රෝග නිවා­ර­ණය උදෙසා බුදු­ර­දුන් වදාළ උප­දෙස් අදට ද වලං­ගුය | සිළුමිණ

රෝග නිවා­ර­ණය උදෙසා බුදු­ර­දුන් වදාළ උප­දෙස් අදට ද වලං­ගුය

 

 

මහාකාරුණික බුදුරජාණන් වහන්සේ උන් වහන්සේ විසින් අවබෝධ කරන ලද සදහම ලෝකයට ප්‍රකාශ කෙළේ සත්ත්වයාට දුකින් එතෙර වීමට මඟ එළි පෙහෙළි කැරදීම සඳහා ය. එම පරමාර්ථය සාක්‍ෂාත් කැර ගැනීම උදෙසා පුද්ගලයා ගේ මෙලොව සුව විහරණයෙහි (දිට්ඨධම්ම සුඛ විහාර) අවශ්‍යතාව ද අවධාරණය කැර ඇත. එකී සුව විහරණය ද කායික හා මානසික වශයෙන් දෙවැදෑරුම් කොට ධර්මයෙහි පැහැදිලි කැරේ. මේ කායික හා මානසික (චේතසික) අංශ දෙකේ සමබර පැවැත්ම හෙවත් සුව පැවැත්ම ස්වස්ථතාව හෙවත් සෞඛ්‍යය යනුවෙන් අදහස් වේ.

 

භික්‍ෂූන් වහන්සේලා ගේ සෞඛ්‍යය සංරක්‍ෂණය සඳහා බුදුපියාණන් වහන්සේ විසින් වරින් වර දේශනා කරන ලද කරුණු ත්‍රිපිටකයෙහි ඇතුළත් වෙයි. ඒවා ගිහි ජනතාව ගේ සෞඛ්‍යය සඳහා ද අදාළ කැරගත හැකි ය. එහි ඇතැම් කරුණු භෞතිකය මත පදනම් ව ගොඩනැඟූ නූතන වෛද්‍ය විද්‍යාවටත් ආයුර්වේදයටත් වඩා ඉදිරියෙන් සිටින බව ඇතැම් සෞඛ්‍ය විශාරදයන් ප්‍රකාශ කැර ඇත. බුද්ධ විද්‍යාව මනස කේන්ද්‍ර කැරගත් ඉගැන්වීමකි. එහෙත් එහි කායික සුවතාව ගැන කතා කරන්නේ මනසේ සුවතාවට එය අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයිනි. කායික සෞඛ්‍යයෙන් බැහැර වු මානසික සෞඛ්‍යයක් ගැන අපට කතා කළ නොහැකි ය.

බුදු රදුන් විසින් තමන් වහන්සේ “උත්තරීතර ශල්‍ය වෛද්‍යවරයකු” (අනුත්තරෝ භිසක්කෝ සල්ලක්කත්තෝ) ලෙස හඳුන්වනු ලැබ ඇත. සත්ත්වයා දුකට පමුණු වන රාග, දෝෂ, මෝහාදි මුල් උදුරා දැමූ හෙයින් උන් වහන්සේට ඒ විශේෂ නාමය භාවිත විය.

කෙනෙකුට කායික වශයෙන් කිසිදු රෝගයකින් නො පෙළී වසරක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, දහයක් නැතහොත් වසර පනහක් සියයක් සිටිය හැකි වුව ද පුහුදුන් කෙනකුට මානසික රෝගවලින් එක මොහොතක් හෝ නො පෙළී සිටිය නොහැකි බව බුදු පියාණන් වහන්සේ වදාළහ. ලෝභ-ද්වේෂ ආදී වූ විවිධ ක්ලේශ ස්වභාවයන් සත්ත්වයා ගේ මනසෙහි කිඳා බැස පැවැතීම මෙයට හේතුව යි. සුව පහසුවෙන් ජීවත් වීම සඳහා කෙලෙස් ලෙඩවලින් පීඩිත වූවන් අතර එබඳු කෙලෙස් ලෙඩවලින් දුරු ව වාසය කළ යුතු බව බුදු රදහු වදාළහ. (සුසුඛං වත ජීවාම - ආතුරේසු අනාතුරා) එසේ ම ලාභයන් අතර පරමය (ඉහළ ම ලාභය) ලෙස නීරෝගී කම පෙන්වා වදාළහ. (ආරෝග්‍ය පරමා ලාභා) කෙනකු ගේ දියුණුවට හේතු වන මුල් ම කරුණක් ලෙස වදාළේ ද නීරෝගි කම යි.

