
වෙසක් සඳ කලාසොළස පූර්ණ කිරීමට ඇත්තේ තව නොබෝ දිනකි. මේ වනවිට කොරෝනා ව්‍යසනය හමුවේ අප පමණක් නොව මුළු මහත් ලෝකයම අසරණව සිටිති. එවන් පසුබිමක ගෞතම බුදුන්වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් වෙසක් උත්සවය අපට සිත්තොසින් සැමරීමට අවකාශ නොමැත. නිවෙසේ සියලුදෙනා එකට එක්ව පන්සල් ගිය, වෙසක් තොරන් පහන්කූඩු නරඹා දන්සල් වැඳ සතුටු වූ කාලය අතීත මතකයක් බවට පත්ව ඇත. නම සියලු මානව සබඳතා අහොසි වී ගොස් ඇති සේය. අද අනෙකා සමඟ සුහදව මිත්‍රශීලීව බෙදාහදාගෙන ජීවත් වීමේ පුරුද්දක් අපට නැත.
ඇතැමුන් එකිනෙකා පරයා යාමේ තරගය නිසා සමාජය තුළ පරාරෝපිත සත්වයකු බවට පත්ව සිටී. එනිසා වටිනාකම් වලට වඩා අප අඳින පළඳින පාවිච්චි කරන දේවල් විසින් අපට වටිනාකම් උරුම කර දී ඇත. එනිසා ඒ දේවල් හැකිතාක් අත්පත් කර ගැනිමින් තම හිස් බව වසා ගැනීමට අපි උත්සාහ කරමු. මේ ආ මගෙහි කිසියම් සන්ධිස්ථානයකට කොරෝනා වසංගතය විසින් අප ගෙනැවිත් ඇත. ඒ ඊට අනුරූපව ජිවන ක්‍රමය වෙනස් කර ගැනීමටත් බලකර තිබෙන හෙයිනි. මෙවන් පසුබිමක ජීවිතය දෙස නැවත හැරීබලන්නට අපට සිදුව තිබේ.
වසර දෙදහස් පන්සීයකට පෙර ගෞතම බුදුන්වහන්සේ අල්පේච්ඡතාවය හා එහි ආදීනව මොනවට දේශනා කරමින් සත්ත්වයා හැල්මේ දුවන මේ ගමනේ අර්ථයක් නොමැති බව පෙන්වා දුන්නේ එනිසාය. එසේ වුව අප ඒ දෙස නොදුටුවාසේ, නොඇසුවාසේ කටයුතු කරන්නෙමු. එහෙත් තවදුරටත් අපට එලෙස ජීවත් වීමට නොහැකිය. නව බලාපොරොත්තු දල්වා ගනිමින් අප ජීවිතය ගෙන යා යුතුය.
මෙවන් වූ වටිනාකම් පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩට සූරීන් පවසන්නේ මෙවන් අදහසකි.
"වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ"
සියලු සංස්කාර වෙනස්වන සුලු ය. එබැවින් අප්‍රමාදීව කටයුතු කරන්න, යනු බුදු රදුන්ගේ අවසාන ප්‍රකාශයයි. මෙහි අප්‍රමාදය යනුවෙන් දැක්වෙන්නේ ඉක්මන් වීම නොව සිහි නුවණින් කටයුතු කිරීමය. මෙම පණිවිඩය ලෝකය පවත්නා තුරු වෙනස් නොවන්නකි. හේතු ප්‍රත්‍යයන්ගෙන් සංස්කරණයවන ලෝකය තුළ පවත්නා සියල්ල සංස්කාර යන්නට ඇතුළත් වේ. අප අද මුහුණපා සිටින ඛේදවාචකය ද මෙම අනිත්‍ය ධර්මයේ එක් ප්‍රකාශනයක් පමණි. එසේ නම් මෙම වෙනස්වන සුලු ලෝකයේ අපට කළ හැකි එකම දෙය නුවණින් කටයුතු කිරීමය.
