
“කොවිඩ් - 19 වසංගතයෙන් මිය යන සෑම පුද්ගලයෙකුගේ ම මරණයකට වගකිවයුත්තේ ජනාධිපතිතුමා” යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ ජාතික ජනබලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ පවතින තත්වය යටතේ සංචරණ සීමා දැඩි කළ යුතු බවයි. අනුර කුමාර යෝජනා කරන්නේ සෞඛ්‍ය කාර්යය සාධන බළකාය යළි ප්‍රතිසංස්කරණය කළ යුතු බවටයි. කොවිඩ් තනි දේශපාලන අධිකාරියකට හසුවී ඇති බවට ද අනුර කුමාර චෝදනා නඟයි.
එමනිසා කොවිඩ් පාලනයට විපක්ෂයේ සහාය ලබා ගැනීමට නොහැකි නම් අවම වශයෙන් ආණ්ඩුව තුළම සිටින නිසි දේශපාලන නායකයන්ගෙන් යුත් සාමූහික දේශපාලනයක් ක්‍රියාත්මක කළ යුතු බව ද අනුර කුමාර දිසානායක විසින් පෙන්වා දෙන ලදී.
මේ අතර විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ කොවිඩ් වසංගතය හමුවේ “විපක්ෂයෙන් හුස්මක්” ගත යුතු බවයි.
“කොවිඩ් ව්‍යසනය මේ වන විට මුළු රට ම වෙළාගෙන තිබෙනවා. මේ තත්වයට සම්පූර්ණයෙන් ම වගකිව යුතුවන්නේ වර්තමාන රජයයි. ජනතාවාදී ජනහිතකාමී විපක්ෂයක් හැටියට අපි මේ මොහොතේත් රටේ ජනතාව රැක ගන්න මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. අනුර, සජිත් පමණක් නොව දෙමළ ජාතික සන්ධානය ද ප්‍රකාශ කරනු ලබන්නේ කොවිඩ් වසංගතයට ආණ්ඩුව වගකිව යුතු බවයි. විපක්ෂ නියෝජනය කළ ද රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මීට වඩා තරමක් වෙනස් කතාවකි.
රනිල් ප්‍රකාශ කරන්නේ දේශපාලන වාසියක් නොගෙන මෙම තත්ත්වයෙන් ගොඩඒමට සියලු ම දෙනා උත්සාහ කළ යුතු බවයි.
රනිල් වික්‍රමසිංහ එසේ ප්‍රකාශ කළ ද ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කරනු ලබන්නේ 13 වැනිදා සවස සිට දින 03 ක කාලයක් දක්වා පනවන ලද සංචරණ නීති නීත්‍යානුකූල නොවන බවයි.
නීතියට පිටින් පනවා තිබෙන මෙම සීමා අභියෝගයට ලක්කර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට කිසියම් පුරවැසියෙකු ක්‍රියා කළහොත් රජය එයින් පැනවූ සියලු සංචරණ නීති අකුලා ගැනීමට සිදුවන බව ද වජිර අබේවර්ධන සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කරන්නේ සංචරණ සීමා පැනවීම නීති විරෝධී බවයි.
පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ආණ්ඩුව විසින් සංචරණ සීමා නීත්‍යානුකූලව පැනවූ විට එය නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට තරම් එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රධාන දේශපාලන පක්ෂයක සභාපතිවරයෙකු මේ ආකාරයෙන් ළද බොළඳ ප්‍රකාශ නිකුත් කිරීම අනුමත කළ හැකිද?
සජිත්ලා, අනුරලා, වජිරලා, සුමන්තිරන්ලා මේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? කොවිඩ් - 19 වසංගතය පැතිර යාමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව වගකිවයුතු බව ඔවුහු පවසති. කොවිඩ් - 19 හෙවත් කොරෝනා ආවේ චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් නොව ශ්‍රී ලංකාවෙන් එය පැමිණි බවත් ශ්‍රී ලංකාවෙනුත් එය ලෝකයට බෝ කළේ රාජපක්ෂවරුන් බව වැනි දෙයක් අනුර කුමාරලා, සජිත් ප්‍රේමදාසලා, වජිර අබේවර්ධනලා ප්‍රකාශ කරන බව ඔවුන්ගේ කතාවලින්, මාධ්‍ය නිවේදනවලින් ඉතා හොඳින් කියාපායි. පසුගිය මැයි 01 වැනිදා මැයි රැලි නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කළේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවය. අවුරුදු කාලයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදූ නිසා යළිත් කොරෝනා රැල්ලක් මතු වූ බව රහසක් නොවේ. එවැනි තත්ත්වයක් මත මැයි රැලි නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කරන ලද්දේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවය. ඒ අනුව මැයි පෙළපාළි පමණක් නොව මැයි රැලි ද නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කළේය.
