තුන් තේරවිලි බවට පත්ව ඇති රජයේ චක්‍රලේඛ | Page 2 | සිළුමිණ

තුන් තේරවිලි බවට පත්ව ඇති රජයේ චක්‍රලේඛ

 

 

රටක ජනතාව අතර වසංගත රෝග පැතිරීම අමුතු දෙයක් නොවේ. අද ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල පවා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය වැනි වසංගත රෝග මීට වසර සියයකට ඉහත කාලයේ පවා විටින් විට පැතිර ගොස් ඇති බව නොරහසකි. ජනතාවට එවැනි වසංගත රෝග වලින් වැළකී සිටීම සඳහා අවශ්‍ය දැනුවත් කිරිම් මෙරට සිංහල රජ කාලයේ පවා බහුල වශයෙන් සිදු කෙරුණේය. ඒසඳහා යොදා ගත් ක්‍රමවේදය වූයේ අණබෙරකරුවන් ලවා එම වෛද්‍ය උපදෙස් ජනතාව අතර පතුරුවා හැරීමය. එසේත් නැතිනම් සෙල්ලිපි හා පුවරු ලිපි ආශ්‍රයෙන් ජනතාව දැනුම්වත් කිරිම එදා ඒ සඳහා පැවති ක්‍රමවේද විය.

 

එසේ වුවද වත්මන් ලෝකයේ සන්නිවේදන ක්‍රම පෙරට වඩා අතිශයින් දියුණුය. වත්මන් සන්නිවේදන ක්‍රම පෙරට වඩා කොපමණ වේගවත්දැයි කිවහොත් මේ මොහොතේ ඇමෙරිකාවේ සිදු වෙමින් පවතින කවර දෙයක් වුවද ඊට සැතපුම් දහස් ගණන් දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඒ මොහොතේම දැක ගත හැකිය. වර්තමානයේ පවතින එම දියුණු සන්නිවේදන ක්‍රමවේද ශ්‍රී ලංකාවටද එක සේ අදාළ වන පොදු සාධකයකි.

එහෙත් අද අප කතා කරන ප්‍රශ්නය වන්නේ එය නොවන බව මුලින්ම සඳහන් කළ යුතුය. ඒ අනුව අද අප කතා කරන්නේ මෙතරම් දියුණු තාක්ෂණික මෙවලම් අප සතුව තිබියදී එමගින් මෙරට ජනතාව අතර පතුරුවා හරිනු ලබන රජයේ චක්‍රලේඛ ගැනය.

කාලයෙන් කාලයට බලයට පත්වන ඒ ඒ ආණ්ඩු විසින් විටින් විට ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව ජනතාවට දැනුම් දීම සඳහා නොයෙකුත් චක්‍රලේඛ නිකුත් කිරීම ශ්‍රී ලංකාව සුද්දාට අයත්ව තිබුණු කාලයේ පවා පැවති ක්‍රමවේදයකි. එදා ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් නිකුත් කෙරුණු එම චක්‍රලේඛ මගින් දැනුම් දෙන ලද නව නීතිරීති හා පාලන වෙනස්කම් පිළිබඳ තොරතුරු ජනතාව අතරට පත් කෙරුණේ එකල පැවති සිංහල, ඉංග්‍රිසි හා දෙමළ පුවත්පත් මාර්ගයෙනි. මෙරටට ගුවන් විදුලි මාධ්‍ය හදුන්වා දීමෙන් පසු එම කර්තව්‍යයට ගුවන් විදුලි මාධ්‍ය ද වඩාත් කාර්යක්ෂම ලෙස උරදුන්නේය.

