කොවිඩ් වසංගතයට මැලේ­රියාවෙන් උගත හැකි පාඩම | සිළුමිණ

කොවිඩ් වසංගතයට මැලේ­රියාවෙන් උගත හැකි පාඩම

 

ක්‍රිස්තු පූර්ව යුගයේ ලක් වැසියන් මුහුණ දුන් බරපතලම ව්‍යසනය වුයේ වළගම්බා රජ සමයේ ඇති වු බැමිණිතියා සායයි. දොළොස් වසරක් පුරා පැවතියේ යයි කියන මේ සාගතයෙදී බොහෝ ජනයා සා ගින්නෙන් මිය ගිය අතර සෙස්සෝ ගස්වල ගෙඩි කොළ, මුල්, පොතු කා යන්තම් දිවි රැක ගත්හ. මෑත ඉතිහාසයේ එනම් මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ඇතිවූ දරුණුම ඛේදවාචකය වුයේ මැලේරියා වසංගතයයි. ලංකාවේ මැලේරියා රෝගියෙකු මුලින්ම වාර්තාගත වී ඇත්තේ 1906 දීය. එහෙත් එය වසංගතයක් දක්වා උග්‍ර වුයේ 1934-1935 වකවානුවේය.

 

ඇනෝලස් මදුරුවාගෙන් බෝවන මෙම රෝගය වැඩි වශයෙන් කැලෑබද පෙදෙස් වලින් මතු වූ බැවින් එකල ගැමියන් එය හැඳින්වුයේ කැලෑ උණ යනුවෙනි.

මුල්ම මැලේරියා මර්දන ඒකකය පිහිටවුයේ කුරුණෑගලය. ලංකාවේ මැලේරියා මැඬලීමට ඇත්තේ ඇති දුෂ්කර වූ, වසර සියයකට වැඩි ඉතිහාසයකි. මෙම රෝගයේ ව්‍යාප්තිය ගැන තවමත් ජීවතුන් අතර සිටින අපේ වයස්ගත වැඩිහිටියෝ තම දෙමාපියන් ගේ අත්දැකීම් තුළින් අසා දැන සිටිති.

මැලේරියා රෝග ලක්ෂණ වන්නේ උණ, අධික ලෙස දහදිය දැමීම, වෙව්ලීම, හිස කැක්කුම, වමනය සහ මස් පිඩු වේදනාව යනාදියයි. මැලේරියාව ආසාදනය වී පසුව සුව වුවද සමහරුනට එම රෝග ලක්ෂණ විටින් විට මතු විය.

මීට හේතුවූයේ එවකට මැලේරියාවට ලබා දුන් එකම ප්‍රධාන ප්‍රතිකර්මය ක්විනයින් නම් බෙහෙත් පෙත්තයි. සින්කෝනා නම් ගසේ පොත්තෙන් සදා ගන්නා මෙම බෙහෙතින් රෝගයේ බරපතළ තත්ත්වය මර්දනය වුවත් එය සහමුලින්ම සුව නොවේ.

කෑගල්ල, පොල්ගහවෙල, අවිස්සාවේල්ල, දැරණියගල, රුවන්වැල්ල ඇතුළු දිවයිනේ පෙදෙස් රැසක ලක්ෂයකට වැඩි ජනතාවක් මෙම වසංගතයට ගොදුරු වී මියගියහ. වසර 1935 දී පළකරන ලද වාර්තාවකට අනුව ඊට පෙර වසරේ පළවැනි හය මස තුළ පමණක් හැත්තෑහතර දහසක් මැලේරියාවෙන් මියගොස් ඇත. මේ වසංගතයට මුහුණ දීමේදී වෙද හෙදකම් සහ බෙහෙත් සඳහා (එකල මුදලේ වටිනාකමට අනුව) රුපියල් මිලියන දෙකකට ආසන්න මුදලක් වැය වී ඇත (Malaria in Ceylon June 1935).

මෙරට ඉතිහාසයේ පළමු වරට උපත් අනුපාතයට වඩා මරණ අනුපාතය ඉහළ ගියේ 1935 වසරේදීය.