විවිධ රෝග පිළිබඳ ව වර්ගීකරණයක් ගිරිමානන්ද සූත්‍රයෙහි දැක්වෙයි. ඇතැම් රෝගවලට කළ යුතු බෙහෙත් පිළියම් විධි මහාවග්ග පාළියෙහි භේසජ්ජක්ඛන්ධයෙහි ඒ ඒ අවස්ථානුකූල ව පැහැදිලි කැර ඇත. රෝග නිවාරණයට හේතු වන කරුණු රැසක් චුල්ලවග්ග පාළියෙහි වත්තක්ඛන්ධකයෙහි ද ප්‍රකාශිත ය.

හටගත් රෝගාබාධවලට පිළියම් සැලැසීමට වඩා රෝග ඇති නොවන පරිද්දෙන් යහපත් චර්යාවන් සකසා ගැනීම බුදුරදුන් බෙහෙවින් අගය කළ බව පෙනේ. මේ කරුණු ආයුර්වේදයෙහි ද ප්‍රකට කැරේ. “රෝගාපහරණාඡේරෂ්ඨං - ප්‍රෝක්තං රෝග නිවාරණම්” එයින් කියැවෙන්නේ රෝගයකට බෙහෙත් කිරීමට වඩා රෝග නිවාරණය ඉතා වැදගත් වන බව යි. නූතනයෙහි බොහෝ දෙනා ගේ ද ආකල්පය වී ඇත්තේ ද රෝග වළක්වා ගැනීමට වඩා අසනීපයක් වුව හොත් ඊට බෙහෙත් ප්‍රතිකාර ගැනීම ය.

බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාව දුකින් එතෙර වීමට මතු නො ව, මෙ ලොව ඇති වන දුක් සමනය කැරගැනීමට ද උපයෝගී කැරගත හැකි ය. වත්මන්හි සමාජය තුළ කතා බහ කැරෙන බෝ වන සහ බෝ නොවන රෝග සමස්ත වශයෙන් ගෙන බැලීමේ දී පැහැදිලි වන කරුණක් නම් මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැර වීමේ ප්‍රතිඵලයක් ලෙස මේවා අත්විඳින්නට සිදු ව ඇති බව යි. මිනිසා තමාට අහිත සලසන දුසිරිත් ක්‍රියාවල යෙදීම, අතෘප්තිකර ආශාවනට යට වී තෘෂ්ණාවේ දාසයන් ව විසීම, දැඩි ආත්මාර්ථකාමිත්වය, ද්වේෂයෙන් දූෂිත ව අනර්ථකාරී ක්‍රියාවල නිරත වීම, දූෂණයට හා වංචාට නතු වීම ආදි නොයෙක් අපගාමී චර්යාවනට හේතු නිරීක්‍ෂණය කිරීමේ දී ධර්මයෙන් බැහැර වීම හා ඒ තුළින් ඇති වන මානසික සංකූලතා හඳුනාගත හැකි වනු ඇත. පංචශීලය, සත් තිස් බෝධිපාක්‍ෂික ධර්ම, දස සඤ්ඤා වැනි සුවිශේෂ දහම් කරුණු බුදුරදුන් වදාරා ඇත්තේ ලෝකෝත්තරාර්ථයත් සැලැසෙන අයුරින් පුද්ගලයාටත් සමාජයටත් එරෙහි ව මතු වන යථෝක්ත විෂම ක්‍රිියා වළක්වා ගැනීම අරමුණු කැරගෙන ය.

රෝග නිවාරණය උදෙසාත් මනා ස්වස්ථතාවක් පවත්වාගැනීම සඳහාත් ‘සප්පාය’ කරුණු පහක් බුදු දහමෙහි අවධාරණය කැරේ. සප්පාය යනු සුදුසු, පථ්‍ය, යෝග්‍ය යන අදහස දෙන පදයකි. ආහාර සප්පාය, විහරණ සප්පාය, උතු සප්පාය, පුග්ගල සප්පාය, අජ්ඣාසය සප්පාය යනුවෙන් කරුණු පහක් ධර්මයෙහි ප්‍රකාශිත ව ඇත.

