදිකර එම ප්‍රදේශය ‘සිරිමාවෝ උද්‍යානය‘ ලෙස නම් කර තිබූ අතර පසු කලෙක කිසියම් පිරිසක් එම පිළිරුව විනාශ කර තිබුණි. දේශපාලන පෙරළි සමඟ ගොවියෙකුගේ සහ ගෙවිලියකගේ වත්මන් පිළිරුව එහි ස්ථාපනය කර තිබූ අතර එම ප්‍රදේශය ‘සිරිමාවෝ උද්‍යානය‘ නොව ‘සිංහරාජ උද්‍යානය‘ ලෙස වෙනස් කරන ලදි. මෙහි වැල් දොඩම් වගාවට කණ කොකා හැඬුවේ 1976 සිටය. ඒ වයිරස් රෝගයක් හේතුවෙන් වැල් දොඩම් වගාව විනාශවී යාමත් සමඟය. පසුව දීර්ඝ කාලීන භෝග ලෙස තේ - රබර් - කුරුඳු හා පොල් යන වගාවලට අනුමැතිය ලබා දෙන ලදි.
“මම මේ ගොවි ගම්මානයට එද්දි වයස අවුරුදු 20ක විතර තරුණයෙක්. මගේ ගම බෝම්බුවල කිවුලවත්තේ. රැකියා නැති අය මේ සඳහා අයදුම් කළාම ඩී.ආර්ඕ කන්තෝරුවෙ තිබුණු සම්මුඛ පරීක්ෂණයෙන් මාද සමත් වුණා. පසුව මෙහි පැමිණ ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කළා. මුලින්ම අපට ලෝක ආධාර වැඩපිළිවෙළ යටතේ කරවල - සැමන් ආදි ආහාර ද්‍රව්‍යත් ලැබුණා.“ උඩකන්දගේ කරුණාරත්න(අවු: 71) අපට එසේ කීය.
“මගේ ගම කලුපහන. මේ පිරිස සමඟ වැල් දොඩම් වගාවේ නිරත වෙමින් මාද එදා හොඳ ආදායමක් ලබා ගත්තා. එදා අපට දුන් ඉඩම් ඔක්කොම මැනුම් කටයුතු කරල බෙදලයි තිබුණේ. ඒත් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒවා නැතිලු. අපි ළඟ ඒවායේ පිටපත් තිබෙනවා. ඒත් දැන් ඒවා නැවත මනින්න වෙලා.
ඇත්තටම දැන් අපිට ඔප්පු නැහැ. මුලින් ඇවිත් මේ ඉඩම් දාලා ගිය කීප දෙනෙකුත් සිටියා. ඒ අයගේ ඉඩම් කොටස් වෙන අය අල්ලගෙන තිබෙනවා. කොල්වින් ආර්. ද සිල්වා ඇමතිතුමාට අපේ ලොකු ගෞරවයක් තිබුණා. මට මතකයි එතුමාගේ මැතිවරණ රැස්වීම්වලටත් අපි මීගහතැන්නට ගියා. බල කරල එක්ක ගියා නොවෙයි. ‘සීනි නැතුව තේ බොන්නම්‘, ‘මිරිස් නැතුව හොදි කන්නම්‘ කිය කියා අපිත් පෙළපාළි ගියා“ එ් එස්.ඩී. කරුණාසේන(අවු: 70) ය.
“මගේ මුල් ගම ඉත්තපාන. රැකියාවක් නැතිව ගම්වල හිටපු අපව මෙතැනට ගෙනල්ලා දුන් ශක්තිය තමයි අපි මෙහෙම ගෙවල් දොරවල් හදාගෙන දරු මල්ලො උගන්නගෙන ඉන්නෙ. අපි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත්, ඇමති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහත්තයටත් අදටත් පින් දෙනවා.
ඒ කාලයේ කොල්වින් මහත්තයගෙ සංකල්පයකට අනුව තමයි මේ ව්‍යාපෘතියයි පැලවත්ත සේද ව්‍යාපෘතියයි දෙකම පටන් ගත්තෙ. ඒවා සංකේතවත් කරන්න පැලවත්තෙ ‘සේද කුමාරි‘ පිළිරුවත් මෙහෙ ‘ගොවියෙකු හා ගෙවිලියක‘ සිටින පිළිරුවත් හැදුවා.
ඒ කාලෙ කෙනෙකුට අසනීපයක් වුනොත් යන්න වුණේ මීගහතැන්න රෝහලට. එහෙට අපේ ගමේ ඉදල කිලෝ මීටර් 20ක් විතර ඇති. ඒත් යන්න එන්න බස් එහෙම තිබුණේ නැහැ. කැනඩා ආධාර යටතේ කුඩා ලොරියක් මේ ව්‍යාපෘතියට ලබාදී තිබුණා. තව ඩීඑල්වි මහත්තයගෙ ජීප් එක තිබුණා. තව ට්‍රැක්ටර් කීපයක් තිබුණා. ඕවයෙ දාගෙන තමයි ලෙඩ්ඩුන්ව රෝහල්වලට අරන් ගියේ.“ ඒ දොන් ටෙනිසන් ජයවීර (අවු: 75) ය.
“ මගේ ගම අගලවත්ත පිඹුර ප්‍රදේශයේ. අපි දැන් මෙහෙම ගම්කාරයෝ. වැල් දොඩම් වගාව නැවතුනාට පසු අපි වෙනත් භෝග වගා කළා. ඒත් වනසතුන්ගෙන් ඒවාට හානි වෙනවා. වල් ඌරො, රිළව්, දඬු ලේන්නු, මොනරු ඒවාට හානි කරනවා. පොල් බැටි කාලෙදිම රිළව් හිල් කරගෙන බොනවා. නැතිනම් පොල්වලින් අපට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. දැන් රිළව් හිල් කරපු පොල් වැටෙනවා. මදුරුවො බෝවේවි කියන බයට අපි ඒවා ගිනි තියනවා. නැතිනම් වළලනවා. “ ඒ ජයවීරගේ නන්දසේන (අවු: 72) ය. අවිවාහක තරුණයන්ට ඉඩක් ලබා දුන් මෙම ව්‍යාපෘතියට ඉස් ඉස්සෙල්ලාම මනමාලියක් කැඳවාගෙන ආවේ බී.ඩී. සෝමරත්නය.
“මගේ ස්වාමි පුරුෂයා මේ වන විට මිය ගිහින්. අපට දරුවන් තුන් දෙනයි. පුතාලා දෙන්නයි. එක දුවයි. ලොකු පුතා යුධ හමුදාවේ.
රට බේරා ගත් යුද්දෙදි එයා රට වෙනුවෙන් ජීවිතය පූජා කළා. 1972 අගෝස්තු 18 වැනිදා අපි විවාහ වෙලා මෙහෙට එනකොට අපට තිබුණේ ඉතා කුඩා මැටි ගෙයක් විතරයි. අපි වැඩ කළාම දවසටම ලැබුණේ රුපියල් 8/- යි. අපි හුඟක් මහන්සි වෙලා වැඩ කරලා දරු මල්ලො හදාගෙන මේ තත්වයට ආවා. අද මගේ එක් මිනිබිරියක් නීතිඥවරියක්.
තව මිනිබිරියක් ගුරුවරියක්. තව මිනිපිරියක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. තවමත් පාසල් යන මුනුපුරු මිනිබිරියන් මට සිටිනවා. අපට මේ තත්වයට ඒමට මෙම වගා ව්‍යාපෘතිය විශාල පිටිවහලක් වුණා. “ඒ නන්දා සේනානායක (අවු: 68) අදහස් ය.