
රොබට් නොක්ස්
සිංහලයන්ගේ උසස් මානුෂික ලක්ෂණ එසෙ දකින්නේ සියවස් ගණනක සිට පැවති සාහිත්‍යයක ප්‍රතිඵල නිසා යි. එදා ඒ ජනතාවගෙන් වැඩි දෙනෙකු අකුරු කියවීමට අසමත් වුණත්, මාසයකට දින කිහිපයක් බණ පොතක් කියවනවා අසන්නට අවස්ථාවක් ලැබුණා. පන්සලේ හාමුදුරුවෝ ජාතක පොත, සද්ධර්මරතනාවලිය, සද්ධර්මාලංකාරය වැනි සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය කෘති ඔවුන් හමුවේ කියෙව්වා.
• දෙනගම සිරිවර්ධන
විවිධාකාර ලබ්ධීන් සැම කල්හිම පතළ වෙනවා. මතවාද මති මතාන්තර ව්‍යාප්ත වෙනවා. ඒවා ශාස්වතය උච්ඡේදය වශයෙන් ඒ දෘෂ්ටීන් අතරට වැටෙනවා. මෙතන දී මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් සම්‍යයක් දර්ශනය ලබා සිත කය වචන යන තුන්දොර
සංවරයේ පිහිටුවා ජීවිතය දැහැමින් ගෙවා දැමීමට අවශ්‍ය ඥාන ධාරා බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකටව පවතිනවා.
• මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
බුද්ධෝත්පත්තිය යන්න අද ලොව මහා ඥාන ගවේෂණය හා එහි උපත සංකේතවත් කරන්නක් බවට පත්ව තිබේ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකට පමණ පසු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ලංකාව ද බෞද්ධ සංස්කෘතියෙන් හික්මවුණ බෞද්ධ සාහිත්‍යයෙන් පෝෂණය වුණ රටක් බවට පත් වේ. එසේ වැඩුණ මෙරට බෞද්ධ පොතපත, අධ්‍යාපනය හා දර්ශනය මුල් කොටගත් දර්ශනවාදී සාහිත්‍යයක් බිහි කිරීමට සමත් විය. මේ, ඒ සම්බන්ධයෙන් සිදු කළ විද්වත් මත හා අදහස් එක්රැස් කිරීමක් වේ.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මේ සම්බන්ධයෙන් පවසන්නේ ජන පැවැත්මේ සදාචාර ධර්මතා, සදාචාර දර්ශනය, ආචාරධර්ම ගැටලුකාරී අභියෝගයන්ට ලක්ව ඇති මේ සමයේ ඒ ගැන වටහා ගැනීමට සම්භාෂා පැවැත්වීම අවශ්‍ය බව යි. නොදත් දේ දැනගැනීමටත්, දත් දේ සැකහැර තවදුරටත් දැනගැනීමටත් සම්භාෂා පැවැත්වීම අවශ්‍ය බව යි. ඒ අනුව අද අප වසන්නේ බෞද්ධ සාහිත්‍යයේ වටිනාකම කවරේදැයි කල්පනාවට ගත යුතු කාලයක යි.
“බොහෝ සේ වටිනාකම් ඇති පොත් දෙක තුනක් මෑත දී මට කියවන්න ලැබුණා. වස්කඩුවේ මහින්දවංශ හිමියන්ගේ උපදේශකත්වයෙන් ඩබ්ලිව්. ඒ. පද්මින් සමීර සම්පාදනය කළ -කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි - ඉන් එක කෘතියක් වන අතර අනික තමයි මානෙල් ජයමාන්න විසින් සිංහලට නඟා ඇති චාල්ස් ඇලන් විසින් ඉංග්‍රීසි බසින් රචිත - බුද්ධ භූමි ආලෝකනය අසිරිමත් පුද බිම් සොයාගත් මෙහෙයුම - යන කෘතිය. ඒ වගේ ම අනුර යස්මිත් විසින් ලියු - වැලිතොට පුණ්‍ය භූමි - නම් සංග්‍රහයත් වැදගත් කෘතියක්.”