1. ආහාර සප්පාය නම් තමාට පථ්‍ය වූ ගුණ වූ ආහාර ගැනීම යි. ස්වස්ථතාව උදෙසා ආහාරය පිළිබඳ ඥානයක් පුද්ගලයකුට අවශ්‍ය ය. පෝෂ්‍යදායී වස විසෙන් තොර ආහාර වේලක් සකස් කරගැනීම නාගරික සමාජයට කෙසේ වෙතත් ගැමි සමාජයට එතරම් ගැටලුවක් නොවේ. එහෙත් අද බොහෝ විට පෙනෙන්නේ පෝෂණ පදාර්ථයන් පිළිබඳ සැලැකිල්ලක් නොමැති ව ලෙහෙසියට පහසුවට පිෂ්ඨය හා තෙල් බහුල ක්‍ෂණික ආහාරයක් මිලයට ගෙන අනුභව කිරීම යි. ප්‍රතිශක්තියක් නැති රෝගී පුද්ගලයන් සමාජයෙහි බහුල වීමට මෙය එක් හේතුවකි. මීට දශක 5 - 6 කට පෙර පැවැති සමාජය ඉතා නීරෝගි වීමට ප්‍රබල හේතුවක් වූයේ ඔවුනට උසස් ආහාර සංස්කෘතියක් තිබීම යි. රසයත් ගුණයත් විවිධත්වයත් පවතින අයුරින් ක්‍රමානුකූල ආහාර වේලක් සකස් කැර ගැනීමට ඔවුහු සමත් වූහ. කොතරම් ආහාර තිබුණත් අල්පේච්ඡ ව පමණ දැන ආහාර ගැනීමත් නීරෝගි බව වඩන සාධකයෙකි. අතීත සමාජය මෙම ගුණය උකහාගත්තේ බුදු දහමෙහි ආභාසයෙනි.

2. විහරණ සප්පාය - ශරීර සෞඛ්‍යයට ගැළැපෙන පරිදි ඉඳුම් - හිටුම් - ඇඳුම් පැලඳුම් ආදිය පිරිසුදු ව ක්‍රමානුකූල ව පවත්වාගැනීම අවශ්‍ය වේ. අනලස් ව ක්‍රියා කිරීම, සුදුසු යෝග ව්‍යායාම් අභ්‍යාසවල නිරත වීම ද මීට ඇතුළත් වේ. එ පමණක් නොව නිවසේ වත්ත පිටිය හා පරිසරය ද පිළිවෙළට පිරිසුදු ව පවත්වාගැනීම ද විහරණ සප්පාය ප්‍රීතිජනක කැරගැනීමට බෙහෙවින් උපකාරී වේ.

3. උතු සප්පාය - ශරීරයට හිතකර ලෙස ශීත - උෂ්ණ සමබර ව ලබාදීම සෞඛ්‍යයට හේතු වන කරුණෙකි. එසේ නො වුව හොත් කය පෙළීමටත් රෝගී වීමටත් එය හේතු වේ. ස්නානය ද ඊට ඇතුළත් ය. ජලය අඩු කාලවල දී පවා රෙදි කඩක් වතුරින් තෙමා ඇඟ පිරිමැද කයට සුදුසු සෘතු ගුණ ලබා දීම බුදුරදුන් අනුදැන වදාළ කරුණකි.

4. පුග්ගල සප්පාය - කායික - මානසික රෝගයන් ගෙන් පෙළෙන අය ගේ ආශ්‍රයට නො ගොස් සෞඛ්‍යයෙන් දියුණු පුද්ගලයන් ආශ්‍රය කිරීම ද ආරෝග්‍ය වර්ධනයට හේතු වේ. බෝවන රෝග ඇති පුද්ගලයන් වෙන් කැර තැබෙන්නේ ද මේ කරුණ මුල් කැරගෙන ය. මෙහිලා විශේෂයෙන් අවධාරණය කැරෙනුයේ මානසික වශයෙන් ආතුර ස්වභාව ඇති නරක අදහස් ඇති අසත්පුරුෂයන් ගෙන් ඈත් වීම යි.

5. අජ්ඣාසය සප්පාය - තමා තුළ සුදුසු වූ පථ්‍ය වූ හොඳ සිතිවිලි ඇති කැරගැනීමත් සෞඛ්‍ය වර්ධනයට හේතු වේ. මුලින් සඳහන් කරුණු සතර නූතන වෛද්‍ය විද්‍යාවෙහි ද ප්‍රකාශ කැර ඇතත් බුදුරජාණන් වහන්සේ වදාළ මෙම පස් වන කරුණ පිළිබඳ ව වර්තමාන සෞඛ්‍ය විශාරදයන් ගේ ද සැලැකිල්ලට භාජන වී ඇත්තේ එහි ඇති සුවිශේෂී සත්‍යතාව පදනම් කැරගෙන ය. ධර්මයෙහි පැහැදිලි කැරෙන සියලු ධර්මෝපදේශයන් ගේ මූලික පරමාර්ථය වන්නේ පුද්ගලයා තුළ ආධ්‍යාත්මික වශයෙන් පිරිසුදු චෛතසික පරිසරයක් සකස් කිරීම ය. එය ම බාහිර වශයෙන් කල්‍යාණමිත්‍ර සමාජයක්, ජීවහිතවාදී පරිසරයක් උදෙසා ද අත්‍යන්තයෙන් උපයෝගී වේ. රෝග නිවාරණය සඳහා චිත්ත පාරිශුද්ධියත් සන්සිඳුණු සිතිවිලි ස්වභාවයත් ප්‍රබල බලපෑමක් කරයි. කරුණා භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානාසතිය වැනි චිත්ත අභ්‍යාස මඟින් රෝග වළක්වා ගැනීමේ ක්‍රමවේදය බටහිර ලෝකයෙහි ද සාර්ථක ලෙස අත්හදා බලා ඇත. අකුශලයෙන් ඈත් වීමත් කුසල් සිතිවිලි වැඩීමත් සියලු බුදුරජාණන් වහන්සේලා අවධාරණය කරන්නේ එය චිත්ත පාරිශුද්ධියට ඉවහල් වන හෙයිනි. ආගමික චර්යාවන් දියුණු කිරීම - නුවණින් ආගමානුකූල වත් පිළිවෙත්හි යෙදීම රෝග නිවාරණ - රෝග ප්‍රතීකාරක මෙන් ම ප්‍රතිශක්තිකාරක විධි ක්‍රමයක් ලෙස බුද්ධිමත් ලෝකයා කළ විවිධ අත්හදා බැලීම් තුළින් සනාථ වී ඇත.