මේ සමඟම මාධ්‍ය හමු පවත්වමින් අනුරලා, සජිත්ලා, වජිරලා ප්‍රකාශ කළේ කුමක්ද?
“ආණ්ඩුව මැයි රැලි පවත්වන්න දෙන්නේ නැහැ. මේ ආණ්ඩුව කම්කරු ජනතාවගේ අයිතිය උල්ලංඝනය කරලා. මැයි රැලිවලින් ආණ්ඩු විරෝධයක් ඇති වනවාට ආණ්ඩුව බයයි.” යනුවෙන් මැයි රැළි නොපැවැත්වීමට ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවට දිගට හරහට චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළහ.
සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකා ඒ අවස්ථාවේදී මැයි රැලි පැවැත්වීමට ආණ්ඩුව ඉඩ දුන්නේ නම් මේ පිරිස් කියන්නේ මොනවාද?
එසේ නම් මේ පිරිස කියන්නේ මේ කතාවේ අනෙක් පැත්තය. කෙසේ නමුත් දැන් අනුර කුමාර ප්‍රකාශ කරන්නේ සංචරණ සීමා දැමිය යුතු බවයි. නමුත් මැයි රැලි නොපැවැත්වීම ගැන ආණ්ඩුවට චෝදනා කරන අනුර කුමාර දිසානායක දැන් සංචරණ සීමා දැමිය යුතු බව ප්‍රකාශ කරනු ලබන්නේ කුමන පදනමකින්ද?
මැයි 01 වැනි දා මැයි රැලි, මැයි පෙළපාළි නොපවත්වන ලෙසට සෞඛ්‍ය අංශ දැඩිලෙස උපදෙස් ලබා දුන් අතර ඒ අනුව බොහෝමයක් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සංවිධාන මැයි පෙළපාලි, මැයි රැළි නොපැවැත්වීමට තීරණය කෙරිණ.
එසේ තිබිය දී අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණට නෑකම් කියන ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් මැයි පෙළපාළියක් පැවැත්වීමට කටයුතු කළේ කිසිදු සෞඛ්‍ය උපදෙසක් නොපිළිපදිමිණි. සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් තඹ දොයිතුවකට මායිම් නොකළ ජෝශප් ස්ටාලින්ලා මැයි පෙළපාළියේ ගමන් කළේ පොලිස් නිලධාරීන්ට ද සරදම් කරමිණි.
කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි විරෝධතාකරුවන්ට වෙන්කර තිබෙන ස්ථානය අසලට පැමිණි ඔවුන් විවිධ සටන් පාඨ කියමින් ආණ්ඩුවට චෝදනා එල්ලකරන අයුරු දක්නට ලැබිණ.
ලංකා ගුරු සංගමය වැනි අධ්‍යාපනයට සම්බන්ධ ගුරු වෘත්තීය සමිතියක් මීට වඩා ආදර්ශමත් විය යුතුව තිබිය දී සෞඛ්‍ය උපදෙස් සත පහකට මායිම් නොකොට මැයි පෙළපාළි ගමන් කළේ කාට අභියෝග කිරීමට ද? කාව සතුටු කිරීමට ද? ජනතා විමුක්ති පෙරමුණේ ආශිර්වාදය හිමිවන මෙම ජෝශප් ස්ටාලින්ලාගේ ක්‍රියාකලාපය ගැන වර්තමාන ආණ්ඩුවත්, බොහෝ මාධ්‍යයත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ආකාරයක් ද දක්නට ලැබිණ.