මැලේරියාව මර්ධනයට ක්‍රියාකරන නිලධාරීන්

මැලේරියාවට සමාන්තරව රටේ පැනනැඟි දරුණු නියඟයෙන් ඇතිවූ බරපතළ සහල් හිඟය නිසා මන්දපෝෂණයෙන් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය නැතිවීමද මේ මරණවලට තවත් හේතුවක් විය. එසේ මිය ගියවුන් වැඩි දෙනා දරිද්‍රතා­‍ෙවන් පෙළුණු පවුල් වල අය බව අමුතුවෙන් කිව යුත් නැත.

මැලේරියාවේ බියකරු බව එවකට කෑගල්ල උප දිසාපති වූ බ්‍රිතාන්‍ය ජාතික එෆ්. සී. ගිබ්සන් මෙසේ සටහන් කරයි.

"මා ගමක් පුරා ගෙයින් ගෙට යද්දී එක් දුගී පැල්පතක මවක් දරුවකු බිහිකර සිටියාය. එහෙත් ඒ දෙදෙනාට සාත්තු කිරීමට අහල පහල කිසිවකුත් නොවීය. මැලේරියාවෙන් රෝගී වූ සැවොම උණ විකාරයෙන් දොඩවමින් වෙව්ලමින් මරු වැළඳ ගැනීමට ආසන්නව සිටියහ. ගෙය තුළ මියැදෙන තම ඥාතියා ගේ සිරුර මිහිදන් කිරීමටවත් ඔවුන්ට හැකියාවක් නොවීය. තව පැල්පතක ජීවත්ව සිටියේ එක බිළිඳියක් පමණි. ඇය මිය ගොස් සිටි තම මවගේ තනයෙන් කිරි උරා බොමින් සිටියාය"

තවත් වාර්තාවකට අනුව දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම මැලේරියාවට ගොදුරු නොවූ පවුලක් සොයා ගැනීම දුෂ්කර වීය. ඒ වර්තමානයේ කොරෝනා වසංගතය මෙනි.

සමස්ත ලංකාවේම හදිසි තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් වූ මේ වසංගතය මැඩලීමට රජය කඩිනමින් වැඩපිළිවෙලක් යෙදුව ද ඇතැම් පළාත්වල ජනයා ගේ අවශ්‍යතා ඉටු නොවීය. ඒ යුගයේ අද තරම් රෝහල් සහ සෞඛ්‍යසේවා පහසුකම් සහ දැනුමද දියුණු වී තිබුනේ නැත.

මෙම වසංගතය ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය වූ අතර එහිදී යටත් විජිත රජයේ ප්‍රතිකාර ක්‍රම සහ බෙහෙත් විවාදයටද ලක් විය (The Ceylon Malaria epidemic of 1934-35: a case study in colonial medicine)

වසංගතය මැඩලීමේදී රජයට සහ බොහෝ දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටියේ ස්වෙච්ඡා ක්‍රියාකාරින්ය. ඒ අතුරින් ප්‍රධාන වුයේ සුරියමල් ව්‍යාපාරයයි. බිතාන්‍ය යටත්විජිත පාලකයන් එරට සෙබළුන් වෙනුවෙන් දියත් පොපිමල් විකිණීමට විරුද්ධව පළමු ලෝක යුද්ධයේ සටන් කළ එලියන් පෙරේරා ඇරඹු සුරියමල් ව්‍යාපාරයට පසුව නායකත්වය දුන්නේ දකුණු කොළඹ තරුණ සංගමය සහ ලංකා සම සමාජ පක්ෂයයි.

එම නායකයෝ. සීතාවක සහ තුන් කෝරලේ ඇතුළු මැලේරියා පැතිරුණු ආහාර ද්‍රව්‍ය බෙදාදීම වැනි කටයුතුවල යෙදුණෝය. මන්ද පෝෂණය නිසා දුර්වල වූ අය වෙනුවෙන් ආහාරවලට අමතරව මාමයිට් යීස්ට් සාරයෙන් නිපද වූ පෙතිද ලබා දුන්හ. එමෙන්ම මිය ගිය අය භූමදානය කිරීමේ කටයුතුද සිදු කළහ.