“විවිධාකාර ලබ්ධීන් සැම කල්හිම පතළ වෙනවා. මතවාද මති මතාන්තර ව්‍යාප්ත වෙනවා. ඒවා ශාස්වතය උච්ඡේදය වශයෙන් ඒ දෘෂ්ටීන් අතරට වැටෙනවා. මෙතන දී මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් සම්‍යයක් දර්ශනය ලබා සිත කය වචන යන තුන්දොර සංවරයේ පිහිටුවා ජීවිතය දැහැමින් ගෙවා දැමීමට අවශ්‍ය ඥාන ධාරා බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකටව පවතිනවා.
ශ්‍රී ලංකාව බුද්ධ භූමියක්ය යන මතවාදයක් ද මේ දවස්වල පැතිර යමින් පවතිනවා. මම ඉහතින් පෙන්වා දුන් කෘති කියවන්නට අවස්ථාවක් ලදහොත් මේ මිථ්‍යාවේ පවත්නා අකීකරු නොහික්මුණකම, මුග්ධතාවය අවබෝධ කරගැනීමට අපහසු වෙන එකක් නෑ. ශාස්වතවාදය ගෙන ආවේ බමුණන් විසිනු යි ආත්මන් - බ්‍රහ්මන්වාදය ඔවුන්ගේ ඉගැන්වීම්වල පදනම වෙනවා. උච්ඡේදවාදය ව්‍යාප්ත කළේ චාර්වක නම් භෞතිකවාදීන් විසිනු යි. ශාස්වතවාදය හුදු භක්තිය හා විශ්වාසය මත ගොඩනැගුණක් වන අතර උච්ඡේද වාදය ගොඩ නැඟෙන්නේ තර්කය මත යි. එසේ හුදෙක් තර්කය මත ම පිහිටමින් ශීල ධර්ම මෙන් ම අධ්‍යාත්මික පරමාර්ථ බොරු කළා වු චාර්වකයෝ පුනරුත්පත්තියක් නැතැයි ද කීවාහු ය.
හොඳ නරක ක්‍රියාවල ප්‍රතිඵලයක් නැතැයි පතළ කළාහු ය. මේ ව්‍යාජය පුපුරුවාහල බුදුරදහු ශ්‍රද්ධාවත්, කරුණාවත් සමඟ ගුණ නුවන දල්වා අරි අටෙහි මගේ දිනනා සැටි උගන්වාලුහ. ආරිය අෂ්ඨාංගික මාර්ගය ශාස්වත, උච්ඡේද යන අන්ත දෙක ම ප්‍රතික්ෂේප කරනවා. පරිසර හිතකාමි ජලයට, පොළවට වනාන්තරයට, සතා සීපාවාට විශ්වයට ම සමසේ වැදගත් බුදු දහම ගැදියෙන් ද පැදියෙන් ද ලියවී තිබෙනවා.
අප කුඩා වියේ වෙසක් පත්වල කවි ලියු ටී. ඇස්. සෝමකුමාර, කරුණාරත්න අබේසේකර ඇතුළු කවියෝ රසවත් කළේ ඒ බුදු සමය යි. ජී. බී. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ ඇතළු ලේඛකයෝ වටහා දුන්නේ ඒ බෞද්ධ සාහිත්‍යයේ අගය යි. පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුළත් ඛන්දපරිත්ත - කඳ පිරිත (ඇතැම්හු අභිපිරිත යැයි ද මීට කියති.) මේ දිනවල රතන සුත්‍රය ද සමව දේශනා කෙරෙනවා. ඒ වගේ ම අහිවාතක නම් රෝග ව්‍යාධියක් ගැන ද ධම්ම පදය, සද්ධර්මරතනාවලිය හා තවත් කෘතිවල කියවෙනවා. කුම්භඝෝෂක කතාවේත් ඒ ගැන සඳහන් වෙනවා. විෂ කාරක වායුවට එක් වීමෙන් මිනිසාටත්, සොබා දහමටත් වන විපත් එහි සඳහන් වෙනවා.