ජෝශප් ස්ටාලින් එදා මැයි 01 වැනිදා කළ වැඩේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එනම් පොහොට්ටුවේ අධ්‍යාපන වෘත්තීය සමිතියක් විසින් සිදු කළේ නම් අනුර කුමාර දිසානායකලා කෙසේ ප්‍රතිචාර දක්වයිද?
“රාජපක්ෂවරුන්ගේ හෙන්චයියන් අද සෞඛ්‍ය උපදෙස් නොතකා මැයි රැලි පවත්වනවා” යනුවෙන් බෙරිහන් දෙමින් අනුර කුමාර දිසානායක යළිත් රාජපක්ෂ මුවහමට තඩිබෑම සිකුරුය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ජෝශප් ස්ටාලින්ලා මහා දවාලේ ඇස් පනාපිටම සෞඛ්‍ය උපදෙස් දිගින් දිගටම කඩ කරනවා නම් කළ යුත්තේ කුමක් ද? ගාමිණි ලොකුගේ කියපු කතාවක් අල්ලාගෙන ආණ්ඩුව තවමත් පට්ට ගහන ස්වාධීන යැයි තමන් විසින් ම කියාගන්නා ඇතැම් මාධ්‍ය ජෝශප් ස්ටාලින්ලා සෞඛ්‍ය උපදෙස් නොතකා මැයි පෙළපාළි පවත්වන විට සිටියේ කොහේද?
අද ගාමිණී ලොකුගේ වැරදි නම් එදා ජෝශප් ස්ටාලින් ද වැරදිය. නමුත් ගාමිණී ලොකුගේට එල්ල කරන ප්‍රහාරය ස්ටාලින්ට එල්ල කරන්නේ නැත. ගාමිණි ලොකුගේලාට දිගට හරහට පහරදෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට ජෝශප් ස්ටාලින්ගේ සිද්ධිය වරදක් නොවෙයි. ඒ මේ රටේ කිසිදු ලැජ්ජාවක් නොමැති දේශපාලනයේ හැටිය.
වගකිව යුතු විපක්ෂයක අද දවසේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද?
මාධ්‍ය හමු පවත්වමින් මාධ්‍ය සංදර්ශන දියත් කරන විපක්ෂය ජාතික ව්‍යසනයක දී කටයුතු කළ යුත්තේ කෙසේ ද කියා තවමත් නොසිතන්නේ ඇයි? හතරගාතෙන් වැටී සිටින බංකොලොත් දේශපාලන පක්ෂවලට කොරෝනා ස්වීප් ටිකට් එකක් වැනිය. ලොතරැයියක් වැනිය.
බංකොළොත් දේශපාලන පක්ෂවලට දෙවියන් දුන්නු තෑග්ගක් වශයෙන් ද කොරෝනා ඇතැම්විට හැඳින්වීමට පුළුවණි. ඇමරිකාවේ ට්‍රම්ප් පරාද කරමින් බයිඩන් ජනාධිපතිධූරයට පත්වන්නේ කොරෝනාවලට පින්සිදු වෙන්නටය. මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය පිරිහීමට පටන්ගෙන ඇත්තේ ද කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස ඉන්දියාව තුළ පැතිර යෑම නිසාය.
මෙරට බංකොලොත් දේශපාලනඥයන්ට ද පොඩි පහේ මෝඩ චූන් එකක් ගොස් තිබෙන්නේ ඇමරිකාවේ හා ඉන්දියාවේ වාගේ මෙරටද කොරෝනාවෙන් දේශපාලන පෙරළි සිදුවෙනවායි කියාය. නමුත් එය එසේ නොවන බව මෝඩ චූන් වී සිටින විපක්ෂයේ ඇතැමුන්ට තවමත් නොතේරේ. මීළඟ ඡන්දයේ ඡන්ද ප්‍රතිඵල ලැබෙනතුරු එම මෝඩ චූන් එකේ සිටීමට එම දේශපාලන පක්ෂ නායකයන්ට සිදුවනු ඇත.
සෑම සිද්ධියකටම ආණ්ඩුවට චෝදනා කරනු ලබන විපක්ෂය මේ දක්වා කොරෝනා මර්දනය කිරීමට ලබා දී තිබෙන සහයෝගය කුමක්ද?