නුවණ ලබා ගන්නා ක්‍රම දෙකකි. එකක් නම් යම් දෙයක් සිදුවීමට බලපාන හේතු සාධක මොනවා දැ යි අවබෝධ කරගැනීමය. අනික් කාරණය නම් එම හේතු සාධක අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය අවබෝධ කර ගැනීමය. වෙනත් අයුරකින් පැහැදිලි කරනනේ නම් කරුණු හා කරුණු අතර සම්බන්ධය අවබෝධ කර ගැනීමෙන් අපගේ නිවැරදි දැනුම හටගන්නා බවයි. සූර්යයා, තාපය, ජලය, වාෂ්ප, අහස, සුළඟ සහ වලාකුළු යනු කරුණු හතකි. මේවා වෙන් වෙන්ව අවබෝධ කරගැනීම දැනුම ලබාගැනීමේ පළමු පියවරයි. එහෙත් එලෙස ලබාගන්නා දැනුම දැනුමෙන් භාගයකි. එය සම්පූර්ණ වීමට නම් ඒ කරුණු හත අතර පවත්නා හේතුඵල සම්බන්ධය ද අවබෝධ කරගත යුතුය.
සුර්යයා පායන විට තාපය නිකුත් වේ. එය ජලය මත වැටීමෙන් ජලවාෂ්ප නිර්මාණය වේ. එම ජලවාෂ්ප සුළඟ මඟින් අහසට ගිය විට වලාකුළු සෑදේ. එයින් වර්ෂාව ඇති වේ. කරුණු හා කරුණු අතර හේතුඵල සම්බන්ධය අවබෝධ කර ගැනීම නිසා අපට වර්ෂාව ඇති කිරීම මෙන්ම නැති කිරීම ද කළ හැකිය. නමුත් කරුණු පමණක් අවබෝධ කරගැනීමෙන් අපට කිසිවක් පාලනය කළ නොහැකිවේ. උදාහරණයක් වශයෙන් වැස්ස නිර්මාණයවන ආකාරය අප නොදන්නේ නම් වැස්ස නොමැති කාලයක අපට කළ හැක්කේ වැස්ස ලබා දෙන ලෙස දෙවියන් යැදීම පමණකි.
වර්තමානයේ අප මුහුණ පාන කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් ද කිව යුත්තේ ඉහත කාරණයමය. එබැවින් මෙම අවස්ථාවේ අතිශයින් වැදගත් වනුයේ සිහිනුවණින් කටයුතු කිරීමයි. ඒ සඳහා ඉහත සඳහන් පරිදි මේ ව්‍යසනයට බලපා ඇති හේතු සාධක හා ඒවා අතර හේතුඵල සම්බන්ධය මනාව තේරුම් ගත යුතුය. මෙහිදී අපට ඉක්මවා යා නොහැකි කරුණු තුනක් ඇත. එනම් අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයයි.
වර්තමානයේ අප මුහුණ පාන සැම දෙයකට ම බලපාන අතීත හේතු සාධක රාශියක් තිබේ. ඒවා හොඳින් විමසා බලා ඒ හා වර්තමාන ඛේදවාචකය අතර ඇති සම්බන්ධය හඳුනා ගත යුතුය.
බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනයෙන් අපට උගන්වා ඇත්තේ කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය යන අන්තගාමී ප්‍රතිපත්ති දෙකෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු බවයි. ආයුර්වේදයේ උපදෙස් දී ඇත්තේ ද "අනුයායාත් ප්‍රතිපදං සර්වධර්මේෂු මධ්‍යමාම්" සෑම අවස්ථාවකදීම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් සෞඛ්‍යය රැක ගත හැකි බවයි. ප්‍රතිපදාවක් යනු අනෙකක් නොව මිනිස් චර්යාවයි. ආයුර්වේදයට අනුව සියලු රෝග හටගන්නේ වා, පිත් සහ සෙම් කෝප වීමෙන්ය. ඒවා කෝප වීමට බලපානුයේ වැරදි චර්යාවන් හා ආහාරපානය. "සර්වේ ෂා මේව රෝගානාං නිධානං කුපිතාමලාඃ තත් ප්‍රකෝපස්‍ය තු ප්‍රෝක්තං විවිධාහිතසේවනම් "
අපගේ යටගියාව දෙස විමසුම් ඇසින් බලන විට අප අනුගමනය කර ඇත්තේ අධික සැප සම්පත් පසුපස ලුහුබඳින කාමසුඛල්ලිකානුයෝගය ද එසේත් නැති නම් අතිශය දුක් විඳින අත්තකිලමතානු යෝගයද යනු හොඳින් වටහා ගත හැකිය. රටක අධිසුඛෝපභෝගී මිනිසුන් හා අතිශය දුක්ඛිත සමාජ දෙකක් බිහි වන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉවත්ව මෙම අන්තගාමි ප්‍රතිපදාවල යෙදීම නිසා බව ඉතා පැහැදිලිය. ආයුර්වේදයට අනුව විවිධාකාර රෝග පීඩා උද්ගතවන්නේ ද මෙම අන්තගාමී ප්‍රතිපදා නිසාය. ආයුර්වේදය හා බුදු සමය ගැන සඳහන්වන පැරණි ග්‍රන්ථ සියල්ලෙහි ම සඳහන් වන්නේ වසංගත රෝග සඳහා බලපාන ප්‍රධාන හේතුව අධාර්මික චර්යාව බවයි.
මේ සඳහා ප්‍රතිකර්ම වශයෙන් බුදුදහම නිර්දේශ කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. ආයුර්වේදයේ මේ සඳහා නිර්දේශ කරන රසායනය හඳුන්වන්නේ "ආචාර රසායනය" නමින් ය. එනම් යහපත් චර්යාව රසායන බෙහෙතක් මෙන්ම මෙබඳු රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බවයි.
ඉහත සඳහන් පසුබිම යටතේ අපට නුවණ මෙහෙයවා අපගේ චර්යාවන් නිවැරදි කර ගැනීමට කරගැනීමට අවස්ථාවක් කෝවිඩ් ව්‍යසනය හමුවේ ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර දී ඇත. ඒ සඳහා යෝග්‍යතම කාලය වෙසක් සමයයි. ස්වභාවධර්මයා විසින් මේ වෙසක් සමයේ අපට යොජනා කරන එකී කාරණා කෙටියෙන් සලකා බලමු.
කාමසුඛල්ලිකානුයෝගය මුදල ලාභය සැපය ජීවිතයේ පරමාර්ථය සේ සලකා ආත්මාර්ථකාමය පමණක් පෙරදැරිව කටයුතු කිරීමෙන් මිනිසා විසින් මේ සමාජයට කරනු ලබන අගතීන් බොහෝය. ඒවා එකින් එක මෙසේ දැක්විය හැකිය.
මිනිසා විසින් වන විනාශය කිරීම, පරිසර දූෂණය, උත්සව සම්භාෂණවලදී ආහාරපාන විනාශ කිරීම, සත්ව ඝාතනය, සොරකම බොරුකීම, මත්පැන් පානය, දූ කෙළිය ආදීයයි.
මේවා නිසා නිරන්තරයෙන් තමාද පිරිහීමට පත්ව සමාජයද පිරහීමට ලක්කරවයි.
මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ
අත්තකිලමථානුයෝගය අනුව යමින් ජීවිතය පිළිබඳ කලකිරී දියුණුව පිළිබඳ නොසිතීම, උදාසීනත්වය, අලසකම, සෞඛ්‍ය පුරුදු නිසි ලෙස නො පිළිපැදීම, හිඟමනේ යෙදීම මෙන්ම සමාජයේ සැපවත් ජීවිත ගතකරන අයට ඊර්ෂ්‍යා කිරීම පිරිහීම කරා යාමට හේතුවේ.
එසේ නම් මෙම වෙසක් සමයේ ."පරමාය පූජාය පටිපත්ති පූජාය" යන ඔවදන අනුව බුදුරදුන් පිදිය යුතු උතුම්ම පූජාව වන ප්‍රතිපත්තිය එනම් අන්තගාමී ජීවන චර්යාවලින් බැහැර වූ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමට අදිටන් කර ගනිමු.