ඒ වගේම අත්ථහිත, පරහිත නම් සංකල්ප දෙකක් බෞද්ධ සාහිත්‍යයේ අපට හමු වෙනවා. තමන් සම්බන්ධයෙන් දියුණුව ලැබීමයි අත්ථහිත වන්නෙ. එවැන්නවුන් ලොව ශ්‍රේෂ්ඨ චරිතම වන්නේ යැයි බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නිතර ඉස්මතු කරන කවි සුත්‍රය (අංගුත්තර නිකාය) ට විවරණයක් සෙනරත් පරණවිතානයන් (ඉංග්‍රීසි කෘතියට) සපයා තිබෙනවා. බුදුරදුන් දේශනා කළ අන්දමට සුත්‍ර කවි, අත්ථ කවි, පටිභාන කවි, වින්තා කවි යැයි කවීන් සිවු දෙනෙකු ලොව සිටිනවා. බෞද්ධ කථා වස්තු, බෞද්ධ කාව්‍ය, ගාථා, ශ්ලෝක, උපදේශන මඟින් ලොවට කරන ලද සුවසෙත යහපත නැවත විමසා බැලියයුතු කාලයක් අප හමුවේ තිබෙනවා.”
මෙරට කීර්තිමත් බෞද්ධ පුවත්පතක් වු “බුදුසරණ” පුවත්පතේ කර්තෘවරයා වශයෙන් ද කලක් කටයුතු කළ ප්‍රකට ලේඛක චන්ද්‍රසේන රණවීරයන්ෙග් අදහසට අනුව මෙරට බෞද්ධ සාහිත්‍යයේ පැවැත්ම ආරක්ෂා කර දුන්නේ ජාතික බෞද්ධ පුනරුද ව්‍යාපාරය යි.
“වැලිවිට සිරි සරණංකර සංඝරාජ හිමියන් තමයි මේ රටේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ මුල් කර්තෘවරයා වෙන්නෙ.
ඒ වන විට ගනින්නාන්සෙලාගේ තත්වයට පිරිහී තිබුණ මෙරට භික්ෂු සංස්කෘතිය උපසම්පදාව මුල් කර ගනිමින් නැවත නඟා සිටවු සංඝරාජ හිමියන්ගේ ප්‍රතිසංස්කරණය ඇතුලෙම බෞද්ධ සාහිත්‍යයේ නැඟීමකුත් දකින්න තිබෙනවා. උන් වහන්සේගේ ඒ ආරම්භය නිසා තමයි අද අස්ගිරි, මල්වතු වශයෙන් විහාර පාර්ශ්වයන් දකින්න ලැබෙන්නෙ.”
“මේ පුනරුද ව්‍යාපාරය පසුව කොළඹ මුල් කර ගනිමින් කොළඹ පන්සල් සංස්කෘතියක් ද ඇති කරනවා. එය ගිහි සහ පැවිදි උගතුන් මුල් කරගෙන ඇති වු සමාජ ජයග්‍රහනයක් කියල කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට දොන් මර්සරිස් සිල්වා තිලකරත්න ආරච්චිගේ දායකත්වයෙන් බිහිවුණු තිලකරත්නාරාමය වගේ ම පැළෑනේ වජිරඥාන හිමියන් නිසා ප්‍රකට වු බම්බලපිටියේ වජිරාරාමය පෙන්වා දෙන්න පුළුවන්. ඒත් සමගම කොළඹ ආනන්දය, මහනුවර ධර්මරාජය, ගාල්ලේ මහින්දය වැනි බෞද්ධ පාසල් ප්‍රබෝධය හරහා මේ රටේ බෞද්ධ සාහිත්‍යය මුල් කොටගත් සංස්කෘතිය ඉදිරියට ගමන් කරනවා. අද බොහෝ අයට මේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය අමතක වුණාට ඒ නිසා තමයි අපේ බෞද්ධ සාහිත්‍යය මුල් කොටගත් සංස්කෘතිය ආරක්ෂා වෙලා තියෙන්නෙ.”