“කොරෝනා මර්දනය සඳහා අපි ඕනෑම සහයෝගයක් ලබා දෙනවා.” යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කෙතරම් ප්‍රකාශ කළ ද ඔහු ප්‍රායෝගිකව ලබා දී තිබෙන සහයෝගය කුමක්ද?
අඩුම ගණනේ හුදෙකලා කළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට බඩු මල්ලක්වත් ලබාදීමට විපක්ෂ කටයුතු කළා නම් කෙතරම් අගනේද? නමුත් ඔවුන් කටින් බතල කොළ සිටුවමින් සිටි. ජනතා විමුක්ති පෙරමුණ ද එසේමය. මීට පෙර 2004 වර්ෂයේ දී සුනාමි ඛේදවාචකයට රට මුහුණ දුන් අවස්ථාවේදී මීට වඩා යම් වගකීමකින් එදා ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළ බව නොරහසකි.
ඔවුන්ගේ රතු ලංකා බළකාය ඇතුළු විවිධ සංවිධානවලින් සුනාමි ඛේදවාචකයෙන් විනාශ වූ රට යළි ගොඩනැංවීමට යම් යම් ක්‍රියාමාර්ග ගැනීම බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය.
විශේෂයෙන්ම සුනාමි රළ පහර හේතුවෙන් විනාශ වූ කොළඹ සිට මාතර දක්වා දිවෙන දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී සහයෝගයක් ලබාදුන් බව අමතක නොකළ යුතුය.
සුනාමියෙන් නිවාස අහිමි වූ ජනතාවට තම නිවාස ගොඩනඟාගැනීම සඳහා ශ්‍රමයෙන් හැකි පමණ දායක වීමට ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම්හු ක්‍රියාකළහ.
එසේ ආදර්ශයක් ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණ අද සිදුකරන්නේ විවේචන පමණක් වීම තුළ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය ගමන් කර තිබෙන්නේ කොතනට ද? යන ප්‍රශ්නය බරපතළ ලෙස පැන නගීනු ඇත.
සුනාමි ඛේදවාචකයෙන් විනාශ වන රට ගොඩනැංවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ යම්කිසි සහයෝගයක් ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූයේ සෝමවංශ අමරසිංහය.
දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායකය. ජනතා විමුක්ති පෙරමුණේ එම වෙනසට හේතුව නායකයාගේ වෙනස ද? එය විනිශ්චය කිරීම ඔබට බාරයි.
බලවත්, ධනවත්, ප්‍රබල රටවල් ඇතුළු මුළු ලෝකයම කොරෝනා ලෝක වසංගතයට මුහුණ දී සිටින විට මෙරට මේ ආකාරයට සුරක්ෂිත කරගෙන ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව සාධනීය ආකාරයකින් කටයුතු කර තිබීම සතුටට කරුණකි. ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු තිබෙන බව සත්‍යයකි. නමුත් වෙනත් රටවල් සමඟ සාපේක්ෂව බලන විට අපේ රට යම් සාධනීය තැනක සිටින බව නොකියාම බැරිය.
රට පුරා රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කරමින්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන දියුණු කරමින් ආණ්ඩුවේ සියලුම දේශපාලනඥයන් එකාවන්ව කටයුතු කිරීම තුළින් රටට ලබා දී තිබෙන්නේ ඉහළ ආදර්ශයකි.
දින 10 න් ඇඳන් දස දහසක් ලබා දීමේ වැඩසටහන ඉලක්ක කර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා තරුණ පරම්පරාව සමඟ ප්‍රායෝගිකව ම මෙම අභියෝගය ජය ගැනීමේ සටනට අවතීර්ණව සිටීම අගය කළ යුතුය.
කොරෝනා රෝගීන්ගේ ධාරිතාව ඉහළ යන අතරතුර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු අයහපත් කාලගුණය ද නොතකා කටයුතු කිරීම හොඳ ප්‍රවණතාවයකි. කටින් බතල කොළ හිටවන්නේ නැතිව විපක්ෂයට වුවද මේවා ආදර්ශයට ගනිමින් ප්‍රායෝගිකව මෙම වැඩසටහන්වලට දායක විය හැකිය.