එම ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වූයේ මෙරටට රූප මාධ්‍ය ආරම්භ වීමෙන් පසුවය. ඒ අනුව මෙරට වත්මන් සන්නිවේදන තාක්ෂණය එලෙස දියුණුවට පත්වී තිබුණද මෙකල රජයේ විවිධ ආයතනයන් මගින් ජනතාවගේ දැන ගැනීම සඳහා නිකුත් කරනු ලබන චක්‍රලේඛ වල සඳහන් තොරතුරු අද බහුල වශයෙන් ජනතාවට සන්නිවේදනය කරන්නේ තුන් තේරවිලි ලෙසිනි. ඒවා අසන හා දකින ජනතාවට සිදු වී ඇත්තේ ඒ ගැන තවත් කෙනෙකුගෙන් අසා දැන ගැනීමටය. විශේෂයෙන්ම මේ දිනවල රටපුරා පැතිර යන කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් වැළකි සිටීම සඳහා ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ රාජ්‍ය ආයතන මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ දෙස බලන විට ඒ බව පැහැදිලිය. අප එසේ කියන්නේ එම චක්‍රලේඛ ලියා ඇති ආකාරය අතිශයින් පැටළිලි සහගත බැවිනි.

තරගකාරී බව වත්මන් මාධ්‍ය කලාවේ ස්වභාවයයි.

එහෙත් අදාළ රාජ්‍ය ආයතනය එම චක්‍රලේඛය කාටත් තේරුම් ගත හැකි පරිදි පැහැදිලිව එවනු ලබන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවේ. එවිට අදාළ චක්‍රලේඛයේ සඳහන් ප්‍රවෘත්තිය නිසි පරිදි ගළපා ගෙන තමන්ගේ විද්‍යුත් මාධ්‍යයෙන් විකාශය කිරීමට ප්‍රවෘත්ති ප්‍රකාශකයාට ඉඩ ලැබේ.

සාමාන්‍යයෙන් වර්තමානයේ පවතින හැම අමාත්‍යංශයකම පාහේ මාධ්‍ය උපදේශවරයෙකු, මාධ්‍ය ලේකම්වරයකු හෝ ප්‍රවෘත්ති නිලධාරියකු බැගින් පත්කර තිබේ. ඔවුන්ට පැවරී ඇති රාජකාරිය වන්නේ තමන්ගේ අමාත්‍යංශයට අදාළ සංවර්ධන ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනවලට සැපයීමය. ඇතැම් අමාත්‍යංශ වල ඒ සඳහා පත්කර සිටින්නේ මාධ්‍ය ආයතන වල කාලයක් තිස්සේ සේවය කර තිබෙන මාධ්‍යකරුවන් ය.

ඇතැම් අමාත්‍යංශ බාර ඇමතිවරුන්ගේ පුත්‍රයන් හෝ දියණියන් එවැනි තනතුරු සඳහා පත් කර ගෙන සිටින අවස්ථා ගැනද නොයෙක් විට අපට අසන්නට ලැබීම වෙනම කතාවකි. මාධ්‍යකරණය පිළිබඳව ඔවුන්ගේ දැනුම බින්දුවටත් වඩා අඩුය.

කෙසේ වෙතත් අද සිදුවී ඇත්තේ විවිධ රාජ්‍ය ආයතන මගින් නිකුත් කරනු ලබන බොහෝමයක් චක්‍රලේඛ තනිකරම අණ්ඩර දෙමළයක් බවට පත්ව තිබීමය. එවැනි බොහෝමයක් චක්‍රලේඛවල ඇත්තේ මෙරට පැරණි ජන සමාජයේ බහුල වශයෙන් පැවති තුන්තේරවිලි ස්වභාවයයි.

විශේෂයෙන්ම ඉකුත් දිනවල නිකුත් වූ සෞඛ්‍ය ආරක්ෂක රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛවල එම තත්ත්වය බහුල වශයෙන් පෙනෙන්නට තිබුණේය.

එම ආයතන ප්‍රධානින් විසින් විටින් විට සහ අවස්ථානුකූලව ගනු ලබන තීන්දු තීරණ අදාළ ආයතනයේ මාධ්‍ය කටයුතු බාර නිළධාරියාගේ මාර්ගයෙන් ප්‍රවෘත්ති නිවේදනයක් ලෙස මාධ්‍යයට නිකුත් කිරීමෙන් එවැනි අඩුපාඩු බොහෝ දුරට මගහරවා ගත හැකිය. එහෙත් අපේ ඇතැම් ආයතන ප්‍රධානීන්ට ඒ බව නොවැටහීම මුළු මහත් ජනතාවගේම බලවත් අවාසනාවකි.

Comments