පාලි භාෂාව හා සාහිත්‍යය සම්බන්ධ ප්‍රාමාණික උගතෙකු වන මහාචාර්ය ඔලිවර් අබේනායක අප හා පැවැත්වු සාකච්ඡාවකදී පැවසු අන්දමට අද වන විට පාලි භාෂාව හා බෞද්ධ දර්ශනය විශේෂයෙන් ම ජාත්‍යන්තර මට්ටමින් වැඩි අවධානයක් දිනා ගනිමින් පවතී.
“(අපේ කාලයේ දී) මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න වැනි අය මේ ක්ෂේත්‍රය (පාලි භාෂා අධ්‍යයනය) ආලෝකවත් කළ ගිහි උගතුන් වෙනවා. පැවිදි උගතුන් ඊට සාපේක්ෂව අඩුවෙනුයි දකින්න ලැබුණෙ.
පසු කාලීනව විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විසින් වෘත්තීය මූලික අධ්‍යාපනයක් රට තුළ ගොඩ නගනවා. එතනදී පෙරදිග භාෂා අධ්‍යයනය වැනි ශාස්ත්‍රීය අධ්‍යාපනය පස්සට තල්ලු වෙනවා. ඒත් අද තත්වය ඊට හාත්පසින් ම වෙනස්.”
“අපේ කාලයේ දී පෙරදිග භාෂා අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවතුණේ ශාස්ත්‍රීය ඉල්ලුමක් පමණයි. ඒත් අද එංගලන්ත සන්නද්ධ හමුදාවේ ආගමික උපදේශකවරු අතරට බෞද්ධ උපදේශකවරු ද ඇතුළු වෙලා සිටිනවා. ඒවගේ ම බෞද්ධ උපදේශන මධ්‍යස්ථාන ලොව පුරා ව්‍යාප්ත වෙමින් තියෙනවා.
ඒ නිසා ම ඉංග්‍රීසි බසින් බෞද්ධ දර්ශනය, පාලි බස ඉගෙනීමේ හැකියාවට අද ජාත්‍යන්තර මට්ටමින් ලොකු වටිනාකමක් තිබෙනවා.”
“පාලි ත්‍රිපිටකය, ටීකා, අටුවා, මහාවංශය, කාව්‍ය ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි සම්භාව්‍ය කෘති අතර පාලි සාහිත්‍යයට අයත් ප්‍රධාන පෙළේ කෘති තිබෙනවා. ඒවායේ සාහිත්‍යමය හා දාර්ශනික අගය මෙහිදී වැදගත් කොට සලකන්න පුළුවන්.
ඒ කාලේ භික්ෂුවක් උපසම්පදා වන විට ඊට පෙර පාලි බසින් කෘතියක් ලියා තිබිය යුතුය කියා සම්මතයක් තිබුණා. සමහර අය ගාථා දහයකින් එය ඉදිරිපත් කරද්දී තවත් අය සම්පුර්ණ කෘතියක් හැටියට ම ඉදිරිපත් කරන තත්වයකුත් තිබුණා.
හේන්පිටගෙදර ඥානසීහ, පොල්වත්තේ බුද්ධදත්ත, කෝදාගොඩ ඥානාලෝක යන හිමිවරුන් මේ රටේ පාලි භාෂාවට දායකත්වයක් දක්වලා තිබෙනවා.
එහෙත් සම්භාව්‍ය භාෂා අධ්‍යයනයක් හැටියට තමයි අදටත් පාලි භාෂා අධ්‍යාපනය පවතින්නෙ කියන කාරණයත් පෙන්වා දිය යුතුව තිබෙනවා.”