එසේත් නැතිනම් ඉතිහාසයට ගොස් සූරියමල් ව්‍යාපාරයෙන්වත් ඔවුන් ඉගෙන ගත යුතුය. එදා කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ ද, උතුරු හා නැගෙනහිර ඇතැම් ප්‍රදේශ හැරුනු විට රටේ සෑම පළාතකම මැලේරියා වසංගතය පැතිරි තිබුණි. රෝහල් සියල්ල උණ රෝගීන්ගෙන් පිරී ගොස් තිබිණි.
උණ විකාරයෙන් සිටි ඇතැම් නිවෙස්වල මියයන පුද්ගලයන් භුමදානයට පවා මිනිසුන්ට හැකියාව නොවූයෙන් ඒවා කුණුවෙමින් පැවතියේ අද කෝවිඩ් හේතුවෙන් ඉන්දියාවේ මිනිසුන් මිය යන පරිද්දෙනි. රෝගීන් බොහෝමයක් මියදුනේ නිරාහාරව සිටීමෙනි. මෙවැනි තත්ත්වයක් රට තුළ පවතිද්දී යටත් විජිත පාලකයන් කළේ දෙවන ලෝක යුද්ධයෙන් ආබාධිත සොල්දාදුවන්ගේ සුභසාධනය වෙනුවෙන් “පොපි මල් ව්‍යාපාරය” ආරම්භ කර මුදල් රැස් කිරීමය.
එදා ඇන්.ඇම්. පෙරේරා, ඩොරින් වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, දොස්තර වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා, ටෙරන්ස් ඒ. පෙරේරා, විල්මට් පෙරේරා, මර්වින් ගුණවර්ධන වැනි වාමාංශික නායකයන් විසින් සූරියමල් ව්‍යාපාරය ආරම්භ කළේ සුදු පාලකයන්ගේ පොපි මල්වලට අභියෝග කරමින් මැලේරියාවෙන් පීඩාවට පත් ලංකාවාසීන්ට සහනයක් පිණිසය. මරදානේ පන්සල පාරේ, ආනන්දගිරි යන ස්ථානයෙන් ඇරඹි සූරියමල් ව්‍යාපාරයේ පළමු හමුවේ දී ඒකමතිකව සම්මත වූයේ මැලේරියාවෙන් පීඩා විඳින පළාත්වල සහන කටයුතු ක්‍රියාත්මක කිරීම සහ එම ගම්වල එක් නිවසකට රුපියල් 250 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර මල්ලක් නොමිලේ ලබා දීමටය. රතු පැහැති පොපි මල වෙනුවට කහ පැහැති සූරියමල් රට පුරා අලෙවි කළේ මේවාට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමටය.
රෝහල් පිරි ගියෙන් පාසල් රෝහල් බවට පත් කෙරිණි. වාර්තාවලට අනුව ඩිස්පැන්සරි 130 ක් තාවකාලිකව පිහිටුවන ලදී. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිවෙසින් නිවෙසට ගොස් රෝගීන් ගණන් කළහ. ස්වදේශ කටයුතු ඇමති සර් ඩී.බී. ජයතිලක ද පුද්ගලිකව රෝගීන් බලන්නට ගිය බව එදා පුවත්පත් වාර්තා කළේය.
මොරටුවෙන් පමණක් දිනකට හමුවන රෝගීන් ගණන 400 දක්වා ඉහළ ගියේය. මදුරුවන් වඳ කරන ක්‍රමයක් ගැන මහජනයාට කරුණු කියා දෙන ලදී.
බෞද්ධ භික්ෂූන් තැනින් තැන පිරිත් දේශනා කරන්නට වූහ. මැලේරියාව මර්දනය වෙනුවෙන් විදේශ රටක් විසින් සොයා ගන්නා ලද “ඇටර්බින් මුසොනට්” නමැති ඖෂධ පෙති 50,000 ක් මෙරටට නොමිලයේ ලැබිණි.