ගමන් කිරීමට අපහසු දුෂ්කර ගම්මාන වෙත ගිය ඔවුහූ අවශ්‍ය පහසුකම් සැලසු අතර විශේෂයෙන්ම කිසිවකුගේ සරණක් නැතිව සිටි වතු දෙමළ කම්කරු පවුල්වලටද පිහිට වූහ. මේ සහන කටයුතු වාමාශික ව්‍යාපාරයේ ජනප්‍රියත්වයට මඟ පෑදීය.

මෙහි මූලිකත්වය ගත්තේ ෆිලිප් සහ රොබට් ගුණවර්ධන සොහොයුරෝ, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර්ද සිල්වා වෛද්ය මේරී රත්නම්, එන්. එම්. පෙරේරා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ඩොරීන් යං (පසුව වික්‍රමසිංහ මැතිණිය) යනාදී වාමාංශික නායක නායිකාවන්ය. ෆිලිප් සහ රොබට් ගුණවර්ධන ගේ පියා වූ බොරලුගොඩ රාලහාමිගේ මහ ගෙදර වූ බොරලුගොඩ වලව්ව එස්. ඒ. වික්‍රමසිංහ ගේ වෛද්ය මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්විය.

ශ්‍රී ලංකාව අද මැලේරියාව සාර්ථක ලෙස මර්දනය කර ඇති රටක් ලෙස සැලකෙන නුමුදු එය ලොවින් සහමුලින්ම තුරන් වී නැති බැවින් එය නැවතත් මතුවීමේ අවදානම තවමත් පවතී. වසර 1970 දී සහ 1986-87 අතරතුර කාලයේදීද මෙ රෝගය නැවත මතු විය. වසර 2011 මුලතිව් හමුදා කඳවුරකින් නැවතත් හමු විය. මේ වසරේ (2021) අප්‍රේල් මාසය දක්වා රෝගීන් සත් දෙනෙක් හමුවිය.

මීට තුඩු දෙන කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් නිම වී ආපසු සියරට පැමිණෙන ශ්‍රී ලංකා පොලිස් සහ ත්‍රිවිධ හමුදා භට පිරිස්, මධ්‍යම අප්‍රිකාව, මාලි, දකුණු සුඩානය සහ අප්‍රිකානු කලාපයේ ව්‍යාපාර කටයුතු සඳහා යන මැණික් වෙළඳුන්, මැඩගස්කරය, මොසැම්බික් වැනි මැලේරියා අවදානම සහිත රටවල සංචාරයේ යෙදෙන වෙනත් අපේ ව්‍යාපාරිකයන් සහ මැලේරියා අවදානම සහිත රටවල සේවය කර නැවත මෙරටට එන ලාංකිකයෝ ද ඒ අතර වෙති.

මැලේරියාව එක රෝගියකුගෙන් තව කෙනකුට බෝ නොවන නමුත් මදුරුවන් බෝවීම අවම කළ නොහැකි නම් එය පැතිරීම වැළැක්විය විය නොහැකිය. ඊට හේතුව මැලේරියා රෝගියකු දෂ්ට කරන අනෝපීල්ස් මදුරුවා නිරෝගී අයෙකු දෂ්ට කළහොත් ඒ අයටද රෝගය බෝවන බැවිනි. නවසිය තිස් ගණන් වල තරම් දරුණු ලෙසට මැලේරියා වසංගතයක් යළි ඇති වීමට අද ඉඩක් නොමැත්තේ ක්විනයින් වෙනුවට ඊට වඩා බෙහෙවින් සාර්ථක බෙහෙත් වර්තමානයේ නිපදවා ඇති බැවිනි.

මැලේරියාව මැඩීමට ඉතාමත් සාර්ථක එන්නතක් නිපදවනු ලැබුවේ වසර 2019 දීය. කුඩා දරුවන්ට අතවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දෙන මෙම එන්නත නිපදවනු ලැබුවේ සහරා කතරෙන් දකුණට පිහිටි අප්‍රිකානු රටවල වෛද්‍යවරුන් පිරිසක් විසිනි. මේ එන්නතින් සෑම වසරකම දස දහස් ගණන් දරුවන්ගේ ජීවිත මැලේරියාවෙන් බේරාගත හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

Comments