ලංකාවේ ජාතික අනන්‍යතාව බවට පත්වන බෞද්ධ සාහිත්‍යය මුල් කොටගත් බෞද්ධ දර්ශනය විශේෂයෙන් ම බටහිර රටවල බෞද්ධ ප්‍රබෝධයක් බවට පත් වීමට ඒ රටවල ප්‍රධාන පෙළේ උගතුන්ගෙන් ලද සහාය ද අමතක කළ නොහැක. ඒ අතරිනුත් දාර්ශනික බට්‍රර්න්ඩ් රසල්ට හිමිවන්නේ මුල් තැනකි.
ඔහුගේ ඒ විශිෂ්ට කෘති සිංහල බසට නැගූ ලේඛක කේ. ඒ. එන්. පෙරේරා, රසල්ගේ ඒ අදහස් මෙසේ ගොනු කළේය.
“ලෝකයේ පහළ වු ශාස්තෘවරුන් අතර තමන් ගරු කරන්නේ එකම ශාස්තෘවරයෙකුට පමණක් බවත්, ඒ බුදුන් වහන්සේය කියාත් රසල් පවසනවා.
ඊට හේතු වශයෙන් ඔහු දක්වන්නේ උන් වහන්සේ මැවීමක් එනම් ලෝකයේ ආරම්භයක් ගැන සඳහන් නොකිරීම වගේ ම ලෝකයේ සැබෑ ස්වභාවය අගය කළ එකම ශාස්තෘවරයා වීම යන කාරණා යි. ඒ වගේ ම ලෝක විෂය අචින්ත්‍යය බවත්, එය සොයා යාම නිරර්ථක කටයුත්තක් බවත් බුදුන් වහන්සේ පෙන්වා දී තිබීම ගැනත් ඔහු කතා කරන්නේ මහත් පැහැදීමකිනු යි.
එසේ එය සොයා යාම නිරර්ථක යැයි උන් වහන්සේ පවසන්නේ තමන් හමුවේ සිටි (එකල) ශ්‍රාවකයන් තමන් වටහා ගත් දේ වටහා ගැනීමට භෞතික පැවැත්ම පිළිබඳ බුද්ධිමය පුහුණුවක්, ප්‍රාමාණික බවක් නොමැති බව උන් වහන්සේ දැන සිටි නිසාය කියා රසල් පෙන්වා දෙනවා.”
“ඉතිහාසයේ පහළවූවන් අතරින් ප්‍රඥාවෙන් ද ගුණවත්කමින් ද ක්‍රිස්තුස් වහන්සේ අගතැන්පත් බව බොහෝ අය පිළිගත්තත්, තමන් එසේ නොසිතන බව පවසන ඔහු එතනදී තමන් ඉහළින් ම තියන්නේ බුදුන් වහන්සේ බවත් පෙන්වා දෙනවා.
ඒ වගේ ම ගෞතම බුදුන්ගේ මුලික ඉගැන්වීම් ඊට අදාළ මුලාශ්‍රු අධ්‍යයනය කරන විට අපට පෙනී යනවා, ඒවා නුතන අදහස් සමඟ ද ඉතා හොඳින් ගැලපෙනවාය කියලා. ඒ විතරක් නෙවෙයි මේ වන විට ලෝකය ලබා ඇති දැනුම් සම්භාරයට අනුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වඩාත් විනිවිද පෙනෙන සුලු තැනක ඇති බවත් ඒ අනුව උන් වහන්සේගේ ඉගැන්වීම් බුද්ධි සම්භාරයක්ය කියලත් මේ ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයා පෙන්වා දී තිබෙනවා.”