වෛද්‍ය වෝල්ටර් පීරිස් යෝජනා කළ පරිදි මැලේරියාව පාලනයට කොමිසමක් පත් කළ අතර, එච්.ඊ. නිව්මන්ද කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත් කළේය. ඔහු රට වටා ගොස් කරුණු සොයා බැලූ අතර ඔහුගේ වාර්තාවෙන් ප්‍රශ්න කර සිටියේ යටත් විජිත පාලකයන් මේ ව්‍යසනය සම්බන්ධයෙන් සූදානම් නොවූයේ ඇයිද යන්නය. කෙසේ වුව ද වරදකරු කවුරුන්දැයි සොයමින් වාද විවාද කිරීම වෙනුවට දැන් අවශ්‍යව ඇත්තේ ක්‍රමවත්ව ජනතාවට සහනාධාර සැපයීම බව අවධාරණය කරන ලදී.
එදා මැලේරියාවෙන් මෙරට ජනතාව 80,000 ත් 120,000 ත් පමණ පිරිසක් මිය ගියහ. ලන්ඩන් නුවර පළ කෙරෙන පුවත්පතක් වූ “මෝනිං පෝස්ට්” හා “ඩේලි මේල්” පත්‍ර යටත් විජිත රජයට චෝදනා කර සිටියේ, “රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිදිමත බව හා ඔතෑනි ගතිය මේ අපරාධයට මුල් වූ බව” ය.
සර් හෙන්රි ද මෙල් වැනි දේශපාලන නායකයන් රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල වගා නොකළ ඉඩම් අස්වැද්දවමින් ජනතාවගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කළේය. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් මැලේරියාව සඳහා අවශ්‍ය ඖෂධ ජනතාවගේ නිවෙස් වෙතට ගොස් දුන්නේය.
සම සමාජයේ තරුණ පිරිස් විසින් එදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මැලේරියාවට ගොදුරු ගම් වෙත රැගෙන ගියේ කඳමලු බැඳගෙනය. ගෝනි මලු කර තබාගෙනය. මෙම ක්‍රියාන්විතයට එදා නායකත්වය සැපයූවේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ය.
මැලේරියාවෙන් පීඩිත ගම්වල මිනිස්සුන්ට ඇන්.ඇම්. එදා හාල්, කරවල, මාමයිට් හා පරිප්පු බෙදා දුන්නේය. එපමණක් නොව, ඇතැම් අවස්ථාවලදී සම සමාජ වනිතාවන් කැඳ ආදිය පිළියෙල කොට අසරණ මිනිසුන්ගේ කුසගින්න ද නිවා දැමීමට ක්‍රියා කර තිබිණි.
ආචාර්ය උපාධි දෙකක් සන්තක ඇන්.ඇම්. “පරිප්පු මහත්තයා” යැයි විරුදාවලිය ලද්දේ මෙම සූරියමල් ව්‍යාපාරය නිසාවෙන්ය. එපමණක් නොව ලංකාවේ වාමාංශික බලකඳවුරු ලෙස මෙරට අදත් පවතින ඇතැම් ඡන්ද කොට්ඨාස ඒ ආකාරයට නිර්මාණය වූයේ එදා ඇන්.ඇම්. ලා විසින් දියත් කළ මැලේරියා වසංගත සහන මෙහෙයුමට මිනිසුන් දක්වන කෘතවේදී ගෞරවාදරය නිසාවෙනි.
එදා එසේ වුවත් මෙදා විපක්ෂය සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බව කියයි. විපක්ෂය ප්‍රකාශ කිරීමටත් පෙර සියලු පක්ෂ නියෝජිතයන් කැඳවා කොරෝනා මර්දනය ගැන දැනුම්වත් කිරීමට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළේය.
නමුත් සමගි ජන බලවේගය ප්‍රකාශ කරන්නේ ජනාධිපති සහ විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය යුතු බවයි. සජිත් ප්‍රේමදාසට යම් දේශපාලන වටිනාකමක් ලබාදීම සඳහා කොරෝනාව ගරානාවක් කරගැනීමට විපක්ෂය සූදානම් වන බව මින් පැහැදිලිය.
ඒ නිසා සජිත්ලා, අනුර කුමාරලා, සුමන්තිරන්ලා, ඇන්. ඇම්ලාගෙන්, කොල්වින්ලාගෙන්, වික්‍රමසිංහලාගෙන් වත් ඉගෙන ගත යුතුය.