වත්මන්හි මුළු ලොව පුරා ම වාගේ පැතිර පවතින කොවිඩ් 19 වසංගත රෝග උවදුර පිළිබඳ ව ද අප සැම ගේ අවධානය යොමු විය යුත්තේ එය නිවාරණය කර ගන්නා ක්‍රමෝපාය පිළිබඳව සැලකිලිමත් වෙමිනි. ඒ සඳහා සියලු‍ රටවැසියන් ම ඒ පිළිබඳ ව එකිනෙකාට පැවරෙන වගකීම පිළිබඳ ව ගැඹුරින් සිතා බැලිය යුතු යි. මෙම වගකීමෙන් බැහැර වීමත් මේ භයංකර උවදුර උත්සන්න වීමට හේතු පාදක වී ඇත. වසංගතය පැතිරීමෙන් වැළැක්වීමටත් අවශ්‍ය ප්‍රතිකර්ම නොපමා ව සැලැසීමටත් ජනතාව ගේ ආර්ථිකය සුරක්ෂිත කිරීමටත් රජයට මූලික වගකීමක් පැවැරෙන බව සැබෑ ය. එහෙත් ජනතාව අනෙකා ගැන සංවේදී වීමක් නැතිව ආත්මාර්ථකාමී ව නීතිය ගැන ද සැලැකීමක් නැතිව වෙනත් අයුරකින් කිව හොත් ස්වයං විනයකින් තොරව හැසිරෙන්නේ නම් මේ රෝග විපතින් ගැලැවීමක් කිසි සේත් බලාපොරොත්තු විය නොහැකි ය. සෞඛ්‍ය උපදේශකවරුන් විසින් නිර්දේශිත රෝග නිවාරණ - සෞඛ්‍ය සංරක්ෂණ උපදෙස් මැනැවින් ක්‍රියාත්මක කළ හැක්කේ ස්වයං විනයක් තුළිනි. අද ඇතැම් රටවල් මෙම වසංගතයෙන් සම්පූර්ණයෙන් ම වාගේ නිදහස් වී ඇත්තේ රාජ්‍ය යන්ත්‍රණයේ මනා කළමනාකරණය මෙන් ම රටවැසියාගේ ද ස්වයං විනය පදනම් කැරගෙන ය. වර්තමානයෙහි සෞඛ්‍යය සංරක්‍ෂණය සඳහා නිර්දේශිත නිවැරදි ව මුව වැස්මක් පැලඳීම, නිතර අත් සේදීම, සමාජ දුරස්ථභාවය වැනි කරුණු ද මනා අවබෝධයකින් යුතුව ස්වයං විනයකින් පුරුදු පුහුණු කළ හැකි නම් ඒවා කරුණාවෙන් පෝෂණය ලැබූ මෛත්‍රී කාය කර්ම ලෙස අප වටහා ගත යුතු ය. ඒවා නිරායාසයෙන් උපයා ගත හැකි කුශල කර්ම ය. තමා උපමා කැරගෙන අනුන් දෙස මෙත් සිතින් බලමින්, තමා ගේ අසල් වැසියා ද සිය පවුලේ කෙනකු මෙන් සලකමින්, රෝග නිවාරණයට අදාළ පිළිවෙත් මැනැවින් සපුරමින් ලෝවැඩ සැලැසීම පරම මානුෂික ගුණයක් මෙන් ම උතුම් බුද්ධ පූජාවක් ද වන බව මෙහිලා සිහිපත් කරවනු කැමැත්තෙමු.

 

සාකච්ඡා කළේ - තාරක වික්‍රමසේකර

Comments