“ඒ වගේ ම අවශ්‍ය මෙවලම්වල සීමාවන් නිසා විද්‍යාවට මොලොව පැවැත්ම ගැන කළ හැකි පැහැදිලි කිරීම සීමාසහිත බවත්, ඒ අනුව විද්‍යාව නතර වී ඇති තැනින් ඉදිරියට යාමට හැකි වන්නේ බුන් වහන්සේගේ ඉගැන්වීම් ඔස්සේ බවත් රසල් පෙන්වා දී තියෙනවා.
ඒ සියලු ජයග්‍රහණයන් රැඳී තියෙන්නේ මනස හා සම්බන්ධව යි. තමන් කිසිම ආගමකට අයත් පුද්ගලයෙකු නොවන බව පවසන ඔහු එහෙම වුණත් ආගමක් තෝරා ගැනීමට අවශ්‍යතාවක් පැන නැගුණහොත් තමන් තෝරා ගන්නේ බුදු දහම යැයි පෙන්වා දෙන බට්‍රර්න්ඩ් රසල් ඊට හේතුව හැටියට දක්වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රඥාවට ගෝචරවන ආගම් අතරින් තමන් බුදු දහම ප්‍රිය කිරීම බව යි.”
අප රටේ ජන සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් බෞද්ධ සාහිත්‍යයේ බලපැවැත්වීම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී දෙනගම සිරිවර්ධන පැවසු වදන් මෙසේ ය.
1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් පසු ලෙනින් සිය හෘදයාංගම සගයා වු ගෝර්කිට මෙහෙම කියනවා. “අලුත් ජාතියක්, ඉතාම හොඳ මානව දයාවෙන් හා ශික්ෂණයෙන් යුතු මනුෂ්‍ය කොට්ඨාසයක් දැන් අප ගොඩ නැගිය යුතුයි. ඒ සඳහා යොදාගත යුතු මාධ්‍යය සාහිත්‍යය යි. එය බාර වන්නේ ඔබට යි.”
“ඒ වගකීම ඉටු කරන්න ගෝර්කි ලොව පුරා ලේඛකයින්ට ලිපි යවමින් අපේ ජනතාව උතුම් ජාතියක් ලෙසින් ගොඩ නැගීමට ඔබේ උතුම් මිනිසුන් ලියූ කෘති අපට එවන්නය කියලා. ඒ අනුව බට්‍රර්න්ඩ් රසල්, වෙල්ස් වැනි ලේඛකයින් ගෝර්කිට පොත් එවනවා. පසු කාලයක විවිධ බලපෑම් නිසා බිඳ වැටීම් සිදු වුණත් මානව හිතවාදී දේශප්‍රේමි ජනතාවක් රුසියාවේ ගොඩ නැගුණේ එහෙම යි.”
“17 සියවසේ ලංකාවට පැමිණ රොබට් නොක්ස් විසි වසරක ඇසුරකින් පසු ලද අත්දැකීම් පවසන්නේ මෙහෙම යි.”
“ජාතියක් වශයෙන් සිංහලයන් ඉතා ශිෂ්ට සම්පන්නයි. ඉතා විනීතයි. ආගන්තුක සත්කාරයට ඉතා සැලකිලිමත්. මත්පැන් බොන්නෙ නෑ. සොරකම පිළිකුල් කරනවා. ගව මස් මුවෙහි තබන්නේ නෑ. තමන්ගේ රටේ අයට මෙන් ම පිටරට අයට ද ඔවුන් කරුණාවන්ත යි.”
“රොබට් නොක්ස් සිංහලයන්ගේ උසස් මානුෂික ලක්ෂණ එසෙ දකින්නේ සියවස් ගණනක සිට පැවති සාහිත්‍යයක ප්‍රතිඵල නිසා යි. එදා ඒ ජනතාවගෙන් වැඩි දෙනෙකු අකුරු කියවීමට අසමත් වුණත්, මාසයකට දින කිහිපයක් බණ පොතක් කියවනවා අසන්නට අවස්ථාවක් ලැබුණා.
පන්සලේ හාමුදුරුවෝ ජාතක පොත, සද්ධර්මරතනාවලිය, සද්ධර්මාලංකාරය වැනි සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය කෘති ඔවුන් හමුවේ කියෙව්වා. ඒ හැම කතාවකම වාගේ ආදර්ශවත් චරිතයක් දැකිය හැකි වුණා.
කරුණාවන්ත දයාවෙන් පිරුණ යුක්ති ධර්මයට ගරු කරන ත්‍යාගශීලි උතුම් මිනිසුන් ඒ කතාවලින් හමු වුණා. 17 සියවසේ දි නොක්ස් දුටුවේ ඒ ගුණාංගවලින් හෙබි මිනිසුන් තමයි.”
“ඒ විදිහට ඒ කතා ඇසු කාන්තාවෝ නිවසේදී සිය දුවා දරුවන් ට මුනුපුරු මිනිබිරියන්ට ඒ කතා කියා දුන්නේ ළමයින්ට ගැලපෙන විදිහට ඒවා අඩු වැඩි කරමිනුයි. වෙන රටවල අත්තම්මලා දරුවන්ට කීව කතාවල හිටියේ විජ්ජා කාරයන්, සුරංගනාවන් වැනි සැබෑ නොවන චරිත යි. ඒ කතාවලින් තමන්ට ඉතුරු කරගන්න දෙයක් තිබුණෙ නෑ. ඒත් අපේ කතාවලින් ළමා සිත්වල ගුණ දහම් යන වටිනාකම් ඉතිරි වුණා.
ඕලන්දය, පෘතුගාලය වගේ මුහුද ආශ්‍රිත රටවල් යටත් විජිත ගොඩ නගමින් ධනය කොල්ලකෑවත්, සතර වටින්ම මුහුද ඇති ලංකාව අර වගා කරගත්ත අල්පේච්ඡතාව, අඩු තණ්හාව වැනි ගුණ ධර්ම නිසා එසේ හැසිරුණේ නැහැ. ක්‍රි. පු. පළමු වන සියවසේ දි ලංකාවේ දියුණු නැව් චීන වරායවල නැංගුරම් ලා තිබුණ බව ඒ රටේ ලේඛනවල සඳහන් වෙනවා. අපිට දියුණු නැව් හමුදාවක් නොතිබුණා නෙවෙ යි. මහා පරාක්‍රමබාහු සතුරෙකුට පාඩමක් උගන්වන්න නැව් හමුදාවක් යැව්වත් අරමුණ වුණේ අධිරාජ්‍ය ගොඩනැගීම නෙවෙ යි.”
“ආටෝප සාටෝප නැති සරල ජීවිතයකටයි සිංහලයා හුරු වී සිටියේ. ඒත් අඩ සියවසක පමණ කාලයක සිට සංස්කෘතික අගාධයකට අපේ සමාජය ඇද වැටෙන සැටි අපි දකිනවා.
ඊට හේතුව තමයි කුඩා කල සිට අප හැඩ ගැස්වු බෞද්ධ සාහිත්‍යයේ ඇසුර අපට නැති වීම. කූඨ කලා වෙළෙඳුන් අපේ ළමා පරපුර දූෂණය කරමින් සිටිනවා. ජාතක කතාවල බෝසත් චරිත විසින් හැඩ ගැස්වු එදා අපේ ළමයි ගැන හිතලා අද දිහා බලනකොට හිතට ඇති වෙන්නේ ලොකු සංවේගයක්. මේ සඳහා අපේ රටේ හිටපු හැම ජනමාධ්‍ය ඇමතිවරයෙක් ම වගකිව යුතු යි.”
“වෙසක් පෝදා කල්පනාවට ගත යුත්තක් තමයි නැවත වරක් අපේ බෞද්ධ සාහිත්‍යයෙන් හැඩ ගස්වන සමාජ පරිසරයක් සකස් කොට අපේ ළමා පරපුර මේ විනාශයෙන් ගලවාගත යුතුයි කියන කාරණාව. එය එසේ විය යුතු යි.”